දරු උපත් අඩුවීමෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට වෙන්න යන දේ ගැන ඔබ දන්නවා ද?

Sri Lanka Birth Rate

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

    • Author, අමන්දිකා කුරේ
    • Role, බීබීසී සිංහල

ආසන්නතම වසර පහක කාලය තුළ ක්‍රම ක්‍රමයෙන් ශ්‍රී ලංකාවේ දරු උපත් සංඛ්‍යාව පහළ බැස ඇති ආකාරය පැහැදිලිව නිරීක්ෂණය කළ හැකි ය.

උපත් අනුපාතිකය අඩුවීම යනු රටේ ශ්‍රම බලකායට සෘජුව බලපෑමක් ඇති කරන්නකි.

වර්තමාන ශ්‍රම බලකාය ක්‍රම ක්‍රමයෙන් වියපත් වීමත් සමග අලුතෙන් ශ්‍රම බලකායට එක්වන සංඛ්‍යාව පහළ යාම ශ්‍රී ලංකාවේ ආර්ථිකයට බලපෑමක් වනු ඇතැයි මේ වන විටත් අනාවැකි පළවී තිබේ.

ශ්‍රම බලකාය යනු කුමක් ද?

ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ 2015 - 2018 ශ්‍රමබල සමීක්ෂණ වාර්ෂික වාර්තාවේ දැක්වෙන පරිදි, ශ්‍රම බලකාය යනු වයස අවුරුදු 15 හෝ ඊට වැඩි ආර්ථික වශයෙන් ක්‍රියාශීලී සියලු ම පුද්ගලයන් ය.

ඊට රැකියා කරන පිරිස පමණක් නොව, දැනට රැකියාවක් නොකරන නමුත් රැකියා කළ හැකි සහ රැකියා අපේක්ෂාවෙන් සිටින පිරිස ද ඇතුළත් බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ දත්තවලින් නිරීක්ෂණය වේ.

ශ්‍රී ලංකාවේ ශ්‍රම බලකාය

ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව 2023 වසරේ ශ්‍රී ලංකාවේ ඇස්තමේන්තුගත මධ්‍ය වාර්ෂික ජනගහනය මිලියන 22කි. ආසන්න වසර හතරක කාලය තුළ ජනගහනය සුළු වර්ධනයක් පෙන්නුම් කළ ද 2022ට සාපේක්ෂව 2023 වසරේ ජනගහනයේ සුළු පහළ යාමක් නිරීක්ෂණය වේ.

පසුගිය වසර පහ තුළ ඇස්තමේන්තුගත මධ්‍ය වාර්ෂික ජනගහනය
ඡායාරූප ශීර්ෂ වැකිය, පසුගිය වසර පහක කාලය තුළ ශ්‍රී ලංකාවේ ජනගහනයේ විවිධ උස් පහත්වීම් නිරීක්ෂණය කළ හැකි ය

එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ නිල වෙබ් අඩවියේ දක්වා ඇති දත්තවලට අනුව, 2024 ශ්‍රී ලංකාවේ ජනගහනය මිලියන 21.9කි.

වයස අවුරුදු 15ත් 64ත් අතර ජනගහනය මුළු ජනගහනයෙන් 66%ක් බව එම වෙබ් අඩවියේ දැක්වේ. එම සංඛ්‍යාව දළ වශයෙන් මිලියන 14.45ක් ලෙස ගණනය කළ හැකි ය.

වයස් කාණ්ඩ අනුව ජනගහනය - 2024

සමස්ත ජනගහනය එසේ වුවත් එයින් ශ්‍රම බලකායට අයත් වන්නේ මිලියන 8.4කි.

ඉතිරි සියලු ජනගහනය යැපෙන්නේ මෙම ශ්‍රම බලකාය මත ය. එයට කුඩා දරුවන්, වැඩ කිරීමට අපහසු වයස්ගත පුද්ගලයන්, වැඩ කිරීමට ශාරීරික හෝ මානසික දුෂ්කරතා පවතින පුද්ගලයෝ ඇතුළත් වෙති.

ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ දත්ත සලකා බැලීමේදී ශ්‍රම බලකායේ ක්‍රමික පහළ යාමක් ද නිරීක්ෂණය වේ. ඊට විදේශ රැකියා සඳහා යන සංඛ්‍යාව සහ වෙනත් රටවල්වලට සංක්‍රමණය වන සංඛ්‍යාව ඉහළ ගොස් තිබීම ද හේතුවකි.

නමුත් ක්‍රම ක්‍රමයෙන් ශ්‍රම බලකාය අඩුවීමට අනාගතයේදී සෘජුව බලපාන හේතුව වන්නේ, වාර්ෂික උපත් සංඛ්‍යාව ශීඝ්‍රයෙන් අඩුවෙමින් පැවතීම ය. ශ්‍රී ලංකාවේ ලියාපදිංචි විවාහ සංඛ්‍යාව ද ඉහළ පහළ යමින් තිබේ.

Figure
ඡායාරූප ශීර්ෂ වැකිය, ආසන්න වසර කිහිපය තුළ ශ්‍රම බලකාය අඩුවෙමින් පවතින බව මේ ප්‍රස්ථාරයෙන් පැහැදිලි වේ

වාර්ෂික උපත් සංඛ්‍යාව සහ ශ්‍රම බලකාය අතර සම්බන්ධය

පසුගිය වසර පහ තුළ වාර්ෂික උපත් සංඛ්‍යාව
ඡායාරූප ශීර්ෂ වැකිය, පසුගිය වසර පහ තුළ වාර්ෂික උපත් සංඛ්‍යාව ක්‍රමිකව පහළ ගොස් තිබේ

ජනගහනය ක්‍රම ක්‍රමයෙන් වියපත් වීමත් සමග ශ්‍රම බලකායට අලුතෙන් ප්‍රමාණවත් සංඛ්‍යාවක් වාර්ෂිකව එක්විය යුතු ය. ඕනෑ ම රටක උපත් සංඛ්‍යාව අඩුවීමත් සමග ජනගහනයෙන් බහුතරය වියපත් ප්‍රජාව වීම ස්වභාවික සංසිද්ධියකි.

2019 වසරේ සිට 2023 දක්වා වසර පහක කාලයේ ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව වාර්ෂික උපත් සංඛ්‍යාව සැලකිය යුතු සංඛ්‍යාවකින් පහළ යමින් තිබේ. 2019 වාර්තා වූ සංඛ්‍යාවට වඩා 2023 වසර වන විට වාර්තා වී ඇති උපත් සංඛ්‍යාව ආසන්න වශයෙන් 70,000කින් පමණ සංඛ්‍යාත්මකව පහළ ගොස් තිබේ.

මේ ආකාරයෙන් උපත් සංඛ්‍යාව පහළ යාම නිසා අනාගතයේදී විවිධ ක්ෂේත්‍රවලට ශ්‍රමිකයන්ගේ හිඟයක් ඇති වීමට ඉඩ තිබේ.

එපමණක් නොව, ශ්‍රී ලංකාවේ වාර්ෂිකව ලියාපදිංචි වන විවාහ සංඛ්‍යාව ද ඉහළ පහළ යන ආකාරයක් නිරීක්ෂණය වේ.

ශ්‍රී ලංකාවේ වාර්ෂිකව ලියාපදිංචි වන විවාහ සංඛ්‍යාව
ඡායාරූප ශීර්ෂ වැකිය, ශ්‍රී ලංකාවේ වාර්ෂිකව ලියාපදිංචි වන විවාහ සංඛ්‍යාව ඉහළ පහළ යමින් තිබේ

'ශ්‍රී ලංකාව ශ්‍රමය මත යැපෙන රටක්'

ශ්‍රී ලංකාව යනු ශ්‍රමය මත ආර්ථිකයේ වැඩි ප්‍රතිශතයක් ගොඩ නැගී ඇති රටක් බව ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය ගීතානි බුලන්කුලම පවසයි.

"ශ්‍රී ලංකාව කියන්නේ ප්‍රාග්ධන සූක්ෂම රටක් නෙවෙයි. ශ්‍රී ලංකාව ශ්‍රම සූක්ෂම රටක්. අපිට ප්‍රාග්ධනය බහුල නෑ. ඒ නිස යි අපි ඇඟලුම් කර්මාන්තයේ එල්ලිලා ඉන්නේ. දැනටත් අපනයන ආදායමෙන් වැඩි කොටසක් ලැබෙන්නේ ඇඟලුම් ක්ෂේත්‍රයෙන්."

"ඇඟලුම් ක්ෂේත්‍රයේ වැඩියෙන් ම වැඩ කරන්නේ කාන්තාවන්. තේ කර්මාන්තයේත් වැඩිපුර ම වැඩ කරන්නේ කාන්තාවන්. ශ්‍රම බලකයාට අයිති මිලියන අටෙන් තුනක් පමණ ම කාන්තාවන්."

"අතීතයේදී කාන්තාවන් නිවසට වෙලා දරුවන් රැකබලාගෙන ගෘහණියන් විදිහට හිටියත් වර්තමානයේ බොහෝ කාන්තාවන් නිවසේ සිට හෝ රැකියාවක් කරනවා."

"උපත් සංඛ්‍යාව අඩුවීම අර්බුදයක්"

මහාචාර්ය ගීතානි බුලංකුලම පෙන්වා දෙන්නේ, උපත් අනුපාතිකය අඩුවීම ශ්‍රී ලංකාව වැනි රටකට අර්බුදයක් බව ය. "අපි කවදාවත් ආර්ථිකයට උපත් අනුපාතිකය වැදගත් කියලා හිතලා නෑ. එක කාලෙකදි අපි උපත් පාලන ක්‍රම ගැන ගොඩක් අවධානය යොමු කළා. නමුත් රටේ ආර්ථිකයට උපත් සංඛ්‍යාව අඩු වීම බලපෑමක් වෙයි කියලා හිතුවේ නෑ. ඒ අර්බුදයට තමයි ඉදිරියේදී අපට මුහුණ දෙන්න වෙන්නේ."

"තව කාලයක් ගියාට පසුව අපට අවිධිමත්, නුපුහුණු ශ්‍රමයවත් සොයාගන්න අපහසු තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්."

"ආර්ථික තත්ත්වය නිසා දරුවන්ගේ වියදම් අපහසුයි"

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

"වර්තමානයේ පවතින ආර්ථික තත්ත්වයත් එක්ක කුටුම්භයකට දරුවන්ගේ වියදම් දරන්න අමාරු යි. මීට දශක ගණනාවකට පමණ පෙර පවුල්වල දරුවන් ගොඩක් හිටියත් වර්තමානයේ ගෝලීයකරණය එක්ක දරුවෙක්ට තියෙන අවශ්‍යතා වෙනස් වෙලා තියෙනවා," මහාචාර්යවරිය පෙන්වා දෙයි.

මහාචාර්ය ගීතානි බුලංකුලම පවසන්නේ, මෙම තත්ත්වයන් අවබෝධ කර ගත් බොහෝ රටවල් දරුවන් සිටින පවුල්වල දෙමවුපියන්ට අවශ්‍ය පහසුකම් ලබා දී ඇති බව ය.

"ලෝකයේ බොහෝ රටවල් දරුවන් කියන්නේ සම්පතක් විදිහට සලකලා දරුවො ඉන්න අම්මලාට වැඩ කරන ගමන් දරුවන් ගැනත් බලන්න පුළුවන් වෙන විදිහට දිවා සුරැකුම් මධ්‍යස්ථාන වැනි පහසුකම් සලසලා තියෙනවා. නමුත් ශ්‍රී ලංකාවේ මේ පහසුකම් නෑ. ඒ නිසා ගොඩක් අය දරුවන් හදනවා කියන එක සීමා කරගෙන ඉන්නේ."

අනාගතයේදී ආර්ථිකය මුහුණ දීමට නියමිත අර්බුදයෙන් ගොඩ ඒමට නම් රජය මේ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කළ යුතු බව මහාචාර්යවරිය පෙන්වා දෙයි.

"වැඩ සහ පවුලේ කටයුතු සමබරව කරගෙන යන්න පුළුවන් විදිහට සේවා ස්ථානයට ආසන්නයෙන් දිවා සුරැකුම් මධ්‍යස්ථාන සහ ගෝලීය වශයෙන් වෙනත් රටවල් ලබා දීලා තිබෙන ප්‍රතිලාභ වැනි දේ ශ්‍රී ලංකාවේත් ලබා දීම සම්බන්ධයෙන් රජය අවධානය යොමු කළ යුතු යි. ඒ විදිහට දරුවන් හැදීමට දෙමවුපියන් උනන්දු නොකළොත් ශ්‍රී ලංකාවට ඉදිරියේදී මේ අර්බුදයට නිසැකයෙන් ම මුහුණ දෙන්න සිදුවෙනවා."