සංඛ්‍යා දත්ත : ඊශ්‍රායල ගාසා යුද්ධය

ඡායාරූප මූලාශ්‍රය, EPA
ඔක්තෝබර් හත්වැනි සෙනසුරාදා අලුයම දී පලස්තීන සටන්කාමී කණ්ඩායමක් වන හමාස් ඊශ්‍රායලයට පෙර නොවූ විරූ ප්‍රහාරයක් දියත් කළේ ය. ඊශ්‍රායල බලධාරීන් පවසන පරිදි මේ ප්‍රහාරයෙන් පුද්ගලයන් 1,400ක් මියගියබවට ඇස්තමේන්තුකර ඇති අතර, 200කට වැඩි පිරිසක් ප්‍රාණ ඇපකරුවන් ලෙස ගෙනගොස් තිබේ.
එතැන් පටන්, දැන් මසකට වැඩි කාලයක් තිස්සේ එල්ල කෙරෙන ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් හා මෑතක දී ඇරඹුණු ගොඩබිම් ආක්‍රමණයෙන් දහස් ගණනක් දෙනා මියගොස් ඇත. ප්‍රහාරවලින් ගාසා තීරයට මහා විනාශයක් සිදුකොට තිබේ.
දෙපාර්ශවයේම දහස් ගණනක් මිය ගොස් තුවාල ලබයි
එක්සත් රාජධානිය, එක්සත් ජනපදය සහ යුරෝපා සංගමය තුළ තහනම් ත්‍රස්තවාදී සංවිධානයක් වන හමාස් විසින් දියත් කළ ඔක්තෝබර් ප්‍රහාරයේ ප්‍රතිඵලයක් ලෙස ඊශ්‍රායල ජාතිකයින් සහ විදේශිකයින් 1,400කට වැඩි පිරිසක් මියගියබව ඊශ්‍රායලය පවසයි.
ඊශ්‍රායල බලධාරීන් විසින් නිකුත් කෙරුණු තොරතුරුවලට අනුව එදින මියගිය පුද්ගලයින්ගෙන් 1,159 දෙනෙකු හඳුනාගෙන ඇති අතර, ඉන් 828 දෙනෙකු සිවිල් වැසියන් ද 31 දෙනෙකු ළමුන් ද වෙයි.
මේ අතර, යුද්ධය එහි පස්වැනි සතියට එළඹෙද්දී ගාසා තීරයේ සහ අත්පත්කර ගෙන ඇති බටහිර ඉවුරේ පලස්තීන පාර්ශවයට සිදුවී ඇති මරණ සංඛ්‍යාව පෙර නොවූ විරූ සන්ධිස්ථානයකට ළඟාවිය.
හමාස් විසින් පාලනය වන පලස්තීන සෞඛ්‍ය අමාත්‍යංශය නොවැම්බර් හයවැනි දා වාර්තා කළ පරිදි 10,000කට වැඩි පිරිසක් මරණයට පත්ව තිබේ. ඊට 4,100කට වැඩි ළමුන් පිරිසක් ද ඇතුළත් ය - ඒ අනුව, සෑම මිනිත්තු 10කටම වරක් සාමාන්‍යයෙන් ළමයෙකු මියයයි.
එක්සත් ජනපදයේ ජනපති ජෝ බයිඩන් ද ඇතුළු ඇතැම් දේශපාලකයින් පලස්තීන සෞඛ්‍ය අමාත්‍යංශය විසින් සැපයුණු දත්තවල නිරවද්‍යතාව ප්‍රශ්නකර ඇතත්, එම සංඛ්‍යාවන් විශ්වාස කළ හැකියැ යි සහ එය විශ්වාස කරන බව ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) පවසා තිබේ.
සෑම මිනිත්තු 10කටම වරක් දරුවෙකු මියයයි

පිළිවෙලින් ඊශ්‍රායල බලධාරීන් සහ පලස්තීන සෞඛ්‍ය අමාත්‍යංශයට අනුව යුද්ධය හේතුවෙන් ඊශ්‍රායලයේ 5,400ක් පමණ දෙනෙකු තුවාල ලබා ඇති අතර, ගාසා තීරයේ සහ අත්පත්කර ගත් බටහිර ඉවුරේ 25,400කට වැඩි දෙනෙකු තුවාල ලබා තිබේ.
ගාසාහි, ළමුන් 1,270ක් ද ඇතුළුව 2,260ක් පමණ දෙනා අතුරුදන්ව සිටියි. ඔවුන්ගෙන් බහුතරය සුන්බුන් යට වැළලී ඇතැ යි විශ්වාස කෙරෙයි.
මහා පරිමාණ ප්‍රාණ ඇපකරු අර්බුදයක්
ඔක්තෝබර් හත්වැනි දා හමාස් එල්ල කළ හදිසි ප්‍රහාරය, මෙතෙක් ලොව දැක ඇති විශාලතම ප්‍රාණ ඇපකරු අර්බුදවලින් එකක් නිර්මාණය කළේ ය. ඊශ්‍රායල බලධාරීන්ට අනුව, ළමුන් 30කට වැඩි පිරිසක් ද ඇතුළුව ඊශ්‍රායල ජාතිකයන් සහ විදේශිකයන් 242ක් පමණ දෙනා හමාස් භාරයේ සිටියි.
මේ ප්‍රාණ ඇපකරුවන්ගෙන් 57 දෙනෙකු ගාසා වෙත එල්ල කෙරුණු ඊශ්‍රායල ප්‍රහාරවලින් මියගියබව හමාස් පවසයි.
ඔක්තෝබර් 20 දායින් පසු, 17-හැවිරිදි තැනැත්තෙකු ද ඇතුළුව සිවිල් ප්‍රාණ ඇපකරුවන් සිව්දෙනෙකු හමාස් විසින් නිදහස්කර තිබේ.
ඔක්තෝබර් හත්වැනි දා සිට ප්‍රාණ ඇපකාරිනියක වශයෙන් සිටි ඊශ්‍රායල සෙබළියක් ගලවා ගැනීමට ඔක්තෝබර් 29 දා ගොඩබිම් මෙහෙයුමක් මඟින් හැකිවූ බව ද ඊශ්‍රායල හමුදාව ප්‍රකාශ කළේ ය.
ගාසා ජනගහනයෙන් අඩකට වැඩි පිරිසක් අභ්‍යන්තරව අවතැන්ව සිටිති
ගාසා තීරය පුද්ගලයින් මිලියන 2.2කට වැඩි පිරිසකගේ නිවහන වන අතර, එයින් අඩකට වැඩි පිරිසක් ළමුන් ය.
ඔක්තෝබර් 13 දා, වාඩි ගාසා ගඟෙන් උතුරුදිග වෙසෙන සිවිල් වැසියන්ට ඉන් දකුණට යන්නැ යි ඊශ්‍රායලය අනතුරු ඇඟවීය.
ඊශ්‍රායල ගුවන් ප්‍රහාර මසක් පුරා එල්ලවීමෙන් පසු ගාසාහි නිවාස ඒකක 200,000කට වැඩි ප්‍රමාණයකට හානිවී හෝ විනාශවී ගොස් ඇත - එම සංඛ්‍යාව ගාසා තීරයේ නිවාස ඒකකවලින් අඩක් පමණ වනබව ගාසාහි පලස්තීන අධිකාරිය පවසයි.
එක්සත් ජාතීන්ගේ හා පලස්තීන සංඛ්‍යාලේඛනවලට අනුව, නොවැම්බර් පස්වැනි දා වන විට ගාසාහි පුද්ගලයින් මිලියන 1.5ක් පමණ අභ්‍යන්තරව අවතැන්ව, පාසැල්, පල්ලි, රෝහල්, එක්සත් ජාතීන්ගේ හා පොදු ගොඩනැගිලිවල හෝ සත්කාරක පවුල් සමග වෙසෙයි.
ඊශ්‍රායලය වෙත විවරවෙන එරෙස් මාරුව වසා ඇති නිසා ද, ඊජිප්තුව වෙත විවරවෙන රෆා මාරුව විවර කෙරෙන්නේ විදේශිකයින් හා තුවාල ලැබූ ඇතැමුන් ඉවත් කිරීමට පමණක් වන නිසා ද, ගාසා තීරය හැරයෑම ගාසාවැසියන් සඳහා වන විකල්පයක් නොවේ.
සහන සේවකයින් මරුට
හමාස් විසින් පවත්වාගෙන යන ගාසාහි පලස්තීන සෞඛ්‍ය අමාත්‍යංශය පවසන පරිදි, ගාසා තීරයේ රෝහල් 35න් 16ක් (46%) සහ වෛද්‍ය මධ්‍යස්ථාන 76න් 51ක් ප්‍රහාර හෝ ඉන්ධන නොමැතිකම නිසා නොවැම්බර් පස්වැනි දා වන විට සේවය නවතා ඇත.
ගිලන් රථ 50කට පමණ හානිවී ඇතැ යි ද, ඒවායින් 31 සේවය නවතා ඇතැ යි ද, සෞඛ්‍ය සේවකයින් අවම වශයෙන් 175 දෙනෙකු ඝාතනය වී ඇතැ යි ද අමාත්‍යංශය පවසයි.
ජාත්‍යන්තර නීතියට අනුව, සහන සේවකයින්, සෞඛ්‍ය සේවකයින් හා ඔවුන්ගේ පහසුකම්, වුවමනා උපකරණ ආදිය සුරක්ෂිත කළ යුතු ය.

එක්සත් ජාතීන් පවසන පරිදි එහි සහන සේවා ආයතනයක් වන UNRWAහි සාමාජිකයින් 88 දෙනෙකු ද, සිවිල් ආරක්ෂක සේවකයින් 18 දෙනෙකු ද මියගොස් ඇත.
1949 ජිනීවා සම්මුතිය යටතේ ඔවුන්ගේ ආරක්‍ෂාව සහ සේවය සුරක්ෂිත කළ යුතු මාධ්‍යවේදීන් සම්බන්ධයෙන් ගත්කල, මානුෂීය කටයුතු සම්බන්ධීකරණය සඳහා වන එක්සත් ජාතීන්ගේ කාර්යාලයයට (UNOCHA) අනුව නොවැම්බර් පස්වැනි දා වන විට ඔවුන්ගෙන් 46 දෙනෙකු ඝාතනයවී තිබේ.
පසුගිය දශක තුන තුළ ගැටුම් වාර්තා කරන මාධ්‍යවේදීන් සඳහා වූ මාරාන්තිකම මාසය ඊශ්‍රායල ගාසා යුද්ධයබව, මාධ්‍යවේදීන් ආරක්ෂා කිරීමේ කමිටුව පවසයි.

දරුණු ජල අර්බුදය
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
යුද්ධයෙන් තවමත් දිවි ගලවාගැනීමට සමත්ව සිටිනවුන්ට, ආහාර හිඟ, ජලය ඉතා හිඟ, අනිවාර්යය සෞඛ්‍ය අවදානම් සහිත ගාසාවේ ජීවිතය තවත් දුෂ්කර වී තිබේ.
ඔක්තෝබරයේ මැදභාගයේ දී ලෝක සෞඛ්‍ය සංවිධානය කියා සිටි පරිදි ගාසාහි පවුල් සහ ළමුන් පානය, ඉවුම් පිහුම් සහ සනීපාරක්ෂාව සඳහා දිනකට එක් පුද්ගලයෙකුට ජල ලීටර තුනක් මත පමණක් යැපෙයි. නමුත් පුද්ගලයෙකුට අවශ්‍ය අවමය (මෙය හදිසි සීමාව ලෙස විස්තර කර ඇත) වන්නේ, දිනකට එක් පුද්ගලයෙකුට ලීටර් 15කි.
මෑතක දී රෆා මාරුව හරහා ගාසා වෙත ඇතුළු වී ඇත්තේ ඉතා සුළු ජල සැපයුම් ප්‍රමාණයකි. ඉන්පසු ද, තවත් ජල සැපයුම් යටිතල පහසුකම් ප්‍රමාණයකට හානිවී තිබේ.
යුද්ධයට පෙර මට්ටමට සාපේක්ෂව ගත්කල, ගාසාහි ජල පරිභෝජනය සාමාන්‍යය 92%කින් පහත වැටී ඇතිබවත්, අපද්‍රව්‍ය පොම්පාගාර 65න් බොහොමයක් ක්‍රියාත්මක නොවනබවත්, නොවැම්බර් පස්වැනි දා එක්සත් ජාතීන්ගේ ආයතනයක් වන OCHA වාර්තා කළේ ය.
මහා පරිමාණ අවතැන්වීම, අධි ජනාකීර්ණත්වය, හා ජලය සහ සනීපාරක්ෂක යටිතල පහසුකම්වලට සිදුවී ඇති හානි නිසා ගාසාව තුළ "ළඟදීම මහජන සෞඛ්‍ය ව්‍යසනයක්" ඇතිවිය හැකිබවට, ඔක්තෝබර් 31 දා ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු ඇඟවීය.
*පලස්තීන සහ ඊශ්‍රායල බලධාරීන් විසින් ලබාදී ඇති දත්ත UNOCHA විසින් ස්වාධීනව තහවුරුවී නොමැතිබව එය පවසයි.












