ගාසා යුද ගැටුම්වලට මැදිව සිටි ශ්‍රී ලාංකිකයින් 11 දෙනෙක් දිවයිනට පැමිණෙති

Palestinians with foreign passports at Rafah Border Gate wait to cross into Egypt as the Israeli airstrikes continue on 26th day in Rafah, Gaza on November 01, 2023

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ගාසා තීරයේ යුද ගැටුම්වලට මැදිව සිටි පවුල් දෙකකට අයත් ශ්‍රී ලාංකිකයින් 11 දෙනෙකු (නොවැම්බර් 5 වැනිදා ) අලුයම ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

ඊට වැඩිහිටියන් දෙදෙනෙකු සහ ළමුන් නව දෙනෙකු ඇතුළත්ය.

විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශය විසින් කයිරෝ, රමල්ලා සහ ටෙල් අවීව් හි ශ්‍රී ලංකා දූත මණ්ඩල සමඟ සහයෝගයෙන් ඔවුන් දිවයිනට ගෙන්වා ගැනීමේ කටයුතු සම්බන්ධීකරණය කර ඇත.

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණීමෙන් පසු විදේශ කටයුතු අමාත්‍යාංශ නිලධාරීහූ විසින් එම ශ්‍රී ලාංකිකයින් පිරිස පිළිගනු ලැබුහ. ගාසා තීරයේ ජීවත් වූ එම ශ්‍රී ලාංකිකයන් එකොළොස් දෙනාට රෆා දේශසීමා හරහා ඊජිප්තුවට ඇතුළුවීම ඊජිප්තු බලධාරීන් සමඟ සම්බන්ධීකරණයෙන් කයිරෝ හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් 2023 නොවැම්බර් 2 වන දින පහසුකම් සලසා දෙන ලදී. සංක්‍රමණ සඳහා වූ ජාත්‍යන්තර සංවිධානයේ (IOM) සහාය ඇතිව විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් මෙම පිරිස සඳහා ගුවන් ප්‍රවාහන පහසුකම් සපයා තිබේ.

රෆා මාරුව

ගාසා තිරයේ වෙසෙන ලාංකිකයින් 11 දෙනෙකු නිරුපද්‍රිතව ඊජිප්තුවට

ගාසා තිරයේ වෙසෙන ලාංකිකයින් 11 දෙනා නිරුපද්‍රිතව නොවැම්බර් මස 02 වෙනිදා ඊජිප්තුවට පැමිණි බව ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය (නොවැම්බර් 03 වෙනිදා) තහවුරු කරන ලදී.

ඊජීප්තුවේ කයිරෝ අගනුවර සිට කිලෝමීටර් 320ක් දුරින් රෆා දේශසිමා පිවිසුම පිහිටා ඇති අතර ශ්‍රී ලංකා බලධාරින් එහි ගොස් එම ලාංකිකයින් පිරිස සිය භාරයට ගෙන ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

ඊජීප්තු බලධාරීන්ගේ සහයෝගය මත කයිරෝ හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ පලස්තීනයේ, රමල්ලා හි පිහිටි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත කාර්යාලයේ නිලධාරීන් එක්ව මෙම ලාංකිකයින් පිරිස නිරුපද්‍රිතව ගාසා තිරයෙන් පිටතට ගෙන ඒමට කටයුතු යොදා තිබුණි.

ගාසා තීරයේ රැඳී සිටින ලාංකිකයින්ට ඉන් පිටව යෑමට අවසර හිමිවෙයි

ගාසා තීරයේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයින්ට ඉන් ඉවත්වීමට ඊශ්‍රායල රජය නොවැ. 02 අවසර ලබාදුන් බව, ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර බීබීසි සිංහල සේවයට තහවුරු කළේ ය.

ඒ අනුව ගාසා තීරයේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයන්ට ඊජිප්තු දේශසීමාවේ පිහිටි රෆා මාරුව හරහා ඉවත්වීමට අවශ්‍ය අවසරය හිමිවේ.

මේ වනවිට පලස්තීන ජාතිකයින් සමග විවාහවූ ශ්‍රී ලාංකික කාන්තාවන් තිදෙනෙකු ගාසා තීරයේ සිටින අතර, ඔවුන්ගේ පවුල්වල මුළු සාමාජිකයින් සංඛ්‍යාව 17ක් වන බව රමල්ලාහි වෙසෙන ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත නාවලගේ බෙනට් කුරේ බීබීසි සිංහල සේවයට පැවසුවේ ය.

‘බෝඩර් එකට පැය 10ක ගමනක් තියෙනවා’

මේ අතර පලස්තීනයේ ගාසා තීරයේ රැඳී සිටින ශ්‍රී ලාංකික කාන්තාවක් වූ ෆාතිමා රිකාසා, ඇය නවාතැන් ගෙන සිටින ස්ථානයේ සිට ඊජීප්තුවේ රෆා දේශසීමා මාරුවට ළඟාවීම සඳහා පැය 10ක කාලයක් ගතවන බව බීබීසී සිංහල සේවයට පැවසුවා ය.

"අපි දැන් ඉන්න තැන ඉඳලා පැය 10ක කාලයක් යනවා රෆා බෝඩර් එකට. මම ළමයි හතරදෙනා එක්ක එතනට යනවා."

"මට අපේ තානාපති කාර්යාලයේ නිලධාරීන් කතා කළා. රෆා බෝඩර් එකට ගියාම සම්බන්ධ වෙන්න ඕන රතු කුරුසේ නිලධාරීයෙක්ගේ නම්බර් එක දුන්නා," ඇය පැවසීය.

ස්වාමිපුරුෂයාට ඇය සමග පැමිණීමට අවස්ථාවක් ලැබුණ ද ඔහුට ගාසා තීරයේ රැඳී සිටීමට සිදුවූ බව ෆාතිමා රිකාසා පැවසීය.

"මගේ මහත්තයාගේ අම්මා සහ සහෝදරියන් දෙදෙනා ඉන්නේ අසනීපයෙන්. ඒ නිසා ඔහු තීරණය කළා පවුලේ අයව බලාගෙන එහෙම ඉන්න. ඔහු මට කිව්වා මෙහෙන් පිටවෙලා යන්න ඉඩක් ලැබුණු ගමන් ඔහු පැමිණෙන්නම් කියලා," ඇය පැවසීය.

'තවත් පිරිසක් සිරවෙලා ඉන්නවා'

මේ අතර ගාසා තිරයේ රැඳී සිටින තවත් ශ්‍රී ලාංකික පවුලකට ඔවුන් සිටින ස්ථානයෙන් පිටව යෑමට නොහැකිව සිටිනා බව ද ෆාතිමා රිකාසා පැවසුවා ය.

කෑගල්ල ප්‍රදේශයේ පදිංචි තවත් ශ්‍රී ලාංකික කාන්තාවක් සහ ඇගේ පවුලේ සාමාජිකයින් රෆා දේශසීමාව හරහා ඊජීප්තුවට ඇතුළුවීමට නියමිත බව ද ඇය සඳහන් කළා ය.

"සුලේයා කියලා කෑගල්ල ප්‍රදේශයේ ගෙවල් තියෙන ලංකාවේ කෙනෙක් එයාගේ දරුවෝ පස්දෙනත් එක්ක බෝඩර් එකට එනවා කියලා තියෙනවා. එයාගේ බබාලා පස්දෙනෙක් ඉන්නවා."

"තවත් ලංකාවේ කෙනෙක් ඉන්නවා, ඒ කෙනා ඉන්න පැත්තට ඊයේ රෑ දිගට බෝම්බ දාලා තියෙනවා. මේ නිසා එයාලා බයෙන් ඉන්නේ එළියට එන්නවත්. එයාට ඉන්නේ අවුරුදු දෙකක සහ හයක දරුවන් දෙන්නෙක්."

"මම එයාට කතා කළා. මම කිව්වා ලැබෙන චාන්ස් එකෙන් මෙහෙන් යන්න ඕන නිසා ඇම්බියුලන්ස් එකක හරි නැගලා එන්න කියලා. එයාලා බයේ ඉන්නේ ආපහු බෝම්බ දායි කියලා," ඇය පැවසුවා ය.