ආප්ත ප්‍රමාණ තර්කාභාසය: ජනප්‍රිය චරිත ඔබේ ඡන්දය කොල්ල කන හැටි ගැන දැනුවත් ද?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
- Author, කුමුදු ජයවර්ධන
- Role, බීබීසී සිංහල
ශ්‍රී ලංකාවේ සෑම ජනාධිපතිවරණයකදී මෙන් ම වෙනත් මැතිවරණවලදී ද විවිධ ප්‍රසිද්ධ චරිත ඔවුන් සහය දක්වන අපේක්ෂකයින්ට හෝ දේශපාලන පක්ෂවලට ඡන්දය භාවිත කරන ලෙස ඡන්ද දායකයින් පොළඹවන අවස්ථා සුලභ ය.
මෙය ශ්‍රී ලංකාවේ පමණක් නොව වෙනත් සියලු රටවල පාහේ සිදු වන්නකි.
මෙවර ද අපේක්ෂකයින් රැසක් වෙනුවෙන් පෙනී සිටින කලාකරුවන්, ක්‍රීඩකයින්, ව්‍යාපාරිකයින්, සාහිත්‍යධරයින්, ටියුෂන් ගුරුවරුන්, විශ්වවිද්‍යාල කථිකාචාර්යවරුන් කවුරුන් ද යන්න ඔබ දැනටමත් දැක ඇතිවාට සැකයක් නැත.
මෙම ලිපියෙහි අරමුණ වන්නේ, වෙනත් විෂය ක්ෂේත්‍රයන් සම්බන්ධයෙන් විශේෂඥභාවයක් ඇතත්, දේශපාලනය පිළිබඳ කිසිදු අවබෝධයක් නැති එවැනි පිරිස් කී පමණින් ඔවුන් නම් කරන දේශපාලනඥයෙකුට ඡන්දය භාවිත කිරීම කෙතරම් නිවැරදි ද, තර්කානුකූල ද යන්න විමසා බැලීමට ය.
ආසන්නතම අත්දැකීම
2019 වසරේ පැවති ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලංකාවේ ජනාධිපති ධූරයට පත්කිරීම සඳහා කලාකරුවන් ඇතුළු ප්‍රසිද්ධ චරිත විශාල පිරිසක් ඉදිරිපත් වූ අයුරු දැක ගත හැකි විය.
එහිදී, විවිධ ක්ෂේත්‍රවල විශේෂඥයින් බව කියන පිරිස් ‘වියත් මග’ යනුවෙන් සංවිධානයක් නිර්මාණය කර ගෝඨාභය රාජපක්ෂ බලයට පත් කිරීම සඳහා ප්‍රසිද්ධියේ පෙනී සිටියහ.
කෙසේ වෙතත්, ගෝඨාභය රාජපක්ෂ පාලන සමයේ සිදුවූ ආර්ථික අර්බුදයට වගකීම සඳහා ගෝඨාභය රාජපක්ෂ බලයට පත් කිරීමට සුදුසු බව නිර්දේශ කළ පුද්ගලයින් ඉදිරිපත් වූයේ නැත.
එසේ නම්, ප්‍රසිද්ධ චරිත ඔවුන්ගේ ප්‍රසිද්ධිය භාවිත කරමින් විවිධ දේශපාලනඥයින් හෝ පක්ෂ බලයට පත් කිරීම සඳහා ගන්නා උත්සහයන්ට ඡන්ද දායකයින් හසු වීම තර්කානුකූල ද?
ආප්ත ප්‍රමාණ තර්කාභාසය
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
තර්ක ශාස්ත්‍රය නමැති විෂය ඉගෙන ගැනීමේදී තර්කාභාස (paralogism හෝ fallacy) නමැති විෂය කොටසක් තිබේ.
තර්කාභාස යනු වැරදි තර්කනය යි. එනම්, තාර්කික නොවන කරුණු මත තීරණ ගැනීම ය.
යමෙකුගේ ප්‍රසිද්ධිය මත සහ ඔහුට හෝ ඇයට ඇති කැමැත්ත මත ඔවුන් පවසන යමක් අප තර්ක කිරීමකින් තොරව පිළිගන්නේ නම් එය තර්කාභාසයකි.
එය, ආප්ත ප්‍රමාණ තර්කාභාසය ලෙස තර්ක ශාස්ත්‍රයේ හඳුන්වයි.
“ආප්තය කියන්නේ අධිකාරත්වය කියන එක. අධිකාරත්වය කියන දේ ඇති වෙන්නේ, යමෙකුගේ බලය, ප්‍රසිද්ධිය වගේ කරුණු මත. යම් පුද්ගලයෙකුගේ ප්‍රසිද්ධිය මත ඔහු තමන් නොදන්නා දෙයක් ගැන පවසන දේ පිළිගැනීම වැරදි තර්කනයක්,” තර්ක ශාස්ත්‍රය පිළිබඳ ප්‍රවීණ දේශකයෙකු වන එම්. මික්ඩාඩ් පවසයි.
එය පැහැදිලි කිරීම සඳහා ඔහු ඉදිරිපත් කරන නිදසුන දෙස බැලීමෙන් එය වටහා ගැනීම දුෂ්කර නැත.
“ප්‍රසිද්ධ නළු නිළියෝ වෙළෙඳ දැන්වීම්වල පෙනී සිටිමින් කියනවා, අර සබන් ගැවා ම සුදු වෙනවා. මේ සබන් ගෑවා ම සම සුමුදු වෙනවා. සම දීප්තිමත් වෙනවා කියලා. ඉතින් පාරිභෝගිකයෝ අර නිළියන්ට ඇති කැමැත්ත නිසා ඒ කියපු සබන් වර්ගය මිල දී ගන්නවා. හැබැයි, අර නිළියෝ සබන් ගැනවත්, සම ගැනවත් විශේෂඥයින් නෙවෙයි. ඒ නිසා ඔවුන් කියන දේ පිළිඅරෙගන සබන් මිල දී ගැනීම වැරදි තර්කනයක්. ක්‍රිකට් ක්‍රීඩකයෝ සොසේජස් කන්න කියනවා. නිළියෝ එක එක කිරිපිටි බොන්න කියනවා. වෙළෙඳ දැන්වීම්වල ගොඩක් වෙලාවට ආප්ත ප්‍රමාණ තර්කාභාසය භාවිත වෙනවා.”
ඔබ කළ යුත්තේ කුමක් ද?
2024 ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින ප්‍රමුඛ අපේක්ෂකයින් කිහිප දෙනාට ම ඉහත කී ආකාරයේ ප්‍රසිද්ධ චරිත සහය දක්වමින් සිටිති.
ඒ අතර, නළු නිළියන්, ක්‍රිකට් ක්‍රීඩකයින්, ව්‍යාපාරිකයින්, ලේඛකයින්, සාහිත්‍යධරයින්, කථිකාචාර්යවරුන් ආදී ආර්ථික විද්‍යාව හෝ දේශපාලන විද්‍යාව පිළිබඳව නොව වෙනත් විවිධ විෂයයන් සම්බන්ධයෙන් ප්‍රසිද්ධියට පත්වූවන් රැසක් වෙති.
ඡන්දය භාවිත කළ යුත්තේ, තමන් කැමති ප්‍රසිද්ධ චරිත නිර්දේශ කරන අපේක්ෂකයින් වෙනුවෙන් ද?
ඡන්දය භාවිත කළ යුත්තේ, තමන් කැමති ප්‍රසිද්ධ චරිත නිර්දේශ කරන අපේක්ෂකයින් වෙනුවෙන් ද?
“කිසිසේත් ම නැහැ. ආප්තය හෙවත් ප්‍රසිද්ධ චරිත කියන දේවල් දිහා බලලා ඡන්දය දීම කිසිසේත් ම සුදුසු නැහැ. ආර්ථික විද්‍යාව ගැන, දේශපාලනය ගැන, අපේක්ෂකයින්ගේ ප්‍රතිපත්ති ගැන, අපේක්ෂකයින් රටට මුදල් ගෙන එන හැටි ගැන, බදු ප්‍රතිපත්ති ගැන, අතීත ක්‍රියාකාරකම් ගැන විමසලා බලලා තමයි, නිවැරදි තීරණයක් ගත යුත්තේ, එහෙම වුණොත් විතරයි, ඒක නිවැරදි තර්කනයක් වෙන්නේ,” එම්. මික්ඩාඩ් පැවසීය.














