
මෙවර ඡන්දය භාවිත කරන ඔබ මේ දේවල් දන්නවා ද?
රචනය:BBC සිංහල
පළ කළ දිනය: 16 සැප්තැම්බර් 2024
ශ්‍රී ලංකාවේ නවවන විධායක ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම සඳහා වන ජනාධිපතිවරණය සැප්තැම්බර් 21 පැවැත්වීමට නියමිතයි. ඔබ පළමු වරට ඡන්දය ප්‍රකාශ කරන කෙනෙක් නම් බීබීසි සිංහල ගෙන එන මේ මඟ පෙන්වීම ඔබටයි

ඡන්දය ප්‍රකාශ කරන්න යනවිට ඔබ සතුව වලංගු හැඳුනුම්පතක් තිබීම අනිවාර්යයි.
මැතිවරණ කොමිෂන් සභාව විසින් අනුමත කර තිබෙන පහත දැක්වෙන ඕනෑම වලංගු හැඳුනුම්පතක් ඡන්දය ප්‍රකාශ කිරීමට ඔයාට ඉදිරිපත් කරන්න පුළුවන්.
1. වලංගු ජාතික හැඳුනුම්පත
2. වලංගු විදේශ ගමන් බලපත්‍රය
3. වලංගු රියදුරු බලපත්‍රය
4. වැඩිහිටි හැඳුනුම්පත
5. විශ්‍රාමික හැඳුනුම්පත
6. පූජ්‍ය පක්ෂයට අදාළ හැඳුනුම්පත
7. මැතිවරණ දෙපාර්තමේන්තුව විසින් ග්‍රාම නිලධාරි මඟින් නිකුත් කරනු ලබන තාවකාලික හැඳුනුම්පත
හැබැයි මේ එක හැඳුනුම්පතක් හරි අනිවාර්යයෙන් ම අරගෙන යන්න.

තැපෑලෙන් නිවසට ලැබෙන නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව ඡන්ද මධ්‍යස්ථානයට අරගෙන යන එක ඔයාට වගේම නිලධාරීන්ටත් පහසුවක්. ඒ නිසා නොවැළැක්විය හැකි තත්වයක දී හැර නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව රැගෙන යන්න අමතක කරන්න එපා.

මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා තහවුරු කළ පරිදි 1981 අංක 2 දරන ජනාධිපතිවරයා තෝරාපත් කරගැනීමේ විශේෂ විධිවිධාන පනතේ 8 (අ) වගන්තියට අනුව සහ 1981 අංක 15 දරන ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම පිළිබඳ පනතේ තුන්වන උපලේඛනයට අනුව, අපේක්ෂකයෙකුට ඡන්දය සලකුණු කළ යුත්තේ අංක 1 යෙදීමෙනි.
දෙවනි හා තුන්වෙනි මනාපයත් ලකුණු කරනවා නම්, අපේක්ෂකයන් ගැන ඔයාට තියෙන කැමැත්තේ අනුපිළිවෙළට 1, 2, 3 ඉලක්කම් අපේක්ෂකයන්ගේ නම් ඉදිරියෙන් සලකුණු කරන්න පුළුවන්.
පනතේ සඳහන් වී තිබුණේ නැතත් ඡන්ද දායකයින්ගේ භාවිතය සැලකිල්ලට ගෙන කතිර සලකුණක් යෙදීම ද පිළිගන්නා බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක සැප්තැම්බර් 19 වන දා පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී පැවසුවා.

ඡන්ද පත්‍රිකා වැඩියෙන් දෙන්න වෙනවා කියන්නේ මැතිවරණයේ පිරිවැය වැඩිවෙනවා වගේ ම ක්‍රියාවලිය තවත් සංකීර්ණ වෙනවා. ඒ නිසා සෑම විට ම ඡන්දය ප්‍රකාශ කරන ආකාරය ගැන අවබෝධයෙන් ඡන්ද මධ්‍යස්ථානයට යන්න. ඡන්දය නිවැරදි ව භාවිත කරන එක පුරවැසියෙක් විදිහට ඔයාගේ වගකීමක්.

1. කිසිම අපේක්ෂකයෙකුට ඡන්දය සලකුණු කර නොමැති වීම
2. එක් අපේක්ෂකයෙකුට වඩා කතිර සලකුණු කර තිබීම
3. කතිර (X) සහ ඉලක්කම් දෙවර්ගයම සලකුණු කර තිබීම
4. දෙවනි මනාපය සහ තුන්වැනි මනාපය පමණක් සලකුණු කර තිබීම
5. ඡන්දදායකයාගේ නම හෝ හඳුනාගත හැකි යමක් ලියා තිබීම
6. 1, 2, 3ට වඩා මනාප සලකුණු කර තිබීම
මේ කියන වැරදි ඔයා කළොත් ඔයාගේ වටිනා ඡන්දය අවලංගු වෙනවා.

ඡන්ද මධ්‍යස්ථානය තුළට ජංගම දුරකථනය රැගෙන යාම සහ ඡායාරූප ගැනීම මැතිවරණ නීතිවලට අනුව සම්පූර්ණයෙන් ම නීතිවිරෝධීයි.

ඔයාගේ පවුලේ කෙනෙක් හරි යාළුවෙක් හරි අර්ධ වශයෙන් හෝ පූර්ණ වශයෙන් දෘෂ්‍යාබාධිතයි නම්, ඒ වගේ කෙනෙකුට ඡන්දය භාවිත කරන්න සහාකයෙක් සමඟ යන්න පුළුවන්
ඒ සඳහා ග්‍රාම නිලධාරීවරයාගෙන් ලබා ගත යුතු අවසර ලබා ගැනීමේ ලියවිලි සහ රජයේ වෛද්‍ය නිලධාරියෙකුගේ සහතිකයක්, සහායකයාගේ වලංගු හැඳුනුම්පතක් සමඟ ඡන්ද මධ්‍යස්ථානයට රැගෙන යන්න අවශ්‍යයි.
සහායකයෙකු නොමැති වුවත් තවත් නිලධාරියෙකු ඉදිරියේ, ජ්‍යේෂ්ඨ ඡන්ද ස්ථානාධිපති ලවා ඡන්දය සලකුණු කිරීමටත් පුළුවන්.
ඡන්ද මධ්‍යස්ථානයට යාමට නොහැකි ආබාධිත තත්වයක් ඔයාගේ පවුලේ කෙනෙකුට, යාළුවෙකුට හෝ ඔයා දන්න ඕනෑම කෙනෙකුට තියෙනවා නම්, මැතිවරණයට කලින් මැතිවරණ කොමිසම හරහා ප්‍රවාහන පහසුකම් ලබා ගැනීමට අයදුම් කරන්න හැකියාව තියෙනවා.
නිෂ්පාදන කණ්ඩායම:
නිෂ්පාදනය: BBC සිංහල
දෘෂ්‍ය නිර්මාණ: ලෝකේෂ් ෂර්මා
දෘෂ්‍ය නිෂ්පාදනය: අක්නියා අස්කියා
මූලාශ්‍රය: මැතිවරණ කොමිසම, ශ්‍රී ලංකාව
ඡායාරූප: BBC සිංහල