'ජාතීන් විදිහට අපි හැමෝටම සමාදානයෙන් ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් හදලා දෙන්න'

කාත්තන්කුඩි වෙරළ තීරය

ඡායාරූප මූලාශ්‍රය, Dinuk Hewawitharana - BBC Sinhala

    • Author, දිනුක් හේවාවිතාරණ
    • Role, බීබීසී සිංහල

ඉදිරි වසර 5 තුළ රට පාලනය කිරීම සඳහා නව ජනාධිපතිවරයෙකු තෝරා පත් කර ගැනීමේ ඡන්ද විමසීම සඳහා තවත් ඉතිරිව ඇත්තේ, දින 9 ක කාලයක් පමණි.

මෙරට 7 වන විධායක ජනාධිපතිවරයා ලෙස 2019 වසරේදී පැවති ජනාධිපතිවරණය ජයග්‍රහණය කළ ගෝඨාභය රාජපක්ෂ අනුරාධපුර රුවන්වැලි සෑය ඉදිරිපිටදී දිවුරුම් දෙමින් පැවසුවේ, තම ජයග්‍රහණයේ ප්‍රධානතම සාධකය වන්නේ රටේ බහුතර සිංහල ජනතාව බව තමන් මුල සිට දැන සිටි බව ය.

රටේ ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ ගෝඨාභය රාජපක්ෂගේ එම ප්‍රකාශය බොහෝ දෙනෙකුගේ විවේචනයට ද හේතු විය.

2019 ජනාධිපතිවරණයේදී පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් පසුව බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්වූ මඩකලපුව දිස්ත්‍රික්කයේ පිහිටි කාත්තන්කුඩි නගරයේ වෙසෙන ජනතාව මෙවර ජනාධිපතිවරණයෙන් තේරී පත්වන නව ජනාධිපතිවරයාගෙන් බලපොරොත්තු වන්නේ කුමක් ද?

බීබීසී සිංහල සේවය එම ප්‍රදේශයේ සිදුකළ ක්ෂේත්‍ර චාරිකාවකදී එහි ජීවත් වන ජනතාවගෙන් මේ පිළිබඳව අදහස් විමසීමක් කළේ ය.

කාත්තන්කුඩි ප්‍රධාන වීදිය

ඡායාරූප මූලාශ්‍රය, Dinuk Hewawitharana - BBC Sinhala

ඡායාරූප ශීර්ෂ වැකිය, කාත්තන්කුඩි ප්‍රධාන වීදිය මැද වවා ඇති රටඉඳි ගස් සම්බන්ධයෙන් පවා පාස්කු ප්‍රහාරයෙන් පසුව විවේචන එල්ල විය

'රටේ ආර්ථිකය ගැන හිතන කෙනෙක් අවශ්‍ය යි'

මොහිදීන් මොහොමඩ් ජව්ෆර් කාත්තන්කුඩිය මීරා බාලිකා විද්‍යාලයේ ගුරුවරයෙකු ලෙස සේවය කරයි. ඔහු බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමින් පැවසුවේ, මෙවර පැවැත්වෙන ජනාධිපතිවරණයේදී හොඳින් සිතා බලා තමන්ගේ ඡන්දය භාවිත කළ යුතුව ඇති බව ය.

2019 වසරේ පැවති ජනාධිපතිවරණයේදී බොහෝ දෙනා ජාතිකත්වය ගැන අවධානය යොමු කරමින් තමන්ගේ ඡන්දය භාවිත කළත් මෙවර ජනාධිපතිවරණයේදී සියලු දෙනාට ආර්ථිකය ගැන සිතා කටයුතු කිරීමට සිදුව ඇතැයි ඔහු පැවසුවේ ය.

"2019 ජනාධිපතිවරණයේදී ගොඩක් දෙනා ඡන්දය දුන්නේ පාස්කු ප්‍රහාරයත් එක්ක ජාතිය ගැන හිතලා. නමුත් දැන් රටේ හැමෝටම වෙලා තියෙන්නේ ආර්ථිකය ගැන හිතන්න. රටේ ආර්ථිකය හදන්න පුළුවන් කොහොම ද කියලා එක් එක් අපේක්ෂකයා තමන්ගේ අදහස් දැක්වීම සිදුකරලා තියෙනවා එයාලගේ මැතිවරණ පොරොන්දු වලින්. ඒ නිසා අලුතෙන් පත්වෙන ජනාධිපතිවරයා රටේ ආර්ථිකය හදන කෙනෙක් වෙන්න ඕන," ඔහු පැවසුවේය.

'සියලු දෙනාට සමානව සලකන ජනාධිපති කෙනෙක්'

"එක ම රටක ජීවත් වෙන ජාතින් විදිහට අපි හැමෝටම එකට සමාදානයෙන් ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් හදලා දෙන්න ඕන කියන එක අලුතෙන් පත්වන ජනාධිපතිවරයාගේ වගකීමක් සහ ඔහු ඒ වෙනුවෙන් කටයුතු කළ යුතුයි කියලා මම හිතනවා."

ඡායාරූප මූලාශ්‍රය, Dinuk Hewawitharana - BBC Sinhala

ඡායාරූප ශීර්ෂ වැකිය, "එක ම රටක ජීවත් වෙන ජාතීන් විදිහට අපි හැමෝටම එකට සමාදානයෙන් ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් හදලා දෙන්න ඕන"
Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

මේ අතර, කාත්තන්කුඩි ප්‍රදේශයේ ජීවත් වන 58 හැවිරිදි සාවුල් හමීඩ් අබ්දුල් ගෆූර් බීබීසී සිංහල සේවයට පැවසුවේ, ජාති භේදයෙන් තොර රටක් අවශ්‍ය බව ය. මෙවර ජනාධිපතිවරණයෙන් බලයට පත්වන නව ජනාධිපතිවරයා රටේ සියලු ම ජාතීන්ට සමානව සලසනු දැකීම තම අපේක්ෂාව බව ද ඔහු පැවසුවේ ය.

මීට වසර දෙකකට පෙර රටේ ඇති වූ ජන අරගලය සමග රට තුළ පැවති ජාති භේදය ක්‍රමයෙන් අඩු වී ගොස් ඇති බවක් පෙනෙන්නට තිබෙන බව ද ඔහු පැවසීය.

"අලුත් ජනාධිපතිවරයාගෙන් අපි කාත්තන්කුඩි ජනතාව විදිහට බලාපොරොත්තු වෙන්නේ, ජාති භේදයන්ගෙන් තොරවූ රටක් ඇති කරන එක. බොහෝ කාලයක් රටේ මුස්ලිම් සහ දමිළ කියන සුළු ජන කොට්ඨාසවලට නිසි තැනක් නොලැබුණු නිසා ගැටලුවලට මුහුණ දෙන්න සිදුවුණා විවිධ අවස්ථාවලදී."

"එක ම රටක ජීවත් වෙන ජාතීන් විදිහට අපි හැමෝටම එකට සමාදානයෙන් ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් හදලා දෙන්න ඕන කියන එක අලුතෙන් පත් වන ජනාධිපතිවරයාගේ වගකීමක් සහ ඔහු ඒ වෙනුවෙන් කටයුතු කළ යුතු යි කියලා මම හිතනවා."

"මීට අවුරුදු දෙකකට උඩදී කොළඹ අරගලයක් කළා. ඒකෙන් පස්සේ මේ රට තුළ තිබුණු ජාති භේදය අඩු වෙලා කියලා දැනෙනනවා. අපි සියලු ම දෙනාට ජීවත් වෙන්න ප්‍රශ්න තියෙනවා. බඩුවල මිල ගණන් වැඩි යි. ඒ මිල අඩු කරන එකත් අලුතෙන් පත්වෙන ජනාධිපතිවරයාගේ වගකීමක්," ඔහු පැවසුවේ ය.

'ආර්ථික වශයෙන් අසරණ වී සිටින ජනතාව ගැන සිතන කෙනෙක්'

මීට වසර 5කට පෙර රටේ පැවති ඉන්ධන මිලට සාපේක්ෂව අද වන විට පවතින ඉන්ධන මිල තමන් ඇතුළු ධීවරයින්ට දැරිය නොහැකි බව කාත්තුන්කුඩි ප්‍රදේශයේ ධීවරයෙකු ලෙස වසර 45ක් පුරා සිය ජීවිකාව කරගෙන යන මොහොමඩ් ඉස්මයිල් අක්බර් බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමින් පැවසීය.

ඔහු පැවසුවේ, රට තුළ තමන් වැනි එදිනෙදා ජීවිකාව සරිකර ගැනීමට වෙහෙසෙන ජනතාවට අලුතෙන් පත්වීමට නියමිත නව ජනාධිපතිවරයා ඉක්මන් සහනයක් ලබා දෙනු ඇතැයි බලාපොරොත්තුවෙන් සිටින බව ය.

"මම අවුරුදු 45ක් පුරාවට ධීවරයෙක් විදිහට කටයුතු කරනවා. මේ වෙරළේ ධීවර රැකියාව සිදුකරන බෝට්ටු 70කට ආසන්න සංඛ්‍යාවක් තියෙනවා. අද මේ ඔක්කොම ධීවරයෝ ණයකාරයින් වෙලා ඉවර යි. අපිට ධීවර රැකියාවට යන්න භූමිතෙල් ලීටර් 10ක් ඔයිල් එක්ක මිල දී ගන්න රුපියල් 3500ක් අවශ්‍ය යි. අනෙක් කෑම ඇතුළු අවශ්‍ය බඩු බාහිරාදිය එක්ක ගත්ත ම රුපියල් 10,000ක් ඕන කරනවා රැකියාවට යන්න."

"එහෙම රැකියාවට ගියත් සමහර දවස්වලට අපිට අල්ල ගන්න පුළුවන් වෙන්නේ මාළු කිලෝ 10-15ක් වගේ ප්‍රමාණයක්. වියදම් කළ මුදල අඩු කළා ම ඉතුරු වෙන්නේ රුපියල් 5000-6000ක් වගේ. ඒක රැකියාවේ යන අය බෙදා ගත්තා ම කෙනෙකුට ඉතුරු වෙන්නේ රුපියල් 2000ක් වගේ. අද කාලේ එහෙම මුදලක් ඇති ද ජීවත් වෙන්න? ගෙවල්වල වියදම් දරන්න ගියා ම අපි අසරණ වෙනවා."

"මීට අවුරුදු 5කට කලින් තිබ්බ තෙල් මිල එක්ක බැලුව ම අද විශාල ගාණක් යනවා. අලුතෙන් පත්වෙන ජනාධිපතිවරයා මේ ගැන අවධානය යොමු කරලා අපි වගේ ධීවරයින් වගේ ම එදිනෙදා ජීවත් වෙන්න රැකියාවල් කරන ජනතාවට සහනයක් දෙන්න කටයුතු කරන්න ඕන. අපිට උදව් කරන්න කවුරුත් නැහැ. ඒ නිසා අපිට උදව් අවශ්‍ය යි. ජීවත් වෙන්න වගේ ම රැකියාව කරන් යන්න," මොහොමඩ් ඉස්මයිල් පැවසීය.

ධීවර

ඡායාරූප මූලාශ්‍රය, Dinuk Hewawitharana - BBC Sinhala

ඡායාරූප ශීර්ෂ වැකිය, "මේ වෙරළේ ධීවර රැකියාවට යොදා ගන්න බෝට්ටු 70කට ආසන්න සංඛ්‍යාවක් තියෙනවා. අද මේ ඔක්කොම ධීවරයෝ ණය කාරයින් වෙලා ඉවර යි."

'රටේ දූෂණය සහ වංචාව පිටු දකින කෙනෙකු විය යුතු යි'

කාත්තන්කුඩි ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු වන 56 හැවිරිදි අබ්දුල්ලා මොහොමඩ් අෂ්රෆ් බීබීසී සිංහල සේවය සමග අදහස් දක්වමින් පැවසුවේ, මෙවර ජනාධිපතිවරණය ජය ගන්නා නව ජනාධිපතිවරයා අනිවාර්යෙන් ම රටේ දූෂණය නැති කරන අයෙකු විය යුතු බව ය.

ඔහු වැඩිදුරටත් පැවසුවේ, රටේ දූෂණය පිටුදැකීම සහ සිදුවූ දූෂණ පිළිබඳව සොයා බලා ඒවාට නිසි පියවර ගැනීම නව ජනාධිපතිවරයා අනිවාර්යෙන් ම සිදුකළ යුතු බව ය.

"රටේ සිදුවන දූෂණය සහ වංචාව පිටුදැකීමයට නව ජනාධිපතිවරයා අනිවාර්යෙන් ම කටයුතු කළ යුතු යි. අපේ රට දියුණු කරන්න පුළුවන්, නමුත් අවශ්‍ය වෙලා තියෙන්නේ මීට වසර ගණනාවක් පුරාවට සිදුවුණු දූෂණය සහ වංචාවන් ගැන කවුරුත් හරියට කටයුතු කළේ නැහැ. ඒ වැරැද්ද අලුතෙන් පත්වන ජනාධිපතිවරයා නොකළ යුතු යි."

වෙළෙඳ

ඡායාරූප මූලාශ්‍රය, Dinuk Hewawitharana - BBC Sinhala

ඡායාරූප ශීර්ෂ වැකිය, "රටේ සිදුවන දූෂණය සහ වංචාව පිටුදැකීමට නව ජනාධිපතිවරයා අනිවාර්යෙන් ම කටයුතු කළ යුතු යි. අපේ රට දියුණු කරන්න පුළුවන්"

'ජාති භේද නැති කරන කෙනෙක් විය යුතුයි'

කාත්තන්කුඩි පොදු වෙළෙඳ සංකීර්ණයේ සේවයේ නියුතු 63 හැවිරිදි මොහොමඩ් කාසිම් මොහොමඩ් හලාම්දීන් පැවසුවේ, මෙවර ජනාධිපතිවරණයේදී උතුරු සහ නැගෙනහිර පළාතේ ජනතාවගේ ඡන්දය තීරණාත්මක බව ය.

එමෙන් ම, නව ජනාධිපතිවරයා රටේ සියලු ජාතීන් එකතු කරන අයෙකු විය යුතු බවට තමන් අපේක්ෂා කරන බව ද ඔහු පැවසුවේ ය.

"2019 වසරේ පැවති ජනාධිපතිවරණයේදී පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය උපයෝගී කර ගනිමින් රටේ ජාති භේදයක් ඇති වන විදිහට කටයුතු කළා. මේ රට දියුණු කරන්න අවශ්‍ය නම් සෑම ජන කොටසක් ම එක්විය යුතු යි. මම බලාපොරොත්තු වෙන්නේ, අලුතෙන් පත්වෙන ජනාධිපතිවරයා අපි හැමෝම එකට එකතු කරගෙන රට පාලනය කරන්න පුළුවන් වෙන කෙනෙක් විය යුතු යි කියල යි," ඔහු පැවසීය.