කෙනඩි ඝාතනයේ රහස් ලිපි ගොනු මහජනයා අතට

ඝාතනය කරනු ලැබීමට පැයකටත් අඩු කාලයකට පෙර

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, ඝාතනය කරනු ලැබීමට පැයකටත් අඩු කාලයකට පෙර

ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ජොන් එෆ් කෙනඩි ඝාතනයට අදාළ රාජ්‍ය රහස් මට්ටමින් මෙතෙක් තබා ගන්නා ලද ලේඛන දහස් ගණනක් වොෂිංටන් බලධාරීන් විසින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත.

හිටපු ජනාධිපති ජොන් එෆ් කෙනඩි ඩලස් හි (Dallas) සංචාරයක නිරත වෙමින් සිටියදී වෙඩිතබා මරා දමන ලද්දේ 1963 වසරේය.

ඉහත කී ලේඛන ප්‍රකාශයට පත් කරනු ලැබීමෙන් අන්තුරුව ප්‍රකාශයක් කළ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් "දැනට ජීවතුන් අතර සිටින පුද්ගලයන්ගේ නම් සහ ලිපිනයන් හැරුණ විට වෙනත් අයට අදාළ ලේඛන දහස් ගණනක් මහජනතාව අතට පත් කරන" බව කියා සිටියේය.

ඇතැම් ලේඛන තවදුරටත් රහස්‍ය මට්ටමින් තබා ඇත්තේ එක්සත් ජනපද ආණ්ඩුවේ ආයතනයන්හි ඉල්ලීම් සැලකිල්ලට ගනිමිනි.

කෙනඩි ඝාතනයට අදාළ ලිපි ගොනු 2800 ක් පමණ මේවනවිට මුදා හරිනු ලැබ ඇත.

ජනාධිපති ඝාතනයේ චුදිතයා -ලී හාවි ඔස්වල්ඩ්
ඡායාරූප ශීර්ෂ වැකිය, ජනාධිපති ඝාතනයේ චුදිතයා -ලී හාවි ඔස්වල්ඩ්

බොහෝ ලිපි ගොනු වලට ඇතුළත් වන්නේ එක්රැස් කර ගන්නා ලද නමුත් සත්‍යාසත්‍යභාවය තහවුරු නොකළ රහස් තොරතුරු බවත් වාර්තා වෙයි.

ලී හාවි ඔස්වල්ඩ් (Lee Harvey Oswald) විසින් කෙනඩි ඝාතනය කරන ලද දිනයේ සටහනක් ලියා තබන ඇමෙරිකානු මධ්‍යම රහස් ඔත්තු අංශයේ (FBI) අධ්‍යක්ෂ ජේ.එඩ්ගාර් හූවර් එම ඝාතනය සම්බන්ධයෙන් කුමන්ත්‍රණ න්‍යායන් පතුරුවා හරිනු ලැබීම සම්බන්ධයෙන් සිය කනස්සල්ල සටහන් කොට ඇත.

ඔහු මෙසේ ලියයි.

"සැබෑ ඝාතකයා ලී හාවි ඔස්වල්ඩ් බව අපට මහජනතාවට ඒත්තු ගන්වන්න පුළුවන්"

ලී හාවි ඔස්වල්ඩ් මෙක්සිකෝ සිටි නගරයේ දී එහි රුසියානු තානාපති කාර්යාලයේ දී සෝවියට් රහස් ඔත්තු සේවාවේ (KGB) නිලධාරියකු සමඟ කතා කර ඇතැයි ඇමෙරිකානු මධ්‍යම රහස් ඔත්තු අංශය රහසින් සවන් දුන් දුරකතන පණිවුඩයකින් ලද තොරතුරු අනුව සටහන් කර ඇත.

එම සටහනේ දැක්වෙන තොරතුරු අනුව ලී හාවි ඔස්වල්ඩ් 1963 ඔක්තෝබර් 28 වෙනිදා කතා කර තිබෙන්නේ වැලරි ව්ලදිමීරෝවිච් කොස්තිකෝෆ් නමැති "KGB නිලධාරියකු හැටියට හඳුනා ගන්නා ලද" රුසියානු ජාතිකයකු සමඟයි.

එම රුසියානු නිලධාරියා "විනාශකාරී සහ ඝාතන" සඳහා ක්‍රියාත්මක වෙන දෙපාර්තමේන්තුවක නිරත වූවකු බවත් සී.අයි.ඒ. සටහනක දැක්වෙයි.

හෝටලයක උඩු මහලක සිට වෙඩි තබා ජනාධිපති කෙනඩි ඝාතනය කළ ඔස්වල්ඩ් එවෙලේම අත්අඩංගුවට ගනිමින් ඔහුට එරෙහිව චෝදනා ගොනු කරනු ලැබුණි.

එහෙත් ඉන් දවස් දෙකකට පසුව ඩලස් (Dallas) පොලිස් දෙපාර්තමේන්තුවේ බිම් මහලේ දී එම ප්‍රදේශයේ රාත්‍රි සමාජ ශාලා හිමියකු විසින් ඔස්වල්ඩ්ට වෙඩි තබා මරා දමනු ලැබුණි.

ජනාධිපති කෙනඩි මරා දමන ලද්දේ සිය බිරිඳ ඉදිරිපිටදීය
ඡායාරූප ශීර්ෂ වැකිය, ජනාධිපති කෙනඩි මරා දමන ලද්දේ සිය බිරිඳ ඉදිරිපිටදීය

මෙහිදී පැන නගින ප්‍රශ්නයක් වන්නේ චූදිත ඔස්වල්ඩ් ආරක්ෂා කිරීම සඳහා ගතයුතු තවත් ආරක්ෂක පියවර නොවීද? යන්නයි.

දැනට අනාවරණය වී ඇති එක් ලේඛනයක් අනුව ඇමෙරිකානු මධ්‍යම රහස් ඔත්තු අංශයේ (FBI) ඔස්වල්ඩ්ට එරෙහිව එල්ල වෙමින් පැවති මරණ තර්ජනයක් සම්බන්ධයෙන් ඩලස් (Dallas) පොලිසියට අනතුරු ඇඟවීමක් සිදුකර ඇත.

"ඒ සමඟ අපි පොලිස් ප්‍රධානියා දැනුවත් කළා. ඔස්වල්ඩ් වෙනුවෙන් අතිරේක ආරක්ෂාව සලසන බවට පොලිස් ප්‍රධානියා සහතික වුනා. කොහොම වුනත් ඒක ඒ විධියට ඉටු වුණේ නැහැ" ඇමෙරිකානු මධ්‍යම රහස් ඔත්තු අංශයේ FBI අධ්‍යක්ෂ ජේ. එඩ්ගාර් හූවර් පවසයි.

සෙනේට් සභික ජොන් එෆ් කෙනඩි ජනාධිපති පදවියට පත් වීමට පෙර පෞද්ගලික රහස් ඔත්තු සංවිධානයක සාමාජිකයෙක් ඔහු පිළිබඳව ඔත්තු බැලීමේ ප්‍රයත්නයක නිරත වීමක් ගැනත් FBI සටහනක දැක්වෙයි.

"පෞද්ගලික ඔත්තු බලන්නකු වූ ෆ්‍රෙඩ් ඔටෑෂ් (Fred Otash) සෙනේට් සභික කෙනඩි කාමෝත්සව වලට සහභාගී වන්නේදැයි දැන ගැනීමට ඉහළ මිල ගණන් අය කරන හොලිවුඩ් අබිසරු ලියක් අමතා තිබෙනවා" යනුවෙන් FBI සටහනෙහි දැක්වෙයි.

ඒ අතරම ජොන් එෆ් කෙනඩි නොසරුප් ප්‍රකාශන සිදු කරන්නේ නම් ඒවා පටිගත කර ගැනීම සඳහා අවශ්‍ය උපකරණ සිරුරේ සඟවා තබා ගැනීමටත් එම පෞද්ගලික රහස් පරීක්ෂකයා එකී කාන්තාවට යෝජනා කර ඇත.

එම යෝජනාව බැහැර කළ අබිසරු ලිය කිසිදු අවිචාරාත් හැසිරීම් හෝ නොසරුප් ප්‍රකාශනයක් ගැන තමා නොදත් බව ප්‍රකාශ කර ඇත.

කෙනඩි ඝාතනය සිදු කිරීමට මිනිත්තු විසි පහකට පෙර බ්‍රිතාන්‍යයේ පළ කෙරෙන ප්‍රාදේශීය පුවත්පතක් ලද නිර්නාමික දුරකථන ඇමතුමක් පිළිබඳවත් එක් ලේඛනයක දැක්වෙයි.

"ඇමෙරිකා එක්සත් ජනපදයේ සිදුවිය හැකි විශාල ප්‍රවෘත්තියක්" පිළිබඳව එම නිර්නාමික දුරකථන ඇමතුම්කරුවා 'කේම්බ්‍රිජ් නිව්ස්' නම් පුවත්පතට ප්‍රකාශ කර ඇති බව එහි සඳහන් වෙයි.

"කේම්බ්‍රිජ් නිව්ස් පුවත්පතේ වාර්තාකරුවකුට කතා කළ දුරකතන ඇමතුම්කරුවා ලන්ඩන් නගරයේ ඇමෙරිකානු තානාපති කාර්යාලයට කතා කොට ලොකු ප්‍රවෘත්තියක් දැන ගන්නා මෙන් ප්‍රකාශ කොට දුරකතනය විසන්ධි කර ඇත." එම සටහන සිද්ධිය විස්තර කරයි.

රාජ්‍ය ගෞරව සහිතව සිදු කරන ලද අවමඟුල් උළෙල

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, රාජ්‍ය ගෞරව සහිතව සිදු කරන ලද අවමඟුල් උළෙල

කියුබාවේ නායකයන් ඝාතනය කරනු ලැබීමේ මෙහෙයුම් ගැනත් ඇමෙරිකා එක්සත් ජනපදය විසින් ප්‍රසිද්ධ කරන ලද ලිපිගොනු වලට ඇතුළත් වෙයි.

කියුබානු නායකයන් ඝාතනය කිරීම හෝ පණ පිටින් අල්ලා ගනු ලැබීම සඳහා ඩොලර් ලක්ෂයක් ගෙවන බව එක් ලේඛනයක දැක්වෙයි.

එහෙත් කියුබානු නායක ෆිදෙල් කස්ත්‍රෝ වෙනුවෙන් තබා ඇත්තේ ඩොලර් ශත දෙකක ($0.02) ලන්සුවකි!

ජනාධිපති කෙනඩි ඝාතනය කරනු ලැබීමෙන් අනතුරුව ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති පදවියට පත් ලින්ඩන් බී. ජොන්සන් ටෙක්සාස්හි සුදු අන්තවාදී KKK නම් කල්ලියක සාමාජිකයකු හැටියට ක්‍රියාකර ඇති බවක් ද එක් ලිපි ගොනුවකින් අනාවරණය වෙයි.