හෙරොයින් මහ මොළකරු 'තවමත් නිදැල්ලේ'

ශ්‍රී ලංකාවට හෙරොයින් ප්‍රවාහනය කිරීමේ ජාවාරමේ මහ මොළකරුවෙකු ලෙසින් සැක කෙරෙන පුද්ගලයෙකු තවමත් විවිධ රටවලට පලායමින් සැඟ වී සිටින බව පොලිසිය පවසයි.
'පරාවර්තනය' සහ 'සෙල්වම්' චිත්‍රපට දෙක නිෂ්පාදනය කරමින් කලා කටයුතුවලටද සම්බන්ධව සිටි ශ්‍රී ලාංකික ව්‍යාපාරික මොහමඩ් මුබාරක් මොහමඩ් මුජාහිඩ් හෙවත් මොහමඩ් මුජාහිඩ් නමැති හෙරොයින් ජාවාරම්කරුට මැලේසියාවේ පුරවැසිභාවය පවා හිමිව තිබුණු බවත් පොලිස් ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි පැවසීය.
නියෝජ්‍ය පොලිස්පතිවරයා ඒ බව සඳහන් කළේ හලාවත දී හෙරොයින් කිලෝග්‍රෑම් 200ක් සහ කොළඹ ඩීආර් විජේවර්ධන මාවතේ කුණු ගොඩක සඟවා තිබී හෙරොයින් කිලෝග්‍රෑම් 3.5 ක් පොලිසිය විසින් බ්‍රහස්පතින්දා (මැයි 11 ) සොයාගැනීම පිළිබඳව බීබීසී සිංහල සේවය සමග අදහස් දක්වමිනි.
හලාවත දී හමු වූ හෙරොයින් තොගය සම්බන්ධයෙන් ඩිෆෙන්ඩර් රථයක් සමග එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පාකිස්තානයේ සිට මේ ආකාරයෙන් හෙරොයින් ගෙන එනු ලබන්නේ ශ්‍රී ලංකාවේ හෙරොයින් භාවිත කරන්නන් වෙනුවෙන් බව සඳහන් කළ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි, ශ්‍රී ලංකාව හරහා කොකේන් මත්ද්‍රව්‍ය වෙනත් රටවලට පැටවීමේ ජාවාරමක් ද ක්‍රියාත්මක වෙමින් පවතින බව සඳහන් කළේය.
දේශපාලන හස්ත?
මත්ද්‍රව්‍ය ජාවාරමට අනුබල දෙන බවට එවක විරුද්ධ පක්ෂයේ සිටි වත්මන් ආණ්ඩුවේ බොහෝ නායකයෝ රාජපක්ෂ පරිපාලනයේ ඇතැම් මැති, ඇමතිවරුන්ට චෝදනා කළහ.

ඡායාරූප මූලාශ්‍රය, Priyantha Jayakody/ FB
එවැනි චෝදනා එල්ල වූ නමුත්, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ දේශපාලන නායකයන් අතර එවැනි සම්බන්ධයක් පැවති බවට පොලිස් විමර්ශනවලදී හෙළි වී නැති බව පොලිස් ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි බීබීසී සිංහල සේවය කළ විමසීමකදී සඳහන් කළේය.
මොහමඩ් මුජාහිඩ් ඇතුළු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් රාජපක්ෂ පරිපාලනයේ ඇතැම් නායකයන් සමග පෙනී සිටි ඡායාරූප සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ප්‍රකාශයට පත් වූ නමුත්, ඔවුන් අතර සමීප සම්බන්ධයක් තිබුණු බවක් එයින් සනාථ නොවන බව නියෝජ්‍ය පොලිස්පතිවරයා කියා සිටී.
පාකිස්තානය සහ ශ්‍රී ලංකාව අතර සංවිධානාත්මකව ක්‍රියාත්මකවන මත්ද්‍රව්‍ය ජාවාරමට වැට බැඳීම පිණිස පොලිසිය දිගටම විමර්ශනවල නිරතව සිටින බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.








