කේරලයේ සමූහ දුෂණයට විසි හතර දෙනෙකුට දඬුවම්

ස්ත්‍රී දූෂණයට එරෙහිව ඉන්දියාවේ පැවති උද්ඝෝෂණයක්

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, ස්ත්‍රී දූෂණයට එරෙහිව ඉන්දියාවේ පැවති උද්ඝෝෂණයක්

නව යොවුන් දැරියක පැහැර ගෙන ගොස් සමූහ දූෂණයට ලක් කිරීමේ වරදට ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ මහාධිකරණය එක් පුද්ගලයෙකු ජීවිතාන්තය දක්වා සිර ගත කරන ලෙසත් තවත් විසි තුන් දෙනෙකුට වසර දහතුනක් දක්වා වූ සිර දඬුවම් ලබා දෙන ලෙසත් නියෝග කළේය.

මෙම පිරිස විසින් පැහැර ගෙන යන ලද ඉහත කී දහසය වියැති පාසැල් ශිෂ්‍යාව මාසයකට අධික කාලයක් බලහත්කාරයෙන් රඳවා ගෙන සිටි බව අධිකරණයේ දී ඔප්පු වී තිබේ.

එම කාලය ඇතුළත බොහෝ අය සමඟ ලිංගිකව එක් වීමට ඇයට බල කර ඇති අතර මේ පිරිස අතර ව්‍යාපාරිකයන්, නීතිඥයන් සහ විශ්‍රාම ලත් විශ්වවිද්‍යාල ආචාර්යවරයෙකුද සිටින බවයි වාර්තා වන්නේ.

මෙම දැරිය පැහැර ගැනීම සිදු වූයේ වසර 1996 දී.

මෙම අපරාධය සම්බන්ධයෙන් පළමු වරට පැවති නඩු විභාගයකදී තිස් පස් දෙනෙකුට දඬුවම් නියම කළ නමුත් 2005 දී ඉදිරිපත් කළ අභියාචනයකින් එක් පුද්ගලයෙකු චෝදනා වලින් නිදහස් විය.

නමුත් මේ පිළිබඳව අලුතින් නඩු විභාගයක් පවත්වන ලෙස ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය වසරේදී නියෝග කළේය.