යානය සෙවීමේ නව සෝදිසි මෙහෙයුම් අසාර්ථකයි

සති දෙකකට ආසන්න කාලයකට පෙර අතුරුදහන් වූ MH370 මැලේසියානු ගුවන් යානය සොයා ගැනීමට මෙතෙක් ගත් සියලු ප්‍රයත්න අසාර්ථක වී ඇත.
ඉන්දීය සාගරයේ දකුණු කලාපය නැව් සහ ගුවන් යානා යොදා ගනිමින් දැඩි පිරික්සුමකට ලක් කළත් යානය සම්බන්ධයෙන් කිසිදු ළකුණක් වත් දක්නට ලැබී නැති බවයි වාර්තා වන්නේ.
අද බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තුව අමතා කතා කළ ඔස්ට්‍රේලියානු අගමැති ටෝනි ඇබට් ,අතුරුදහන් යානයේ ‘වීමට ඉඩකඩ ඇති’ කොටස් කීපයක් චන්ද්‍රිකා ඡායාරූප වලට හසුව ඇති බවක් කියා තිබුණි.
චන්ද්‍රිකා ඡායාරූප
එම ප්‍රකාශය කරමින් අගමැතිවරයා, ‘වීමට ඉඩකඩ ඇති’ යන වචන අවධාරණය කළ බවයි ඕස්ට්‍රේලියානු මාධ්‍ය මගින් වාර්තා කෙරුණේ.
චන්ද්‍රිකා ඡායාරූප වල දැක්වෙන ස්ථාන හසු කර ගැනීමට ඕස්ට්‍රේලියානු රාජකීය ගුවන් හමුදාවේ යානයක් අදාළ සෝදිසි ප්‍රදේශයේ ගවේෂණයක නිරත වූ නමුත් කිසිවක් සොයා ගැනීමට නොහැකි වූ බව නිලධාරීහු ප්‍රකාශ කළහ.

ඡායාරූප මූලාශ්‍රය, Getty
ඔස්ට්‍රේලියාව අතුරුදහන් වූ යානය සෙවීමේ මෙහෙයුම් පෙරට ගෙන යමින් සිටින්නේ, එම යානය පියාසර කරමින් තිබුන නියමිත දිශාවට සහමුලින්ම වෙනත් කලාපයක් වන ඉන්දියානු සාගරයේ දකුණු කලාපය ඔස්සේයි.
යානයේ සුන්බුන් විය හැකි බව පැවසෙන කොටස් පිළිබඳව ඕස්ට්‍රේලියානු ප්‍රවෘත්තිය පල වීමෙන් අනතුරුව චීනයේ බේජිං නගරයේ සිට තොරතුරු ගෙනෙමින් බීබීසී වාර්තාකාරිනී සෙලියා හට්න් කියා සිටියේ ගුවන් මගීන්ගේ ඥාතීන් එම පුවත විශ්වාස නොකරන බවයි.
නෑදෑයන් ගේ මතය
එක් චීන ජාතිකයකු බීබීසී මාධ්‍යවේදිනියට කියා සිටියේ අතුරුදහන් ගුවන් යානයේ සිටි තම පුත්‍රයා තවමත් ජීවතුන් අතර සිටින බව තම විශ්වාසය වන බවයි.
මේ අතර මැලේසියාව ප්‍රකාශ කළේ ඕස්ට්‍රේලියානු චන්ද්‍රිකා ඡායාරූපවල දැක්වෙන සුංබුන් සිය MH370 යානයේ ඒවා විය නොහැකි බවයි.
අද බ්‍රහස්පතින්දා සිදු කෙරුණ සෝදිසි මෙහෙයුම් වලට කුණාටු සහ දැඩි වර්ෂාවෙන් බාධා එල්ල වූ බවක් ද වාර්තා වෙයි.
අදාළ මෙහෙයුම් සිකුරාදා යළි ආරම්භ කරන බවත් නිවේදනය කොට ඇත.








