යානය ගැන චීනයේ වෙනම පරීක්ෂණයක්

අතුරුදහන් වූ මැලේසියානු ගුවන් යානය සෙවීමේ පරීක්ෂණ ගුවන් පථ දෙකක් ඔස්සේ නාවුක වර්ග සැතපුම් විසි ලක්ෂයක ප්‍රදේශයක් දක්වා ව්‍යාප්ත කොට තිබෙන බව මැලේසියානු බලධාරීහු පවසති.
උතුරු ප්‍රදේශයෙන් මධ්‍යම ආසියාව කරා එක් ගුවන් පථයක් විහිද යන අතර, පරීක්ෂාවට ලක් කෙරෙන අනෙක් ගුවන් පථය විහිදෙන්නේ ඉන්දීය සාගරය ඔස්සේයි.
පරීක්ෂාවට ලක් කෙරෙන ප්‍රදේශය සීමා කිරීමේ පිණිස රේඩාර් සහ චන්ද්‍රිකා තොරතුරු දත්ත විශ්ලේෂණය කරමින් සිටින බවද බලධාරීහු ප්‍රකාශ කරති.
කිලෝමීටර තුන්දාහක්
ක්වාලාලම්පූර් නුවර සිට බෙයිජිං බලා ගුවන් ගතවීමට නියමිතව තිබුණු යානයේ ගමන් මාර්ගය, යානය තුල සිටි කිසිවකු විසින් වුවමනාවෙන්ම වෙනස් කරන ලද බව ඔවුන්ගේ විශ්වාසයයි.
මීට දින දහයකට ඉහතදී අතුරුදහන් වූ යානය චීන භූමිභාගය තුල සෙවීමේ මෙහෙයුම් ආරම්භ කළ බව මේ අතර චීනය ප්‍රකාශ කරයි.
එය මධ්‍යම ආසියාව දක්වා දිවෙන කිලෝමීටර තුන්දාහක විශාල ප්‍රදේශයක් බවයි, බෙයිජිං අගනුවර සිටින බීබීසී වාර්තාකරු මාටින් පේශන්ස් පවසන්නේ.

ඡායාරූප මූලාශ්‍රය, AP
"චීනයේ දකුණු දේශසීමාවේ ඉඳල, හිමාලය කඳුවැටියට උඩින් මධ්‍යම ආසියාවේ කාන්තාර දක්වා විශාල ප්‍රදේශයක සොයන්න වෙනවා. චීන බලධාරීන් කියන්නේ. මෙතරම් විශාල ප්‍රදේශයක් හරහා, රේඩාර් තිරයට අසු වෙන්නේ නැතිව, ගුවන් යානයකට පියාසර කරන්න පුලුවන්ද කියල හිතා ගන්නත් අමාරුයි," යනුවෙන්ද ඔහු සඳහන් කළේය.




