අතුරුදහන් වූ ගුවන් යානය ගැන ඕස්ට්‍රේලියාවෙන් හෝඩුවාවක්

අතුරුදහන් වූ ගුවන් යානය සෙවීම

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, අතුරුදහන් වූ ගුවන් යානය සෙවීම

අතුරුදහන් වී ඇති මලයාසියානු ගුවන් යානයේ සුන්බුන් යැයි සැලකෙන කොටස් චන්ද්‍රිකා ඡයාරූප වලට හසුවී ඇතැයි ඔස්ට්‍රෙලියානු අගමැති ටෝනි ඇබට් පාර්ලිමේන්තුවට දන්වා සිටියේය.

කැන්බරා හි දී පාර්ලිමේන්තුව ඇමතු අගමැතිවරයා කියා සිටියේ, ක්වාලාලම්පුර් සිට චීනයේ බෙයිජිං නගරය කරා ගමන් ගනිද්දී අතුරුදහන් වූ ගුවන් යානය පිළිබඳව තමන්ට විශ්වාසදායක තොරතරු ලැබී ඇති බවයි.

ගුවන් යානය අතුරුදහන්වීම පිළිබඳව මුලින්ම වාර්තා වුනේ මීට සති දෙකකට පෙරයි.

සමුද්‍ර ආරක්ෂක අධිකාරියේ ප්‍රකාශක ජෝන් යන්ග් කියා සිටියේ බටහිර ඕස්ට්‍රේලියානු වෙරළේ පර්ත් නගරයට කිලෝ මීටර් දෙදහස් පන්සීයක් නිරිත දිගින් හමු වී ඇති සුන්බුන් වලින් එක් කොටසක් දිගින් මීටර් විසි හතරක් පමණ වන බවයි.

සුන්බුන් සොයා ගැනීම දුෂ්කර බවත් සුන්බුන් අතුරුදහන් වූ යානයට අයත් නොවීමට ඉඩ තිබෙන බවත් ජෝන් යන්ග් වැඩි දුරටත් පැවසීය.

ඔස්ට්‍රේලියාව,නවසීලන්තය සහ ඇමරිකානු නැව් සහ ගුවන් යානා ඉහත කී සුන්බුන් හමුවූ බව කියන ප්‍රදේශය කරා ලඟා වෙන බවයි වාර්තා වෙන්නේ.