'යානය ගැන මැලේසියානු තොරතුරු ව්‍යාකූලයි’- චීනය

යානය සෙවීමේ ප්‍රයත්නය
ඡායාරූප ශීර්ෂ වැකිය, යානය සෙවීමේ ප්‍රයත්නය

අතුරුදහන් වූ මැලේසියානු ගුවන් යානය සම්බන්ධයෙන් ව්‍යාකූල තොරතුරු ඉදිරිපත් කෙරෙන බවට චීනය ප්‍රසිද්ධියේ පැමිණිළි කර ඇත.

එවැනි තත්වයක් යටතේ නිවැරදි තොරතුර කුමක්ද යන්න තෝරා ගැනීමේ දුෂ්කර තත්වයක් මතු ව ඇති බවයි, චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශකයෙක් සඳහන් කළේ.

යානය මලක්කා සමුද්‍ර සන්ධිය දෙසට -මැලේසියානු හමුදා රේඩාර් තිරයේ
ඡායාරූප ශීර්ෂ වැකිය, යානය මලක්කා සමුද්‍ර සන්ධිය දෙසට -මැලේසියානු හමුදා රේඩාර් තිරයේ

අතුරුදහන් යානය සෙවීමේ ජාත්‍යන්තර මෙහෙයුම සම්බන්ධීකරණය කිරීමේ මැලේසියානු උත්සාහය සම්බන්ධයෙන් බොහෝ රටවල් පෞද්ගලික මට්ටමින් බලාපොරොත්තු කඩ වූ තත්වයකට පත්ව ඇතැයි බීබීසී වාර්තාකරුවෙක් පවසයි.

චීනයේ ස්ථාවරය තමන්ට වැටහෙන නමුත් කිසිදු ආකාරයක ව්‍යාකූල තත්වයක් නොමැති බවයි මැලේසියාව පවසන්නේ.

අතුරුදහන් මැලේසියානු යානයේ ගමන් ගනිමින් සිටි මගීන්ගෙන් වැඩි දෙනා චීන ජාතිකයෝ වෙති.

'ඉරණම අපැහැදිලියි'

මෙයින් දින පහකට පෙර අතුරුදහන් වූ යානයේ ඉරණම සම්බන්ධයෙන් ප්‍රකාශයට පත් කෙරෙන වාර්තා ව්‍යාකූල අතට හැරෙමින් පවතිද්දී එම යානය සෙවීමේ නිරත කණ්ඩායම් මලයා අර්ධද්වීපයේ නැගෙනහිර සහ බටහිර කලාප ආවරණය කෙරෙන මට්ටමේ පුළුල් කලාපයක සෝදිසි කිරීම්වල යෙදී සිටිති.

මාධ්‍ය හමුවක දී මැලේසියාව අනාවරණය කළේ, අතුරු දහන් යානය විය හැකි හඳුනා ගත නො හැකි වස්තුවක් මලක්කා සමුද්‍ර සන්ධියට පිවිසෙන ආකාරය යුද හමුදා රේඩාර් තිරයෙහි සටහන් වී ඇති බවයි.

එහෙත් වියට්නාමයෙන් කිලෝමීටර් තුන්සීයක් පමණ ඈත ඊශාන දිගින් පිහිටි ඛනිජ තෙල් මධ්‍යස්ථානයක සේවකයෙක් පවසන්නේ අහසේ ගිනි ගන්නා යමක් තමා දුටු බවයි.

අතුරුදහන් වූ යානයේ ඉරණම සම්බන්ධයෙන් ප්‍රකාශයට පත් කෙරෙන වාර්තා 'ව්‍යාකූලයි'
ඡායාරූප ශීර්ෂ වැකිය, අතුරුදහන් වූ යානයේ ඉරණම සම්බන්ධයෙන් ප්‍රකාශයට පත් කෙරෙන වාර්තා 'ව්‍යාකූලයි'

මගීන් 239 ක් සමඟ අතුරුදහන් යානය සෙවීමේ සිය මෙහෙයුම සීමා කිරීමට වියට්නාමය පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

එහෙත් දැවෙන යමක් අහසේ දුටු බවට තම රටවැසියකු කරන ප්‍රකාශය සම්බන්ධයෙන් වියට්නාමය විභාග කරන බවත් වාර්තා වෙයි.

මේ අතර මැලේසියාව අන්දමන් මුහුද සහ බටහිර තායිලන්ත මුහුද ඇතුළුව තම සෝදිසි කලාපය පුළුල් කිරීමට පියවර ගෙන තිබේ.