යුක්රේනයේ අගනුවර ලක්ෂයක් උද්ඝෝෂණයේ

යුරෝපය සමඟ දැනට වඩා සම්බන්ධතා තර කළ යුතු බවට ආණ්ඩුවට බල කරමින් ලක්ෂයකට ආසන්න යුක්රේන වැසියෝ කියෙෆ් අගනුවර මධ්‍යයේ උද්ඝෝෂණයේ නිරතව සිටිති.
නගරය මධ්‍යයේ පිහිටි නිදහස් චතුරශ්‍රය උද්ඝෝෂකයන්ගේ කූඩාරම් වලින් පිරී ගොස් තිබෙන අතර, තූර්ය වාදක කණ්ඩායමක් උද්ඝෝෂකයන් සංගීතයෙන් පිනවමින් සිටියි.
ජනාධිපති වික්තර් යනුකෝවිච්ට දැඩි බලපෑමක් එල්ල කිරීම පිණිස රැලියට දස ලක්ෂයක ජනකායක් එක් වන මෙන් විරුද්ධ පක්ෂය ඉල්ලීමක් කොට තිබෙන බැවින් අද විපක්ෂයට තීරණාත්මක දිනයක් බවයි, එහි සිටින බීබීසී වාර්තාකරුවෙක් පවසන්නේ.
යුරෝපය වෙනුවට රුසියාව

යුරෝපය සමඟ වෙළඳ ගිවිසුමකට අත්සන් තැබීම මීට සති තුනකට ඉහතදී ජනාධිපතිවරයා විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීමෙන් අනතුරුවයි, යුක්රේනයේ මහජන උද්ඝෝෂණ පැන නැගුණේ.
ඒ වෙනුවට රුසියාව සමඟ සම්බන්ධතා තර කිරීම සම්බන්ධයෙන් අවධානය පළ කිරීමට ඔහු තීරණය කළේය.
රුසියාවේ කළු මුහුදු බඩ සෝචි නිවාඩු නිකේතනයේදී ජනාධිපති යනුකොවිච් පසුගිය සිකුරාදා රුසියාවේ ජනාධිපති ව්ලදිමීර් පූතින් මුණ ගැසුණ අතර, එම හමුවීම උද්ඝෝෂකයන්ගේ කෝපය තීව්‍ර කිරීමට හේතු විය.
අනාගත මූලෝපායික සම්බන්ධතාවයක් පිළිබඳව නායකයන් දෙදෙනා සාකච්ඡා පැවැත්වූ බව, යුක්රේන ජනාධිපති කාර්යාලය නිකුත් කළ නිවේදනයක සඳහන් විය.
දැනට සිරගතව සිටින හිටපු අගමැතිනි යූලියා තිමොෂේන්කෝ සිය උපවාසය අත් හරින ලද බව මේ අතර ඇයගේ පවුලේ සාමාජිකයෝ පවසති.








