යුක්රේනය රුසියාවට සමීප වීමෙන් ‘අවදානමේ’

රුසියාව සමග සබඳතා වඩාත් තර කර ගැනීමේ අරමුණු කොට ගෙන , යුරෝපා සංගමය සමග නිදහස් වෙළෙඳ ගිවිසුමකට එළඹීම ප්‍රතික්ෂේප කිරීමෙන් යුක්රේනය සිය ආර්ථික ඉදිරි මග අවදානමේ හෙළා ගනු ඇතැයි බ්‍රසල්ස් නායකත්වය අනතුරු අඟවා සිටී.

ස්ටෙෆාන් ෆූලෙ
ඡායාරූප ශීර්ෂ වැකිය, ස්ටෙෆාන් ෆූලෙ

යුරෝපා සංගමයේ ව්‍යාප්ති කළමනාකාර ස්ටෙෆාන් ෆූලෙ (Stefan Fuele) මේ අනතුරු ඇඟවීම කළේ ඉහළ පෙළේ සමුළුවක් සඳහා නායකයන් ලිතුවේනියාවට පැමිණෙමින් සිටියදී.

“දේශපාලන ඒකාබද්ධතාව සහ ආර්ථික අනුකලනය කරා ගමන යලිත් ආරම්භ කිරීමට යුක්රේනය සූදානම් වූ වහාම, සංගමයට බඳවා ගැනීමේ ගිවිසුම අත්සන් කිරීම සඳහා පියවර යුරෝපා සංගමය අප්‍රමාදව කරනු ඇති,” බවයි ඔහු පැවසුවේ.

ස්වීඩන විදේශ අමාත්‍ය කාල් බිල්ඩ්ට් (Carl Bildt) බීබීසී යට කියා සිටියේ යුරෝපා සංගමය හා එක්වීමෙන් ලද හැකි වාසි යුක්රේනය ට මග හැරී යනු ඇති බවයි.

කාල් බිල්ඩ්ට්
ඡායාරූප ශීර්ෂ වැකිය, කාල් බිල්ඩ්ට්

දශක දෙකක ට ඉහත දී සමාන මට්ටමක සිටි පෝලන්තයේ ඒක පුද්ගල දළ ජාතික ආදායම යුරෝපා සංගමය හා එක්වීමෙන් පසු යුක්රේනය මෙන් තුන් ගුණයක් වූ බවයි ස්වීඩන විදේශ අමාත්‍ය වරයා පවසන්නේ.

“පෝලන්තයේ ජනතාව සාමාන්‍ය වශයෙන් යුක්රේනයේ ජනතාවට වඩා අවුරුදු නවයක් වැඩි කල් ජීවත් වෙතැ” යි තමන් විශ්වාස කරන බවද ඔහු පවසයි.

මේ අතර යුක්රේන ජනාධිපති වික්ටර් යනුකොවිච් සමුළුව සඳහා ලිතුවේනියාවට ළඟා වෙද්දී, ඔහුට බලපෑම් කිරීම සඳහා යුරෝපා වාදීහු යුක්රේනයේ කියෙව් අගනුවර උද්ඝෝෂණයක් පැවැත්වූහ.

යුරෝපා සංගමයට ඇතුළුවීමට යුක්රේනයට තිබෙන ඉඩකඩ සමච්චලයට ලක් කරමින් සියයක් පමණ දෙනා බොරු අවමංගල්‍යයක් ද රඟ දැක්වූහ.

දේදුනු ධජයේ එතූ මිනී පෙට්ටියක් කියෙව් නුවර යුරෝපා සංගම් කාර්යාලය වෙත ගෙන ගිය ඔවුහු ඒ අබියස මල් වඩම් ද තැබුහ

යුක්රේනය යුරෝපා සහයෝගිතා ගිවිසුම අත්සන් කිරීමෙන් බලාපොරොත්තු නොවූ අයුරින් වැළකී සිටියේ මොස්කව් පාලනයේ බලපෑම නිසා.