Google උදව්වෙන් වසර 26 ට පසු සිය මව සොයා ගත් කුඩා දරුවා

 අතුරුදහන්වනවිට සාරූට වයස අවුරුදු පහයි
ඡායාරූප ශීර්ෂ වැකිය, අතුරුදහන්වනවිට සාරූට වයස අවුරුදු පහයි

වසර 26 ට පෙර සිය මවගෙන් වෙන්වූ ඉන්දියානු දරුවකුට ඕස්ට්‍රේලියාවේ තස්මේනියාවෙදී චන්ද්‍රිකා දර්ශන මගින් සිය මව යලි සොයා ගැනීමට හැකිවී තිබේ. තමන් අතුරුදහන්වනවිට සාරූ බ්රීලිට වයස අවුරුදු පහයි.

ඔහු දුම්රිය පෙට්ටි පිසදමන්නෙකු ලෙස වැඩ කල තම නව වියැති සොහොයුරාට උදව්වෙන්නට ගියේ ආශාවටයි.එක් දිනක් වැඩ අවසානයේ දුම්රියෙන් ගෙදර යමින් සිටියදී අධික වෙහෙසට පත්ව සිටි ඔහුට නින්දගොස් ඇස් ඇරුනේ සැතපුම් දහස් ගණනක් දුරින් පිහිටි කල්කටා නගරයේදීයි.

කරකියාගන්නට දෙයක් නොමැති ඔහු සිඟාකන්නට විය. අන්තිමේදී මේ ගමන අවසන්වුනේ ළමා අනාතාගාරයකින්. පසුව ඕස්ට්‍රේලියානු පවුලක් ඔහු හදාවඩා ගැනීමට ඉදිරිපත්විය.

සාරූ නව පරිසරයට හොඳින් හුරුපුරුදු වුවත් වයසින් වැඩෙත්ම තම දෙමව්පියන් සොයායාමේ ආශාව තදබල ලෙස වැඩිවන්නට පටන් ගත්තේය. නමුත් අවුරුදු පහක දරුවකු ලෙස ඉන්දියාවේ සිටි කාලය තුල ඔහුට අඩුතරමින් ජීවත්වූ නගරයේ නමවත් මතක තබා ගැනීමේ හැකියාවක් තිබුනේ නැත.

සාරූට කලහැකිව තිබුනේ එක් දෙයකි. ඒ තමා සිටි පරිසරය සිතින් මෙනෙහි කිරීම පමණි. ගුගල් සෙවුම් පද්ධතිය කෙරෙහි ඔහුගේ සිත යොමුවුනේ මේ අතර වාරයේදීයි.

සාරුගේ උපක්‍රමය

"මම දුම්රියේ ගිය කාළයවන පැය 14, දුම්රියේ වේගයෙන් වැඩිකලා. ඉතින් දළ වශයෙන් කිලෝමීටර 1200 පමණ …දුර ප්‍රමාණයක්. එහෙම තමයි මුලින්ම මගේ ගමේ පිහිටීම ගැන අවබෝධයක් ඇතිකරගත්තේ," ඔහු පැවසීය.

සාරූ සිතියමක් ගෙන කල්කටාව මැද තියා රවුමක් ඇන්දේය. එහි අරය හැටියටගන්නා ලද්දේ ඔහු ගමන් කල දුර ප්‍රමාණයයි. මේ ආකාරයට ඔහුට තම ගම්මානය වන කාන්ද්වා (Khandwa ) පිහිටි දුර සොයා ගන්නට හැකිවිය.

"තවදුරත් ලඟට ගූගල් කරලා මම පුංචි කාලේ සෙල්ලම් කරපු දිය ඇල්ලත් සොයා ගත්තා." සාරූ උතුරා යන ප්‍රීතියෙන් යුතුව කියා සිටියේය.

ඔහු කාන්ද්වා Khandwa බලා පිටත්විය.

කාන්ද්වාහි සිය ගනේෂ් තලයි (Ganesh Talai ) ගම්මානය සොයා ගත්තත් එහි ගිය ඔහුට දැක ගන්න ලැබුනේ තමන් නොසිතු දෙයක්.

"මම ගියාම දැක්කේ පැරණි ගරා වැටුණු ගෙයක්. ඒකටත් ඉබ්බෙක් දාල. දිගු කාලයක් කවුරුවත් ජීවත්වෙලා නොසිටි බවක් තමයි පෙනුනේ.අම්මල තාත්තලාගේ නම් මතක තිබුණා. ඉතින් තොරතුරු සොයන විට අසල්වැසියෝ ඉදිරිපත්වුනා. එක්කෙනෙක් ආවා. තව එක්කෙනෙක් ආව. තුන්වැනි එක්කෙනා ආවාම තමයි මට පින පෑදුනේ. ඔහු කිව්වා මෙතන ඉන්න මම ඉක්මනට එන්නම් කියල. ඊට පස්සේ ඇවිල්ල කිව්වා මම ඔබව අම්ම ලගට එක්කම් යන්නම් කියල. මට පන නැතිව ගියා. කතාකරගන්න බැරිව ගියා." සාරූ විස්තර කළේ ඉමහත් ආශාවෙන්.

සාස්තරකාරයා

මුලින්ම ඔහුට සිය මව හඳුනා ගැනීමටනොහැකිවිය. ඔහු අවසන්වරට සිය මව දකිනවිට ඇය අවුරුදු 34 ක ලස්සන කාන්තාවක් වුවාය.

"වියට පත්වුනත් මුහුණේ ස්වරුපය වෙනස් වෙලා නැහැ. ඔබ මගේම අම්මා," සිය මව වැළඳගත් සාරූ ඇගේ දැස් දෙස නොසැලී බලා සිටියා.

තමා මියගොස් ඇතැයි ඇය භියට පත්වී සිටි නමුත් සාස්තරකරුවකු පවසා තිබුනේ කවදා හෝ ඇයට තම පුතා දැක ගන්නට ලැබෙන බවයි.

"ඒ දිනය එනතුරු සාස්තරකරුවාගේ අනාවැකිය ඇයට ජීවත්වීමට කිසියම් හෝ ජීවක් දී තිබෙනවා. මම එනතුරු අම්ම ජීවත්වුණේ ඒ නිසයි," ඔහු පැවසුවා.

තමන් සමග දුම්රියේ ගිය සහෝදරයා දැක ගැනීමත් සාරූගේ අපේක්ෂාවක්වී තිබුනා . ඒත් ඔහුට අසන්නට ලැබුනේ දුක්බර කතාවක්. තම සොහොයුරා දුම්රියකට යටවී මියගොස් සිටි බව ඇසුණු විට ඔහුට ඇතිවුනේ දරාගත නොහැකි ශෝකයක්.