ඉම්රාන් ඛාන්: සිරගත වීමෙන් දේශපාලන අනාගතය අවසන් ද?

Former Pakistani Prime Minister Imran Khan speaks with Reuters during an interview, in Lahore, Pakistan March 17, 2023.

ඡායාරූප මූලාශ්‍රය, Reuters

    • Author, කැරොලයින් ඩේවීස්
    • Role, බීබීසී, ඉස්ලාමාබාද්

මාස කිහිපයක් තුළ ඉම්රාන් ඛාන් දෙවන වරට ත් අත්අඩංගුවට ගෙන ඇති අතර, මෙවර ප්‍රතිචාරය අතිශයින් වෙනස් බවක් දක්නට ලැබේ. ඊළඟට කුමක් විය හැකි ද?

මේ වසරේ මැයි 9 වැනිදා සහ අගෝස්තු 5 වැනිදා දා අතර කාලය තුළ විශාල වෙනසක්ද නොමැත.

ඉම්රාන් ඛාන් පළමු වරට අත්අඩංගුවට ගැනීම පේෂාවර් සිට කරච්චි දක්වා ගොඩනැගිලි ගිනිබත් කරමින්, හමුදාව වීදිවලට කැඳවමින් විරෝධතාවලට තුඩු දුන් අතර, දෙවන වරට අත්අඩංගුවට ගත් සෙනසුරාදා රාත්‍රිය පකිස්ථානයේ වෙනත් සාමාන්‍ය රාත්‍රියකට වඩා වෙනස් නොවී ය.

ඉම්රාන් ඛාන් මේ වන විට සිරගතව සිටින අතර, රජයට ලැබුණු ත්‍යාග විකුණා උපයා ගත් මුදල් පිළිබඳව ප්‍රකාශ නොකිරීම හේතුවෙන් වසර තුනක සිරදඬුවමකට ලක්ව සිටී.

මෙම දඬුවම එළඹෙන මහ මැතිවරණයට තරග කිරීම සඳහා ඔහු නුසුදුස්සෙකු බවට පත් කිරීමට හේතු වනු ඇත.

නිවෙස් තුළට වී නිහඬව නොසිට සාමකාමී විරෝධතාවල නිරත වන්නැයි ඔහු කළ ඉල්ලීම, මෙවර සාර්ථක නොවීය. ඊට හේතුව කුමක් ද?

ඒ පිළිබඳව රජයේ ඇමතිවරුන්ගෙන් විමසුවහොත් ඔවුන් පවසනු ඇත්තේ, ජනතාව ඉම්රාන් ඛාන් හෝ ඔහුගේ පක්ෂය වන PTI පක්ෂයට සහය දීමට අකමැති නිසා බව හෝ පෙර සිදුවූ ප්‍රචණ්ඩත්වයට වගකිව යුතු කණ්ඩායමක් සමග සම්බන්ධ වීමට අකමැති බව ය. එය ඛාන්ගේ ආධාරකරුවන්ගේ අදහස නොවේ.

පකිස්ථානයේ දේශපාලනික වශයෙන් බලවත් ආරක්ෂක සහ බුද්ධි අංශ සමග ඉම්රාන් ඛාන්ගේ පැවති සබඳතාව වසරකට පමණ ඉහතදී බිඳ වැටිණි.

ඉම්රාන් ඛාන්, ආරක්ෂක සහ බුද්ධි අංශවල සහය ඇතිව බලයට පැමිණි බව ත් පසුව එම සම්බන්ධතාව පිරිහී ගිය විට එම බලය අහිමි වූ බව ත් විශ්ලේෂකයින්ගේ පුළුල් අදහසක් වී තිබේ.

බෙලහීන වූ විරෝධයක්?

එතැන් සිට, ඔහු ඊළඟ මැතිවරණය තෙක් නිහඬව බලා සිටිනවා වෙනුවට දිගින් දිගට ම හමුදා නායකත්වය විවේචනය කර තිබේ. මැයි මාසයේදී ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගැනීමෙන් පසු හමුදා ගොඩනැගිලිවලට ප්‍රහාර එල්ල වූ විට, ඊට වගකිව යුතු යැයි සිතන පුද්ගලයින් කෙරෙහි කිසිදු සමාවක් නොදෙන බව හමුදාව දන්වා තිබිණි.

පසුව ඇති වූ මර්දනය ඉම්රාන් ඛාන්ගේ පක්ෂය විනාශයට පත් කර ඇත.

ඔහුගේ ආධාරකරුවන් දහස් ගණනින් අත්අඩංගුවට ගනු ලැබූ අතර, සිවිල් වැසියන් සඳහා මෙම ක්‍රමය භාවිත නොකළ යුතු බවට මානව හිමිකම් කණ්ඩායම්වල කෑගැසීම නොතකා ඇතැමුන් පිළිබඳව හමුදා උසාවිවල නඩු විභාග කරනු ඇත.

පකිස්ථානයේ ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබුණේ, මැයි මස අග භාගයේ සිට - රූපවාහිනී ආයතන හිමිකරුවන් හමුදාව හමු වූ පසු - මාධ්‍යවේදීන්ට තවදුරටත් ඛාන්ගේ නම කීමට, ඔහුගේ පින්තූරය පෙන්වීමට හෝ ඔහුගේ නම තිරයේ දැක්වීමට ඉඩ නොදුන් බව ය.

මීට පෙර ඉම්රාන් ඛාන් වෙනුවෙන් හඬ නැගූ බොහෝ ආධාරකරුවන් අපට පැවසුවේ, ඔවුන් PTI පක්ෂය හෝ එහි නායකයා ගැන සමාජ මාධ්‍යවල අදහස් පළ කිරීම සහ ඔහුගේ ප්‍රසිද්ධ විකාශන නැරඹීම නතර කර ඇති බව ත්, ඔවුන් පෙර තැබූ සටහන් මකා දමා ඇති අතර, තවදුරටත් තමන් ඉම්රාන් ඛාන්ට සහය වන්නේ ද යන්න යම් පාර්ශ අවධානයෙන් සිටින බවට බියෙන් පසු වන බවත් ය.

සාමකාමී විරෝධතාකරුවන් අත්අඩංගුවට නොගන්නා බව පකිස්ථාන රජය බීබීසී පුවත් සේවයට පවසා ඇත. කෙසේ වෙත ත්, සෙනසුරාදා දහවල් ලාහෝරයේ පිහිටි ඉම්රාන් ඛාන්ගේ නිවසින් පිටත රැස්ව සිටි ආධාරකරුවන් පොලිසිය විසින් රැගෙන යනු බීබීසී උර්දු මාධ්‍යවේදීන් පිරිසක් දැක තිබිණි. ඔවුන් නිල වශයෙන් අත්අඩංගුවට ගත්තේ ද යන්න පැහැදිලි නැත‍.

නම හෙළි කිරීමට අකැමැත්ත පළ කළ පොලිස් නිලධාරියෙකු බීබීසී පුවත් සේවයට පැවසුවේ, ඔවුන් PTI ආධාරකරුවන් 100 දෙනෙකු පමණ අත්අඩංගුවට ගත් බව ය. සුපරීක්ෂාකාරීව සිටින ලෙස ත්, ඉම්රාන් ඛාන්ගේ ආධාරකරුවන්ට එක්රැස් වීමට ඉඩ නොතබන ලෙස ත් ආරක්ෂක අංශවලට දන්වා ඇති බව ඔහු පැවසීය.

වොෂින්ටනයේ විල්සන් මධ්‍යස්ථානයේ දකුණු ආසියා ආයතනයේ අධ්‍යක්ෂ මයිකල් කූගල්මන් පවසන්නේ, "කුරිරු මර්දනීය ප්‍රතිචාරය හමුවේ ඛාන්ගේ ආධාරකරුවන් බියට පත්ව සිටින බව තමන් සිතන," බව ය.

Police detain a supporter of former prime minister and head of opposition party Pakistan Tehreek-e-Insaf (PTI), after he was arrested following court orders that sentenced him to three years in prison in the Toshakhana case, in Peshawar, Pakistan, 05 August 2023

ඡායාරූප මූලාශ්‍රය, EPA

ඡායාරූප ශීර්ෂ වැකිය, ඛාන් ආධාරකරුවන් වීදි බසියි ද? එසේ නැතහොත් ඡන්ද විමසීමේදී සාර්ථක වේවි ද? යන්න සිතාගත නොහැකි ය.

"මම ඇත්තට ම හිතන්නේ අපි මැයි 9 දා දැක්ක විදිහට ආධාරකරුවන් තමන් අවදානමට ලක් ලක්වීමට අකමැති වුණා කියල යි.

"එක අතකින් බැලුවොත් හමුදාව මේක හරියට කරලා තියෙනවා. ඛාන්ගේ ආධාරකරුවන්ගෙන් එන්න තිබුණ දැවැන්ත ප්‍රතිචාරය මැඩපවත්වන්න ඔවුන් මේ කෲර උපක්‍රම පාවිච්චි කළා."

ඉම්රාන් ඛාන් සිරගත කිරීමට ගත් තීරණයට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමට අදහස් කරන බව ඔහුගේ නීතිඥ කණ්ඩායම පැහැදිලිව ප්‍රකාශ කර තිබේ.

වීදියේ සහ ඡන්දයේ පරීක්ෂාව

වඩාත් බරපතල අධිකරණ නඩු කිහිපයක් නතර කිරීමට වඩා ප්‍රමාද කිරීම මගින් පසුගිය මාස කිහිපය තුළ ඔහුගේ නීතීඥයින්ට විවිධ උසාවිවලින් තාවකාලික සහනයක් ලබා ගැනීමට හැකි විය.

මෙය අඛණ්ඩව සිදුවේ ද යන්න පැහැදිලි නැත‍. වෙනස් දේශපාලන පරිසරයක් තුළ ඔහු අත්අඩංගුවට ගැනීම නාට්‍යරූපී ලෙස මැයි මාසයේ සිදුවීම සමග සමාන තත්ත්වයක් ඇතැයි ඉම්රාන් ඛාන් පවසයි.

ඉම්රාන් ඛාන් යනු මෑත දශකවල නවාස් ෂරීෆ්, බේනසීර් භූටෝ සහ හමුදා ඒකාධිපතියෙකු වූ පර්වේස් මුෂාරෆ් ආදී අධිකරණයෙන් සිය ගමන අවසන් කළ පකිස්ථාන නායකයින් අතරට එක් වූ තවත් එක් දේශපාලනඥයෙකි.

ඉම්රාන් ඛාන් අගමැති ලෙස කටයුතු කරන අතරතුර ඔහුගේ දේශපාලන ප්‍රතිවාදීන් කිහිප දෙනෙකු සිරගත කළේ ය.

අධිකරණ පද්ධතිය තමන්ට එරෙහිව දේශපාලනිකව අභිප්‍රේරණය කර ඇති බවට පකිස්ථානයේ දේශපාලකයින් බොහෝවිට පවසන්නේ, ඔවුන්ගේ විරුද්ධවාදීන්ට එරෙහිව දෙන තීන්දු සාධාරණීකරණය කරද්දී ය.

ඉම්රාන් ඛාන් රජයේ නිලතල දැරීමට නුසුදුස්සෙකු වුවහොත්, ඔහුගේ පක්ෂයට කුමක් සිදුවේ ද යන්න පිළිබඳව විශාල ප්‍රශ්න මතුව තිබේ.

ඛාන් මීට පෙර අපට පවසා තිබුණේ, ඔහුට තේරී පත්වීමට හැකි වුව ත් නැත ත් සිය පක්ෂය පවතින බව ත් දියුණු වන බව ත් ය. එහෙත්, එය සැබෑ තත්ත්වයට බොහෝ දුර ය.

"ඊළඟ ලොකු ම ප්‍රශ්නය තමයි, මැතිවරණය ආවොත්, PTI පක්ෂයේ ඉතිරි වී සිටින නායකයින් පක්ෂය සංවිධානය කරන්නේ කොහොම ද කියන එක," කූගල්මන් පවසයි.

"ඔවුන් ඔවුන්ගේ ආධාරකරුවන් පාරට බස්සන්න උත්සහ කර යි ද? ඒක සාර්ථක වෙයි ද? ඒක හොඳ පරීක්ෂාවක් වේවි."

PTI යනු ඉම්රාන් ඛාන් විසින් නිර්මාණය කරන ලද ඔහු වටා ගොඩනගන ලද පක්ෂයකි. ඡන්ද ආකෘති පත්‍රවල මුද්‍රණය කර ඇති එහි ලාංඡනය පවා ක්‍රිකට් පිත්තක් සංකේතවත් වන අතර එය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලෙස ඉම්රාන් ඛාන්ගේ පෙර වෘත්තීය ජීවිතයට ගරු කිරීම සඳහා යොදන ලද්දකි.

ඉම්රාන් ඛාන් සමග සිටි ජ්‍යෙෂ්ඨ දේශපාලන චරිත බොහොමයක් ඔහුගේ පක්ෂය හැර ගොස් තිබේ. ඔහුගේ පක්ෂයට සම්බන්ධ තවත් පිරිසක් අත්අඩංගුවට පත්වීම මග හරිමින් සැඟවී සිටිති.

මේ කිසිදු කරුණකින් එම පක්ෂයට ඵලදායී දේශපාලන ව්‍යාපාරයක් පවත්වාගෙන යාම පහසු වනු ඇතැයි කිව නොහැක.