පර්වේස් මුෂාරෆ් :අභාවප්‍රාප්ත පාකිස්ථානයේ හිටපු හමුදා පාලකයා ගැන ඔබ දන්නේ මොනවාද ?

Army general, politician, and tenth President of Pakistan, Pervez Musharraf, in 2000

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

මෑතකාලීන පාකිස්ථානයේ අවසන් හමුදා පාලකයා වූ ද, හැත්තෑ නව වෙනි වියේ සිටිය දී ඊයේ (පෙබ. 5) අභාවප්‍රාප්ත වූ ද පර්වේස් මුෂාරෆ්ගේ දේශපාලන දිවිය අර්ථ දැක්වුණේ, එහි ආන්තිකභාවයකිනි.

1999 දී හමුදා කුමන්ත්‍රණයකින් බලය අල්ලාගැනීමෙන් පසු, ඉස්ලාමික සටන්කාමීන් හා බටහිර අතර අරගලයේ ඉදිරිපෙළ සිටි මුෂාරෆ් බොහෝ ඝාතන ප්‍රයත්නයන්ගෙන් දිවි ගලවා ගත්තේ ය.

මෙහිදී සැලකිය යුතු කරුණක් වන්නේ, පාකිස්ථානය නවීකරණයට සහ ආර්ථිකය වැඩිදියුණු කිරීමට එක්සත් ජනපදය තමාට උපකාරීවූබව පවසමින් ඔහු එක්සත් ජනපදය හා සබඳතාවක් ගොඩනගා ගැනීමය.

නමුත් 2008 වන විට, මේ වෘත්තීමය සෙබළා මැතිවරණයෙන් පරාජයට පත්ව, තනතුරෙන් නෙරපා හැරිණි. ඔහුගේ දේශපාලන දිවිය අවසානයේ අපකීර්තියෙන් හා අත්අඩංගුවට ගැනීමෙන් අවසන් විය: 2019 දී, ඔහු රට තුළ නොසිටිය දී නඩු අසා, රාජද්‍රෝහීත්වය සම්බන්ධයෙන් මරණ දණ්ඩනය නියම කෙරිණි.

2016 දී, වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම සඳහා පාකිස්ථානයෙන් පිටවයාමට ඔහුට අවසර දී තිබුණෙන්, ඉන් අදහස්වූයේ එම දඬුවම කිසිදා ක්‍රියාත්මක කිරීමට ඉඩක් නොතිබූ බව යි. එහෙත්, දීර්ඝ කාලයක් එරට පාලනය කළ හමුදාවට එය නින්දාසහගත සිදුවීම් මාලාවක පළමුවැන්න විය.

2022 ජුනි මාසයේ දී, මුෂාරෆ් ඩුබායිහි දී මියගිය බවට පළවූ අසත්‍ය වාර්තාවලින් පසු, ඔහු පීඩා විඳි දුර්ලභ රෝගයක් වන ඇමිලොයිඩෝසිස් නිසාවෙන් ඇතිවූ බහු අවයව අකර්මණ්‍ය වීමෙන් මුෂාරෆ් සුවය ලැබීමට ඇත්තේ අඩු ඉඩකඩක්බව ඔහුගේ පවුල නිවේදනය කළේ ය.

දිවියේ මුල් අවධිය

පර්වේස් මුෂාරෆ් උපත් ලැබුවේ 1943 අගෝස්තු 11 දා දිල්ලිහි දී වන නමුත්, බ්‍රිතාන්‍ය පාලනයේ අවසානයෙන් පසු 1947 දී ඉන්දියාව දෙකට බෙදා අලුතින් නිර්මාණය කෙරුණු පාකිස්ථානයට ගිය මිලියන ගණනක්වූ මුස්ලිම්වරුන්ට ඔහුගේ පවුල ද එක්විය.

කරච්චියේ සහ ලහෝරයේ දී පාසල් අධ්‍යාපනය ලැබූ මුෂාරෆ් 1961 දී පාකිස්ථාන හමුදා ඇකඩමියට ඇතුළත්විය.

1965 දී ඔහු ඉන්දු-පාකිස්ථාන යුද්ධයේ දී සටන් වැදුණු අතර, වසර පහකට පසු දෙරට අතර ඇතිවූ දෙවන අර්බුදය වන විට ඔහු භට කණ්ඩායමක අණදෙන නිලධාරියෙකු බවට පත්ව සිටියේ ය.

1998 දී, පාකිස්ථානයේ හමුදා ප්‍රධානී ජෙනරල් ජෙහන්ගීර් කරමාත්, පාකිස්ථානයේ තීරණගැනීමේ ක්‍රියාවලිය තුළ හමුදාවට ප්‍රධාන භූමිකාවක් ලබාදෙන්නැ යි ඉල්ලීමෙන් දෙදිනකට පසු ඉල්ලා අස්වීමත් සමග මුෂාරෆ් හමුදාවේ ඉහළම තනතුරට පත්විය.

බොහෝ නිරීක්ෂකයින් මෙම ඉල්ලා අස්වීම සැලකුවේ, සිවිල් පරිපාලනය සඳහා දිගුකාලීන අනාගතයක් සුරක්ෂිත කිරීමට තරම් අගමැති නවාස් ෂරීෆ්ගේ දේශපාලන බලය ශක්තිමත්වී ඇති බවට වන ලකුණක් ලෙස ය.

Musharraf datapic Sinhala

1999 ඔක්තෝම්බරයේ දී මුෂාරෆ් ඔහුගේ තනතුරෙන් නෙරපා හැරීමට අගමැති ෂරීෆ් උත්සාහ කළමුත්, ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් එම පියවරට විරුද්ධවිය.

ඒ වන විට රටින් පිට සිටි මුෂාරෆ් ඉක්මනින්ම පාකිස්ථානයට නැවත පැමිණ, ලේ හැළීමකින් තොර කුමන්ත්‍රණයක් හරහා එරට බලය අල්ලාගෙන, 'ප්‍රධාන විධායක' නම් තනතුරට තමාවම පත්කර ගත්තේ ය.

එවකට පාකිස්ථානයේ ජනපති වූ රෆීක් තරාර් 2001 ජුනි දක්වා ධුරයේ රැඳී සිටියේ ය - ඒ, මුෂාරෆ් ඒ තනතුරට තමාවම නිල වශයෙන් පත්කර ගන්නා තෙක් ය.

ඔහු බලය අත්පත්කර ගැනීම හරහා අසල්වැසි ඉන්දියාව සමග පැවැති සබඳතා ස්ථාවරවනු ඇතැ යි හෝ නව ආරම්භයක් පවා ඇතිවනු ඇතැ යි යම් හෝ බලාපොරොත්තුවක් වී නම්, ඔහුගේ පාලනයේ මුල් අවධියේ දී එය බිඳී ගියේ ය.

2001 ජුලි මාසයේ දී ඔහු සන්ධිස්ථානයක් සලකුණු කරන අන්දමේ විශේෂ සමුළුවක් සඳහා ඉන්දියාවට ගොස් අගමැති අතල් බිහාරි වජ්පායි සමග සාකච්ඡා පවත්වා, දිල්ලියේ පිහිටි මුෂාරෆ් පවුලේ පාරම්පරික නිවසට ද ගොස් ඡායාරූපවලට ද සහභාගීවූ විට ඉන්දියා-පාකිස්ථාන සබඳතා සම්බන්ධයෙන් සුබවාදී හැඟීමක් ඇතිවී තිබුණි.

නමුත් බලාපොරොත්තු සුන්වූ අතර පැවැති සාකච්ඡා ද එකඟතාවකින් තොරව අවසන්විය - දිගුකලක් තිස්සේ කාශ්මීරය සම්බන්ධයෙන් පැවැති ආරවුල මෙම අවහිරයට ප්‍රධාන හේතුව ලෙස සැලකෙයි. 1999 කාර්ගිල් ගැටුමේ නිර්මාපකයා මුෂාරෆ් බව ඉන්දියාව සැලකූ අතර, එම වසරේම ඇෆ්ගනිස්ථානය බලා ගිය ඉන්දීය ගුවන් සේවයට අයත් ගුවන් යානයක් පැහැරගැනීමට පාකිස්ථාන හමුදාව සම්බන්ධබවට සැකකළේ ය.

වීඩියෝ ශීර්ෂ වැකිය, පර්වේස් මුෂාරෆ්: පිටුවහලේ දී මියගිය, පාකිස්ථානයේ හමුදා කුමන්ත්‍රණයේ නායකයා

අන්තවාදය මර්දනය කිරීම

2001 සැප්තැම්බර් 11 දා ඉස්ලාමීය සටන්කාමීන් එක්සත් ජනපදය වෙත එල්ල කළ ප්‍රහාරයෙන් ඔහුගේ රටට ඇතිවූ බලපෑමට මුහුණදීමට ද පකිස්ථානයේ නායකයා වශයෙන් මුෂාරෆ්ට සිදුවිය.

එවකට එක්සත් ජනපදයේ ජනපති ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ්ගේ පරිපාලනයේ සෘජු පණිවිඩයවූයේ "ඔබ එක්කෝ අප සමග ය, නැතිනම් අපට විරුද්ධ ය" යන්න ය. එබැවින්, මුෂාරෆ් පකිස්ථානයේ ප්‍රතිපත්ති මතභේදාත්මක ලෙස කණපිට ගැසීය: ඒ, ප්‍රහාරයන්ට වගකිවයුතු මුස්ලිම් අන්තවාදීන්ට රැකවරණය සැලසූ අසල්වැසි ඇෆ්ගනිස්ථානයේ තාලිබාන් තන්ත්‍රය නෙරපා හැරීම සඳහා ක්‍රියාත්මක වූ ඇමරිකානු නායකත්වයෙන් යුත් මිලිටරි ව්‍යාපාරයට සහාය දීමෙනි.

2002 ජනවාරියේ දී ඔහු අන්තවාදය දැඩි සේ හෙළා දකිමින්, පාකිස්ථානයේ ඉස්ලාම් ත්‍රස්තවාදයට එරෙහිව ප්‍රකාශයක් නිකුත් කළේය. ඔහු මස්ජිද සහ ඉස්ලාමික අධ්‍යාපන මධ්‍යස්ථාන වෙනුවෙන් ලැබුණු සියලු විදේශාධාර තහනම් කළ අතර, ඉස්ලාමික අධ්‍යාපනය සඳහා පාකිස්ථානයට පැමිණෙන විදේශ සිසුන් සංඛ්‍යාව ද සීමා කළේ ය.

US President Bush and Pakistani President Pervez Musharraf shake hands at 2006 meeting

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, පාකිස්ථානය, එක්සත් ජනපද ජනපති ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ්ගේ "ත්‍රස්තවාදයට එරෙහි යුද්ධයේ" ප්‍රධාන මිතුරෙකුබවට පත්විය

ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ පැවැත්වීම හා සිවිල් පාලනය යළි පිහිටුවීම සඳහා ද නව ජනාධිපතිවරයාට විශාල පීඩනයක් එල්ලවිය.

2002 ඔක්තෝම්බර් මාසයේ දී මුෂාරෆ්-ගැති සභාගයක් පාර්ලිමේන්තුවේ ආසනවලින් බහුතරය දිනාගත් නමුදු, විපක්ෂය මාස 12කට වැඩි කාලයක් ජාතික සභාවේ සියලු ක්‍රියාදාමයන් සාර්ථක ලෙස අවහිර කළේ ය.

දෙවසරකට පසු ඔහු ඉස්ලාමීය පක්ෂවල සන්ධානයක් සමග ගිවිසුමක් ඇතිකර ගනිමින්, 1999 වසරේ ඔහුගේ කුමන්ත්‍රණය නීත්‍යානුකූල කළ, හමුදාවේ රැඳී සිටිමින්ම ජනපති පදවිය දැරීමට ඉඩ සැලසූ පියවරක් සම්මතකර ගත්තේ ය.

ජනාධිපති මුෂාරෆ් බලයට පත්වීමේ පොරොන්දුවක් වූයේ පකිස්ථානයේ ආර්ථික වර්ධනයේ පරිහානිය ආපසු හැරවීම යි. සාමාන්‍යයෙන් ඔහුගේ ප්‍රතිසංස්කරණයන් ජාත්‍යන්තර ආයතනයන් විසින් පැසසුමට ලක්විය.

2005 ඔක්තෝම්බරයේ දී 73 000කට වැඩි පිරිසක් මරණයට පත්කරමින්, මිලියන තුනකට වැඩි පිරිසකට උන්හිටි තැන් නැති කරමින් පාකිස්ථාන-පාලිත කශ්මීරයේ දැවැන්ත භූ කම්පනයක් ඇතිවූ විට, මානුෂික ඛේදවාචකයකට මුහුණදීමට මුෂාරෆ්ට සිදුවිය.

2007 වසරේ දී ඔහුගේ පාලනයට එල්ලවූ පීඩනය වර්ධනය විය. ඒ, ඔහු අගවිනිසුරු ඉෆ්තිකාර් මුහම්මද් චෞද්‍රිට දූෂණ චෝදනා එල්ලකරමින් ඔහුගේ වැඩ තහනම් කිරීමට ගත් තීරණයත් සමගිනි.

එරට නීතීඥයින් දැවැන්ත විරෝධතාවක් පැවැත්වීම අවසානයේ දී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අගවිනිසුරුවරයා නැවත සේවයේ පිහිටුවනු ලැබූ අතර, විෂමාචාර චෝදනා සියල්ල නිෂ්ප්‍රභ කෙරිණ.

President Musharraf

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ජනපතිවරයා, එක්සත් ජනපදය සහ ඇමරිකානු-විරෝධී ඉස්ලාම්වාදීන් අතරමැදට හසුවී සිටියේ ය

2007 ජුලි මාසයේ දී හමුදාව ඉස්ලාමාබාද්හි රතු පල්ලිය වටලනු ලැබීය. මස්ජිදයේ ආගමික නායකයින් සහ සිසුන් මුෂාරෆ්ගේ බටහිර-ගැති ප්‍රතිපත්තිය නිරන්තරයෙන් හෙළාදැක තිබුණි.

ආයුධ සන්නද්ධ ශිෂ්‍යයින් දින ගණනාවක් තිස්සේ හමුදා භටයින්ට එරෙහිව සටන් වැදුණු නමුත් ගොඩනැගිල්ල වැටලීම සඳහා දියත් කෙරුණු හමුදා මෙහෙයුමෙන් 100කට වැඩි පිරිසක් මියගියේ ය.

එම වසරේ නොවැම්බරයේ දී මුෂාරෆ් දෛවෝපගතවනු ඇති තීරණයක් ගත්තේ ය - ඔහු හදිසි නීතිය පැනවීය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අත්හිටුවා, අගවිනිසුරු ඉෆ්තිකර් චෞද්‍රි වෙනුවට වෙනකෙකු පත්කිරීමට ඔහු උත්සාහ කළේ, ඔහු නැවත ජනපති ධුරයට පත්කළ මතභේදාත්මක මැතිවරණයකින් මාසයකට පසු ය. නමුත් හදිසි නීතිය පැනවීම හේතුවෙන්, විරුද්ධ පක්ෂය සහ ඇතැම් ප්‍රධාන ජාත්‍යන්තර හවුල්කරුවන් සමග වූ ඔහුගේ එකඟතාවට හානි සිදුවිය. ඔහුගේ ජනප්‍රියත්වය පහත වැටුණි.

බලයෙන් පහවීම

නමුත්, පාකිස්ථානයේ අනාගතය ඔහුගේ දෑතේ දී සුරක්ෂිත බවට මුෂාරෆ් සිදුකළ ප්‍රකාශවලට අන් සියල්ලටම වඩා වැඩි හානියක් සිදුකළේ, 2007 වසරේ දෙසැම්බරයේ දී මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු විසින් එරට හිටපු අගමැතිනියක වූ බෙනාසීර් භූතෝ එරටට මහත් කම්පනයක් ඇතිකරමින් ඝාතනය කිරීම යි.

2008 වසර මුල දී පැවැති මැතිවරණයෙන් පසු, 1999 දී මුෂාරෆ් බලයෙන් පහ කළ නවාස් ෂරීෆ්ගේ පක්ෂය අද ඇතුළත්වූ පාලන සභාගයක ප්‍රධානත්වයෙන් යළි බලවත්වූ භූතෝගේ පාකිස්ථාන මහජන පක්ෂය බලයට පත්විය. ඔවුන්, ජනපතිවරයාට ඉල්ලා අස්වන ලෙස බලකිරීමටත්, දෝෂාභියෝග ක්‍රියාවලියක් ආරම්භ කිරීමටත් අවැසි පියවර ගැනීම ඇරඹීය.

2008 අගෝස්තු 18 වන දා, මුෂාරෆ් ඔහු ගත් තීරණ නිවැරදිබව ප්‍රකාශ කරමින්, ඔහුගේ ඉල්ලා අස්වීම ප්‍රකාශයට පත්කළ දීර්ඝ කථාවක් පැවැත්වීය.

Activists of former Pakistani premier Nawaz Sharif's party, the Pakistan Muslim League-Nawaz, beat a poster of former Pakistani president Pervez Musharraf during a protest in Lahore on November 3, 2008

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, මුෂාරෆ්, පාකිස්ථාන දේශපාලනයේ භේදකාරී චරිතයක්විය

ඔහු, ලන්ඩනයේ සහ ඩුබායිහි ගෙවෙන සන්සුන් ජීවිතයක් ලෙස පෙනුණු දිවියක් කරා විශ්‍රාම ගියමුත්, නැවත පැමිණීමේ ඔහුගේ ආශාව ප්‍රසිද්ධියේ පෙන්වීය.

කාලයත් සමග, මේ හිටපු ජෙනරාල්වරයා 2013 මාර්තු මාසයේ දී මැතිවරණයට සහභාගීවීමට පාකිස්ථානයට ගිය නමුදු, ඒ වන විට යළි අගමැති පදවියට පත්ව සිටි නවාස් ෂරීෆ්ගේ රජය ඔහුට මැතිවරණයට පෙනී සිටීම තහනම් කළේ ය. ඔහුගේ සමස්ත පාකිස්ථාන මුස්ලිම් ලීගය (APML) ඡන්දයේ දී ලබාගත්තේ අඩු ප්‍රතිඵලයකි.

අනතුරුව, ඒ ඉක්මණින්ම වාගේ මුෂාරෆ් විමර්ශන රැසකට පැටලුණි. 2007 වසරේ දී හදිසි නීතිය පැනවීමට අදාළ රාජද්‍රෝහී චෝදනාව ඇතුළු චෝදනා ගණනක් ඔහුට එරෙහිව එල්ලවිය.

එම චෝදනාවන් හේතුවෙන්, වසර ගණනාවක නීතිමය ගැටුම් කීපයක් එරට ඉහළම අධිකරණවල දී විභාග විය.

2016 දී, ඔහුට එරෙහිව පනවා තිබූ සංචාරක තහනම වෛද්‍ය හේතූන් මත ඉවත්කිරීමෙන් පසු මුෂාරෆ් නැවතත් රට හැරගියේ ය.

රාජද්‍රෝහී නඩුව විභාග කළ විනිසුරුවන්ට ඔවුන්ගේ කම්පනකාරී තීන්දුව ලබාදීමට තෙවසරකට වැඩි කලක් ගතවිය: මුෂාරෆ් චෝදනාවට වැරදිකරුවූ අතර, ඔහු මරණ දණ්ඩනයට නියමවිය.

Supporters of the All Pakistan Muslim League (APML), the party of former military ruler Pervez Musharraf, shout slogans take part in a protest

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, මුෂාරෆ්ගේ නඩු විභාගය ඉස්ලාමාබාද්හි ත්‍රස්ත-විරෝධී අධිකරණයක සංවෘත සැසියක් ලෙස පැවැත්විණි

නමුත් මුෂාරෆ් ඩුබායිහි දී ස්වයං-පිටුවහල් කිරීමක් පනවාගෙන තිබූ බැවින් එවැනි දඬුවමක් කිසිදා ක්‍රියාත්මක වීමේ ඉඩක් නොතිබුණි.

රෝහල් ඇඳක සිට ඔහු කළ වීඩියෝ ප්‍රකාශයක දී ඔහු කියා සිටියේ තමා ආපිට පාකිස්ථානයට යාමට නොහැකි තරම් රෝගීව සිටින බව යි.

නමුත් මෙම සිදුවීම් මාලාවට තවත් පෙරළියක් ගෙනෙමින්, අදාළ දඬුවම නියම කිරීමෙන් මසකට පසු, ලාහෝර් මහාධිකරණය විසින් ඒ සමස්ත ක්‍රියාවලියම ව්‍යවස්ථාවිරෝධී බව ප්‍රකාශ කෙරිණ.

එමඟින්, අදාළ තීන්දුවේ නීත්‍යානුකූලබව පිළිබඳ සැක ඇතිකළ නමුත්, එයින් ඔහුගේ මරණ දඬුවම අවලංගු වුණිදැ යි අපැහැදිලි ය.

2022 ජූනි මාසයේ දී මුෂාරෆ්ගේ පවුල ඔහුගේ අවයව ක්‍රියාවිරහිත වී ඇතිබව ප්‍රකාශ කිරීමෙන් අනතුරුව, ඔහුට පාකිස්ථානයේ නැවත පැමිණ ඔහුගේ නිවසේ දී සාමකාමීව මියයාමට ඉඩදෙන ලෙස වන ඉල්ලීම් ඉදිරිපත්විය. පවුලට අවශ්‍යවන්නේ එය නම්, ඒ සඳහා සහයෝගය ලබාදෙනබවට හමුදාව පැහැදිලිව ප්‍රකාශ කළේ ය.

එහෙත්, හිටපු හමුදා ප්‍රධානියා ආපිට පැමිණීමේ දී අත්අඩංගුවට ගන්නා ලෙස තවත් බොහෝදෙනෙක් ඉල්ලා සිටි අතර, ඔහුට ඔහුගේ අපරාධවලට පිළිතුරුදීමට සලස්වන්නැ යි තරයේ ඉල්ලා සිටියහ.