හරිත ධූමකේතුව: මඟහැරුණොත්, ආපිට එනතෙක් වසර 50 000ක් බලා සිටින්නට සිදු වෙයිද ?

ඡායාරූප මූලාශ්‍රය, Dan Bartlett
දුලබ, කොළ පැහැ ධූමකේතුවක් අපගේ සෞරග්‍රහ මණ්ඩලය හරහා ගමන් කරමින් පවතින අතර, පෙබරවාරි පළමුවන දා එය උතුරු අර්ධගෝලයේ සිටින්නෙකුට පියවි ඇසට දර්ශනය වනු ඇත.
මෙම ධූමකේතුව පෘථිවියේ අභ්‍යවකාශය අසලින් ගමන් කරන්නේ වසර 50 000කට පසු ප්‍රථම වරට ය. එය මාසයක පමණ කාලයක් පෘථිවිය අවට රැඳී තිබෙනු ඇත.
නාසා බලධාරීන් පවසන මේ අයිස්මය සංචාරකයා පළමු වරට නිරීක්ෂණයවී ඇත්තේ 2022 මාර්තු මාසයේ දී බ්‍රහස්පතිගේ කක්ෂය තුළ සිටිය දී ය.
උතුරු අර්ධගෝලයේ සිටින්නන්ට දෙනෙතියක් හරහා මෙය කුඩා හරිත දීප්ති පුංජයක් ලෙස දැකගත හැකි ය.
"අපි අපට පොළොවේ ඉඳන් පරිශ්‍රිලනය කරන්න බැරි ඇතැම් අණුවල සලකුණු හොයන්න යි ඉන්නේ. අපේම පෘථිවි වායුගෝලයේ තියෙන ජලය, කාබන් ඩයොක්සයිඩ්, කාබන් මොනොක්සයිඩ්, මීතේන් වගේ දේවල්," නාසා විද්‍යාඥ, ආචාර්ය ස්ටෙෆනි මිලාම් පැවසුවා ය.
ධූමකේතුවේ කොළට හුරු මරකත පැහැය එහි රසායනික සංයුතිය පිළිබිඹු කරයි. එය, ධූමකේතුවේ කෝමාව (ධූමකේතුවක න්‍යෂ්ටිය වටකොට තිබෙන වායු වළාකුල) තුළ පිහිටි කාබන් මත පදනම්වූ අණු සහ සූර්යාලෝකය අතර ගැටුමක ප්‍රතිඵලයකි.
එය පෘථිවියේ ආසන්නයටම පැමිණෙන දිනය පෙබරවාරි පළමුදා බව විද්‍යාඥයෝ පවසති.
"වල්ගා තරුවල හැසිරීම හරිම අනපේක්ෂිත යි. නමුත් මේ [වල්ගා තරුව] මේ විදියටම දීප්තිමත්ව තිබුණොත්, ඒක දැකගන්න පහසු වේවි," නාසා ආයතනය ජනවාරිය මුල දී සිය බ්ලොග් පිටුවේ සඳහන් කොට තිබුණි.
"අහස අඳුරු නම්, මේක පියවි ඇසටත් පේන්න ඉඩ තියෙනවා."
C/2022 E3 (ZTF) නමින් හැඳින්වෙන (නාසා ආයතනයට අනුව "බරසාර නමක්") මේ ආකාශ වස්තුව ජනවාරි 12 දා තම ගමන් මඟේ සූර්යයාට සමීපතම ස්ථානයට පැමිණි අතර, පෙබරවාරි 1 දා පෘථිවියට ඉතාම සමීපවනු ඇත.
එම අවස්ථාවේ දී එය පෘථිවියේ සිට කිලෝමීටර් මිලියන 42ක් පමණ දුරින් පවතිනු ඇතැ යි ග්‍රහලෝක සංගමය (Planetary Society) පවසයි.

ඡායාරූප මූලාශ්‍රය, Dan Bartlett
'අපිරිසිදු හිමබෝල'
තාරකා විද්‍යාඥයින් විසින් "අපිරිසිදු හිමබෝල" යන විකට නාමයෙන් හඳුන්වනු ලබන ධූමකේතු මිදි දියෙන්, දූවිල්ලෙන් හා පාෂාණ කොටස්වලින් සැදි 'බෝලයන්' ය, මේවා සාමාන්‍යයෙන් පැමිණෙන්නේ අපගේ සෞරග්‍රහ මණ්ඩලයේ පිටත සීමාවේ අයිස්මය වළල්ලක් මෙන් පිහිටි ඌට් වළාවේ සිට ය.
ධූමකේතු සෑදී තිබෙන්නේ ඝන පාෂාණමය හරයකින්, අයිස් සහ දූවිල්ලෙනි. එය 'කෝමාව' නමින් හැඳින්වෙන, තවත් අයිස් සහ දූවිල්ලෙන් සැදි තුනී, වායුමය වායුගෝලයකින් වටව තිබේ. ධූමකේතුව සූර්යයාට සමීපවත්ම සූර්ය විකිරණ සහ ප්ලස්මාව හේතුවෙන් ධූමකේතු මතුපිටින් වාෂ්ප හා දූවිලි ධාරාවක් නිකුත්වෙන අතර, එමඟින් සූර්යයාගේ සිට ඉවතට වලිගයක් නිර්මාණය වේ.
විවිධ ගුරුත්වාකර්ෂණ බලයන් විසින් ධූමකේතුවක් ඌට් වළාවෙන් ඉවතට තල්ලුකළ විට ඒවා අභ්‍යන්තර සෞරග්‍රහ මණ්ඩලය දෙසට ගමන් කරයි. ඒවා, කෙමෙන් සූර්ය තාපයට සමීපවන විට වඩාත් දෘශ්‍යමාන වේ. ලොව වටා නිරීක්ෂණාගාර විසින් සෑම වසරක දීම වල්ගා තරු දුසිමකට වඩා අඩු ප්‍රමාණයක් සොයාගැනෙයි.
හරිත ධූමකේතුවට එහි නම ලැබුණේ කොහොමද?
C/2022 E3 (ZTF) ධූමකේතුව සොයාගැනුනේ එක්සත් ජනපදයේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ස්විකී ට්‍රාන්සියන්ට් ෆැසිලිටි (Zwicky Transient Facility) සමීක්ෂණායතනය විසින් බැවින්, එහි නමේ අගට 'ZTF' යන කෙටි යෙදුම ලැබී තිබේ.
ඇතැම්විට ඔබ එම කෙටි යෙදුමම දරන තවත් ධූමකේතු දැක තිබෙනවා විය හැකි ය - ඒ, ඒවා ද අදාළ ආයතනය විසින්ම සොයාගැනුණු නිසාය.
මෙම ධූමකේතුව සූර්යයා වටා කක්ෂය සම්පූර්ණ කිරීමට වසර 50 000ක් පමණ ගන්නා බැවින්, මෙය "දැකගැනීමට ලැබීම ජීවිතයේ එක්වරක් පමණක් ලැබෙන අවස්ථාවකැ," යි ග්‍රහතාරකා සංගමය පවසයි.
දැකගන්නේ කොහොමද?
උත්තරාර්ධගෝලයේ සිට දුරේක්ෂයක් රහිතව නරඹන්නන්ට ධූමකේතුව "අහසේ ඇති දීප්තිය අවම, කොළ පැහැයට හුරු පැල්ලමක්" ලෙස දිස්වනු ඇති අතර, දුරේක්ෂයක් සහිත තැනැත්තන්ට ධූමකේතුවේ නාට්‍යාකාර වලිගය දැකගත හැකිබව ග්‍රහතාරකා සංගමය ප්‍රකාශ කරයි.
ජනවාරි මාසයේ දී, ධූමකේතුව වයඹ දෙසට ගමන් කරන විට උත්තරාර්ධගෝලයේ නිරීක්ෂකයන්ට උදෑසන අහසේ දීප්තිමත් හරිත දීප්තියක් පෙනෙනු ඇතිබවත්, දක්ෂිණාර්ධගෝලයේ සිටින්නන්ට පෙබරවාරි මාසයේ දී එය දැකගැනීමට හැකිවනු ඇතිබවත් නාසා ආයතනය පවසා තිබුණි.

ඡායාරූප මූලාශ්‍රය, SOLARSEVEN/GETTY
ජනාකීර්ණ ප්‍රදේශයන්හි ආලෝක දූෂණයෙන් බැහැර දුරස්ථ ස්ථානයක් සොයාගැනීම, අප ග්‍රහලෝකය පසුකර සූර්යයාගෙන් ඉවතට යමින් සෞරග්‍රහ මණ්ඩලයේ ඈත ප්‍රදේශයන් කරා ගමන් කරනා ධූමකේතුවේ සුන්දර දසුනක් ලබාගැනීම සඳහා වැදගත් වේ.
නාසා ආයතනය ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය (JWST) මඟින්, සෞරග්‍රහ මණ්ඩලයේ සැකැස්ම පිළිබඳව ඉඟි සැපයිය හැකි ධූමකේතුව නිරීක්ෂණය කිරීමට සැලසුම් කරයි.










