ග්‍රහණයක් යනු කුමක් ද? එහි විවිධ වර්ග කීයක් තිබේ ද?

ඡායාරූප මූලාශ්‍රය, Reuters
සූර්යග්‍රහණ සහ චන්ද්‍රග්‍රහණ යනු දර්ශනීය තාරකා විද්‍යාත්මක සංසිද්ධීන් ය. සංචාරක ව්‍යාපාරයේ එක් අංශයක්ම ඒවා නැරඹීමට කැමති පුද්ගලයන් වෙනුවෙන් වෙන්වී ඇත්තේ හේතු රහිතව නොවේ.
මීළඟ චන්ද්‍රග්‍රහණය නොවැම්බර් 8 වන දා සිදුවන අතර එය පූර්ණ චන්ද්‍රග්‍රහණයක් ලෙස උතුරු සහ මධ්‍යම ඇමරිකාව, ආසියාව සහ ඕෂනියාවේ සිට දැකගත හැකි ය. නාසා ආයතනය පවසන්නේ 2025 මාර්තු මාසය වන තෙක් නැවතත් පූර්ණ චන්ද්‍රග්‍රහණයක් උදාවනු නැති බව යි.
ඔබ ජීවත්වන වේලා කලාපය අනුව චන්ද්‍රග්‍රහණය අතරතුර දී චන්ද්‍රයා රතු පැහැයට හැරෙනු දැකීමේ ඉඩක් ද තිබේ. මෙය හැඳින්වෙන්නේ 'ලෝහිත චන්ද්‍රයා' ලෙසනි .
'ලෝහිත චන්ද්‍රයා' යනු විද්‍යාත්මක යෙදුමක් නොවේ. සඳ සම්පූර්ණයෙන්ම වැසීගිය විට එය රතු පැහැයෙන් දිස්වෙයි.
එය සිදුවන්නේ, චන්ද්‍රයා පෘථිවි ඡායාව හරහා ගමන් කරමින් සඳ මතුපිට ආලෝකමත් කරන සෘජු සූර්යාලෝකය මුළුමනින්ම අවහිරකර ගන්නා විට ය. කෙසේ නමුත් සූර්යාලෝකයෙන් කොටසක් පෘථිවි වායුගෝලය හරහා වක්‍රව චන්ද්‍ර මතුපිටට ළඟාවෙමින්, සඳට රතට හුරු කහ හෝ තැඹිලි පැහැයක් ලබාදෙයි.
එහෙත් මෙය චන්ද්‍රග්‍රහණ වර්ග කිහිපයකින් එකක් පමණි.
"සාමාන්‍යයෙන්, ග්‍රහණ වර්ග දෙකක් තිබේ: චන්ද්‍රයාගේ ග්‍රහණ සහ සූර්යයාගේ ග්‍රහණ ලෙස ය," චිලියේ ඔටොනොමස් විශ්වවිද්‍යාලයයේ විද්‍යා සන්නිවේදන මධ්‍යස්ථානයේ තාරකා භෞතික විද්‍යාඥ හුවාන් කාලෝස් බීමින්, ඔහුගේ නවතම කෘතිය වන "Illustrated Astronomy"හි එසේ සටහන් කරයි.
නමුත් ඔහු මෙසේ ද ලියයි: "තාක්ෂණිකව ගත්කල, තාරකා ද්විත්වයක් හා බැඳි තෙවන වර්ගයක් ද මෙතැනට ඇතුළත් ය."
මේ වර්ග තුන සහ ඒවායේ විවිධ ප්රභේදයන් පිළිබඳ විස්තරයක් පහත දැක්වේ.
චන්ද්‍රග්‍රහණ

ඡායාරූප මූලාශ්‍රය, AFP
චන්ද්‍රග්‍රහණයක් සිදුවන්නේ පෘථිවිය, සූර්යයා සහ චන්ද්‍රයා අතරට පැමිණ ආලෝකය අවහිර කරන විට දී ය.
වෙනත් වචනවලින් කිවහොත්, චන්ද්‍රග්‍රහණයක දී අපට පෙනෙන්නේ සඳ මතුපිටට පතිතවන පෘථිවියේ ඡායාව යි.
IAC ඉගැන්වීම් මාර්ගෝපදේශකයකට අනුව, "සූර්යග්‍රහණය දර්ශනයවීම නිරීක්ෂකයාගේ භූගෝලීය පිහිටීම මත රඳා පවතියි. චන්ද්‍රග්‍රහණවල දී සිදුවන්නේ ඊට ප්‍රතිවිරුද්ධ දෙය යි. චන්ද්‍රග්‍රහණය සිදුවන මොහොතේ දී, ක්ෂිතිජයට ඉහළින් සඳ මතුව ඇති ඕනෑම ස්ථානයක සිට එය නිරීක්ෂණය කිරීමේ හැකියාව තිබේ."
"එමෙන්ම සූර්යග්රහණවල දී නිරීක්ෂකයාගේ භූගෝලීය පිහිටීම මත සූර්යග්‍රහණ අවධීන් දිස්වන කාලසටහන රඳා පවතින නමුත්, චන්ද්‍රග්‍රහණවල දී නිරීක්ෂණ ස්ථානය කුමක්වුවත් ඒවා සමානවනු ඇතැ"යි ද එහි සඳහන් ය.
චන්ද්‍රග්‍රහණ වර්ග තුනක් තිබේ.
පූර්ණ චන්ද්‍රග්‍රහණය

පූර්ණ චන්ද්‍රග්‍රහණයක දී, චන්ද්‍රයා සහ සූර්යයා පිහිටන්නේ පෘථිවිය දෙපසින් එක පෙළට බව නාසා ආයතනය පැහැදිලි කරයි.
සඳ පෘථිවියේ ඡායාව තුළ තිබුණත්, යම් හිරු එළියක් සඳ වෙත ළඟාවනබවත් එම ආයතනය පවසයි.
මෙම සූර්යාලෝකය පෘථිවි වායුගෝලය හරහා ගමන් කරන බැවින් එහි වන නිල් ආලෝකය වැඩි කොටස පෙරීමට ලක්වේ. මෙම සංසිද්ධිය අතරතුරේ චන්ද්‍රයා රතු පැහැයෙන් දිස්වන්නේ එබැවිනි. මෙය "ලෝහිත චන්ද්‍රයා" ලෙස පොදුවේ හැඳින්වේ.

ඡායාරූප මූලාශ්‍රය, NASA
IACට අනුව, "අපගේ ග්‍රහලෝකයේ විෂ්කම්භය චන්ද්‍ර විෂ්කම්භයට වඩා සිව්ගුණයක් විශාල බැවින්, එහි ඡායාව ද වඩාත් පුළුල් ය. එනිසාම චන්ද්‍රග්‍රහණයක සම්පූර්ණ කාලය මිනිත්තු 104 දක්වා පැවතිය හැකි ය."
ඔබේ වේලා කලාපය අනුව, නොවැම්බර් 8 වැනිදා ඔබට දැකගත හැකි වන්නේ එය යි.

අර්ධ චන්ද්‍රග්‍රහණය
එහි නමින් ම කියවෙන ආකාරයට, අර්ධ චන්ද්‍රග්‍රහණයක් සිදුවන්නේ පෘථිවි ඡායාව තුළට චන්ද්‍රයාගේ කොටසක් පමණක් ඇතුළුවූ විට ය.
චන්ද්‍රග්‍රහණයේ විශාලත්වය අනුව, තද රතු පැහැයක් හෝ ඇතැම් විට මලකඩ හෝ කළු - අළු ඡායාවක් ද චන්ද්‍ර පෘෂ්ඨයේ අඳුරු ප්‍රදේශයේ දිස්විය හැකි ය.
මෙයට හේතුවන්නේ ඡායාව වැටුණු ප්‍රදේශය සහ එහි බලපෑමට ලක්නොවන දීප්තිමත් ප්‍රදේශය අතර ඇති වෙනස යි.
නාසා ආයතනයට අනුව, පූර්ණ චන්ද්‍රග්‍රහණ දුර්ලභ සංසිද්ධියක් වන නමුත් අර්ධ චන්ද්‍රග්‍රහණ අවම වශයෙන් වසරකට දෙවතාවක්වත් සිදුවේ.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
උපච්ඡායා චන්ද්‍රග්‍රහණය
මෙය සිදුවන්නේ පෘථිවියේ අර්ධ ඡායාව හරහා චන්ද්‍රයා ගමන් කරන විට ය. එය ඉතා ප්රභාහීන ඡායාවකි.
එමනිසා, මෙම චන්ද්‍රග්‍රහණ කෙතරම් දුබලව දිස්වන්නේ ද යත් එය මිනිස් ඇසට දර්ශනයවීම රඳා පවතින්නේ උපච්ඡායා කලාපයට ඇතුළුවන චන්ද්‍රයාගේ කොටස මත ය. එය කුඩා වන තරමට නිරීක්ෂණය අපහසු ය.
මේ හේතුව නිසා, විද්‍යාඥයින්ගේ මිස අන් කිසිදු කැලැන්ඩරයක පවා මෙම චන්ද්රග්රහණයන් පිළිබඳව සඳහන් නොවේ.
සූර්යග්‍රහණ

චන්ද්‍රයා පෘථිවිය පරිභ්‍රමණය කරන ඇතැම් අවස්ථාවන්හි දී සූර්යයා සහ අප ග්‍රහලෝකය අතරින් ගමන් ගන්නා අතර, එයින් හිරු එළිය අවහිරවී සූර්යග්‍රහණයක් ඇතිවේ.
වෙනත් වචනවලින් කියනවා නම්, චන්ද්‍රයාගේ ඡායාව පෘථිවි පෘෂ්ඨය මතට වැටේ.
නමුත් සූර්යග්‍රහණ වර්ග ද තුනක් හඳුනාගෙන ඇති අතර, චන්ද්‍රයා සූර්යයා ආවරණය කරන්නේ කෙසේ ද සහ කොපමණ ප්‍රමාණයකින් ද යන්න මේවා වර්ගවලට බෙදා තිබේ.
පූර්ණ සූර්යග්‍රහණය
පූර්ණ සූර්යග්‍රහණය සිදුවන්නේ චන්ද්‍රයා මඟින් සූර්යාලෝකය සම්පූර්ණයෙන්ම අවහිර කරන ආකාරයට සූර්යයා, චන්ද්‍රයා සහ පෘථිවිය පෙළගැසුණු විට ය.
ඇතැම්විට තත්පර කිහිපයක් හෝ විනාඩි කිහිපයක් දක්වා රාත්‍රී කාලය මෙන් පෙනෙන තරමට අහස අඳුරු වේ.
නාසා ආයතනයට අනුව, "පූර්ණ සූර්යග්‍රහණ පෘථිවියට උදාවන්නේ අහඹු ආකාශ සිදුවීමක් නිසා පමණි". සූර්යයා සඳට වඩා 400 ගුණයක් පළල වන නමුත්, එය 400 ගුණයක් දුරින් ද පිහිටා තිබේ.
"එම ජ්‍යාමිතික කරුණෙන් අදහස් වන්නේ, නිවැරදිව පෙළගැසුනු විට සූර්යයාගේ මුළු මතුපිටම අවහිර කරමින් පූර්ණ සූර්යග්‍රහණයක් නිර්මාණය කිරීමට චන්ද්‍රයාට හැකිබව යි."

ඡායාරූප මූලාශ්‍රය, NASA
පෘථිවි පෘෂ්ඨය හරහා චන්ද්‍රයාගේ ඡායාව ගමන් කරන පථය වැටෙන කුඩා ප්‍රදේශය සම්පූර්ණයෙන්ම අන්ධකාර බවට පත්වෙයි.
මෙම තීරුවට දෙපසින් කිලෝමීටර් දහස් ගණනක් දුරට වෙසෙන පිරිසට, සූර්යග්‍රහණය අර්ධ වශයෙන් නැරඹිය හැකි ය.
ඔබ මෙම තීරුවෙන් දුරස් වන තරමට, සඳෙන් ආවරණය වන සූර්යයාගේ කොටස ද තව තවත් කුඩාවට පෙනෙයි.
මෙය පවතින කාලසීමාව රඳා පවතින්නේ "සූර්යයාට සාපේක්ෂව පෘථිවියේ පිහිටීම, පෘථිවියට සාපේක්ෂව සඳෙහි පිහිටීම සහ පෘථිවියේ කුමන කොටස අඳුරු වෙමින් පවතියි ද යන්න මත," බව බීමින් සිය කෘතියෙහි සඳහන් කරයි.
"න්‍යායාත්මකව ගත්කල, දීර්ඝතම සූර්යග්‍රහණය මිනිත්තු 7 යි තත්පර 32ක් පැවතිය හැකි ය," මේ චිලියානු තාරකා භෞතික විද්‍යාඥයා ප්‍රකාශ කරයි.
සූර්යග්‍රහණ ඔබ සිතන තරමට දුර්ලභ නොවේ: සෑම මාස 18කට වරක්ම පාහේ සූර්යග්‍රහණයක් සිදුවිය හැකි ය.
ඇත්ත වශයෙන්ම දුර්ලභවන්නේ, පූර්ණ සූර්යග්‍රහණයක් එම ස්ථානයේම සිට නැවත නිරීක්ෂණය කිරීමට ලැබෙන වියහැකියාව යි. එය සාමාන්‍යයෙන් සිදුවන්නේ සෑම වසර 375කට වරක් පාහේ පමණි.
මීළඟ පූර්ණ සූර්යග්‍රහණය ලබන වසරේ අප්‍රේල් මාසයේ දී සිදුවනු ඇත.
වළයාකාර සූර්යග්‍රහණය

ඡායාරූප මූලාශ්‍රය, Getty
චන්ද්‍රයා පෘථිවියට වඩාත් දුරින් පිහිටන විට එය සූර්යයාගේ මතුපිට සම්පූර්ණයෙන්ම ආවරණය කිරීමට ප්‍රමාණවත් නොවන තරම් "කුඩාවට" දිස්වෙයි.
මෙවිට, සූර්යයා සඳ වටා ආලෝක වළල්ලක හැඩයෙන් පිහිටනු යන්තමින් දර්ශනය වන අතර, එම සිදුවීම වළයාකාර සූර්යග්‍රහණයක් ලෙස හැඳින්වේ.
පූර්ණ සූර්යග්‍රහණයක දී මෙන්ම මෙම සංසිද්ධියේ දී ද සූර්යග්‍රහණය වළයාකාර ලෙස පෙනෙන ගමන් පථයක් තිබේ.
මෙම මාර්ගයේ එක් එක් පැත්තෙහි, ග්‍රහණය අර්ධ ලෙස පෙනෙන කලාපයන් පිහිට යි.
ලබන වසරේ ඔක්තෝම්බර් මාසයේ දී උතුරු සහ දකුණු ඇමරිකාවට වළයාකාර සූර්යග්‍රහණයක් දර්ශනයවනු ඇත.
නාසා ආයතනයට අනුව, සාමාන්‍යයෙන් දීර්ඝතම සූර්යග්‍රහණයන් වන්නේ මේවා ය. මෙහිදී 'ආලෝක වළල්ල' වැනි කොටස මිනිත්තු දහයකට වඩා වැඩි කාලයක් දැකිය හැකි අතර සාමාන්‍ය සූර්යග්‍රහණ පවතින්නේ විනාඩි පහක් හෝ හයක් පමණි.
දෙමුහුන් සූර්යග්‍රහණය

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
බීමින් පැහැදිලි කරන ආකාරයට දෙමුහුන් සූර්යග්‍රහණය යනු, "සූර්යයා සම්පූර්ණයෙන්ම ආවරණය කළ හැකි දුරින් චන්ද්‍රයා පවතින නමුත්, ග්‍රහණය සිදුවන අතරතුරේ එය පෘථිවියෙන් යන්තමින් බැහැරට ගොස් සූර්යග්‍රහණය නවතා, එය වළයාකාර සූර්යග්රහණයක්බවට පරිවර්තනය වන සංසිද්ධිය යි."
"එය වළයාකාර සූර්යග්‍රහණයක් ලෙස ආරම්භවී, පසුව පූර්ණ සූර්යග්‍රහණයක් බවට පත්වීමේ ආසන්නයට පැමිණිය හැකි ය," බීමන් පවසයි.
Instituto de Astrofísica de Canarias (කැනරිහි තාරකා භෞතික විද්‍යාව පිළිබඳ ආයතනය) හෙවත් IACට අනුව, දෙමුහුන් සූර්යග්‍රහණ සියලු සූර්යග්රහණවලින් 4%ක් පමණ වන දුර්ලභ සිදුවීමකි.
නාසා දත්තවලට අනුව අවසානවරට මෙවන් සූර්යග්‍රහණයක් සිදුවූයේ 2013 දී වන අතර, මීළඟ දෙමුහුන් සූර්යග්‍රහණය 2023 අප්‍රේල් 20 දා ඉන්දුනීසියාව, ඕස්ට්‍රේලියාව සහ පැපුවා නිව්ගිනියාවට නිරීක්ෂණය කළ හැකිවනු ඇත.
තාරකාග්රහණ
සෑම ග්රහණයක්ම සූර්යයා සහ චන්ද්‍රයා සම්බන්ධයෙන් පමණක් සිදුනොවන අතර, තාරකාවලට ද සිදුවිය හැකි ය.
"තාරකාවලින් 50%ක් ඇත්තේ තරු දෙකක හෝ වැඩි ගණනක පද්ධතිවල යි," බීමින් ඔහුගේ "Illustrated Astronomy" කෘතියේ පැහැදිලි කරයි. එය අන්තර්ජාලයෙන් නොමිලේ ලබාගත හැකි ය.
"අපගේ මන්දාකිණියේ බොහෝ තාරකා ඇති බැවින්, ඉන් ඇතැම් ද්විත්ව තාරකා (පොදු කේන්ද්‍රයක් වටා ගමන් කරන තරු දෙකකින් සමන්විත තරු පද්ධති) පෘථිවිය සමග මනා පෙළට ඇති තලයක කක්ෂගත වේ. එහි කක්ෂයේ ඇතැම් ස්ථානයක දී, එක් තාරකාවක් අනෙක් තරුව ඉදිරියෙන් ගමන් කරමින් එය අඳුරු කරයි," ඔහු සඳහන් කරයි.
"මෙය මෙම ද්විත්ව තරු ග්‍රහණයක් ලෙස හැඳින්වේ."










