කෝර්ගි සුනඛයන් සමඟ රැජින ආදරයෙන් බැඳුණේ කොහොමද?

ඡායාරූප මූලාශ්‍රය, Bettmann/getty images
රැජින කුඩා කල සිටම කෝර්ගිස් වර්ගයේ සුනඛයන්ට දැඩිව ඇළුම් කළා ය. ඇගේ අභාවයත් සමඟම ඇගේ සුරතලුන්ට මීළඟට අත්වන ඉරණම පිළිබඳව කතාබහක් මතුව තිබුණි. මෙම සුනඛයන් මේ වනවිට, ඇගේ පුත් ඇන්ඩෲ කුමරු සහ ඔහුගේ හිටපු බිරිඳ වන යෝර්ක් ආදිපාදවරිය විසින් රැකබලා ගන්නා බව මේ වනවිට හෙළි වී තිබේ. එළිසබෙත් රැජින සහ ඇගේ කෝර්ගි සුනඛයන් අතර ඇති දැඩි බැඳීමේ කතාව මෙයයි.

1959: දී වයස අවුරුදු 32 ක දෙදරු මවක් වූ දෙවන එළිසබෙත් රැජින, අගේ සුරතල් සුනඛයෙකු සඳහා සොහොන් ගලක් නිර්මාණය කරයි.
සුසාන් ඇගේ දහ අට වැනි උපන්දිනය දා ඇයට ලැබුණු අතර, ඉන් වසර කිහිපයකට පසුව, පිලිප් කුමරු හා ඇය විවාහයෙන් අනතුරුව පැවති ඇගේ මධුසමයට ද කඩා වැදුණා ය. නව යුවල ගමන් කළ රාජකීය අශ්ව කරත්තයේ බුමුතුරුණු යට සඟවා හොර රහසේ ඇයව රැගෙන යාමට රැජින කටයුතු කර තිබිණි.
"මම නිතරම ඇයව අහිමි වේ යැයි බියෙන් පසුවුනෙමි" යි රැජින සුසාන්ගේ මරණයෙන් පසුව සිය ශෝකය පළ කරමින් ලීවා ය. "නමුත් ඇගේ දුක් විඳීම ඉතා කෙටි වීම ගැන මම සැමවිටම ස්තූතිවන්ත වෙමි."
සුසාන්, රාජකීය ඔරලෝසුව වයින් කරන්නා සහ මාලිගාවේ තරුණ මුරකරුවෙකු සපා කෑ බව ප්‍රකට කරුණකි. නමුත් ඇගේ ස්මාරකයේ ඒ කිසිවක් සඳහන් කර නො මැත. වික්ටෝරියා රැජින විසින් ආරම්භ කරන ලද සැන්ඩ්‍රින්හැම් හි සුරතලුන් සඳහා වෙන් කළ සුසාන භූමියේ ඇයව මිහිදන් කර තිබේ.

ඡායාරූප මූලාශ්‍රය, Tim Graham Photo Library via Getty Images
මෙය එක් වේල්ස් කෝර්ගි සුරතලෙකුගේ අවසානය වුවත්, අධිරාජිනියගේ සුනඛ ප්‍රේමයේ අවසානය එය නො වීය.
ඊළඟ දශක හය තුළ, ඇය සුසාන්ගේ වර්ගයේ සුනඛයන් තිස් දෙනෙකුට වඩා හිමි කර ගත්තා ය. මෙම සුනඛ විශේෂය සඳහා රැජිනගේ වූ ආදරය, එක් අතෙකින් එම සුනඛයන් සඳහා විශාල වෙළඳපොළක් නිර්මාණය කළේ ය. එමෙන් ම එය අනෙක් අතින්, මාග්‍රට් කුමරියගේ සුරතලා වූ ඩච්ෂුන්ඩ් වර්ගයේ සුනඛයා වූ පිප්කින්ගේ ද දායකත්වයෙන් 'ඩෝර්ගි' නම් සුනඛ විශේෂය නිර්මාණය කිරීමේ අහඹු අවස්තාව ද හිමි කරගත්තේ ය.

කෝර්ගි වර්ගයේ සුනඛයන්ට ම ඇය මෙතරම් ප්‍රිය වූයේ ඇයි? ඇත්ත වශයෙන් ම එයට හේතුව ඇගේ මව්පියන්ගෙන් ලද අනුබලය විය හැක. 1933 දී ඇය හත් හැවිරිදි වියේදී පමණ සිටින කාලයේ මිතුරන් පිරිසකට මෙවන් සුරතලෙකු සිට ඇති අතර එළිසබෙත්ටද එවැන්නක් අවශ්‍ය වී තිබුණි.
පෙම්බ්‍රොක් කෝර්ගි වේල්සයේ සුලබ සුනඛයෙකු වූ නමුත්, එංගලන්තයට තරමක් අලුත් විශේෂයක් වී තිබුණි. එළිසබෙත්ගේ පියා වන යෝර්ක්හි ආදිපාදවරයා, තෙල්මා ග්‍රේ නම් ප්‍රකට සුනඛ අභිජනනය කරන්නිය හමු වූ අතර, ඇය ඔහුට තෝරා ගැනීම සඳහා සරේ හි ඇගේ රොසාවෙල් අභිජනන මධ්‍යස්ථානයෙන් බලු පැටවුන් තිදෙනෙකු ලබා දීමට කටයුතුකර තිබුණි.
ඔවුන් රොසාවෙල් ගෝල්ඩන් ඊගල් නමින් නිල වශයෙන් හැඳින්වෙන කුඩා කෝර්ගි සුනඛයා තෝරාගත් අතර, සෙලවීමට කුඩා වලිගයක් ඇති එකම සුනඛයා වීම එම තෝරාගැනීමේ ප්‍රධාන හේතුව බවට පත් විය. සුනඛයා සතුටින් සිටින විට වලිගය වනා එය පෙන්වීමට කටයුතු කිරීම නිසා මෙම තෝරාගැනීම සිදුකර ඇතැයි කියවේ.
බලු පැටියාට 'ඩූකී' යන අන්වර්ථ නාමය ලැබුණු අතර, යෝර්ක් ආදිපාදවරයා ඔහුගේ හිමිකරු වීමට යන බව දැනගත් අභිජනන මධ්‍යස්ථානයේ කාර්ය මණ්ඩලය විසින් විහිළුවක් ලෙසට ඒ නම තබා තිබුණි.
ඩූකී ඉතා නරක හැසිරීමක් පෙන්වමින් රාජ සභිකයන් සහ අමුත්තන් සපා කෑ නමුත්, එළිසබෙත්ගේ සහ සුනඛයාගේ පුවත්පත් ඡායාරූපයක් මහජනයා ආකර්ෂණය කර ගැනීමට සමත් වූ අතර පෙම්බ්‍රෝක් කෝර්ගි සුනඛයන්ට ඇති ඉල්ලුම ඉහළ යාමට ද එය හේතුවක් විණි.

ඡායාරූප මූලාශ්‍රය, Imagno/Getty Images
තවත් වසර කිහිපයකට පසුව 'ලේඩි ජේන්' ව ලබා ගැනෙන්නේ ද එම අභිජනනය කරන්නාගෙන්මය. 1936 වසරේ නත්තලේදී රාජකීයයන්ව පොදු ජනයාට වඩාත් සමීප කිරීමේ අරමුණින් ළමා කෘතියක් නිකුත් කිරීමට රජ පවුල කටයුතු කළ හ. 'අපේ කුමරියන් සහ ඔවුන්ගේ සුනඛ සුරතලුන්' ලෙස නම් කෙරුණු මේ කෘතියේ යෝර්ක්වරුන් සහ ඔවුන්ගේ සුරතල් සුනඛයන් 'එක් මිනිස් පවුලක්' ලෙස හඳුන්වා දී තිබුණි. සුනඛයන්ගේ පින්තූර සහ රාජකීය පවුලේ ඇගයුම් සහ වටිනාකම්වලින් යුක්ත මේ කෘතිය, ආදිපාදවරයාගේ වැඩිමහල් සහෝදරයා නව රජු බවට පත් වීමට දින කිහිපයකට පෙර අලෙවි කිරීම ආරම්භ විය.
බකිංහැම් මාලිගය විසින් රැජිනගේ සුනඛයන් හඳුන්වන්නේ 'පෞද්ගලික කාරණයක්' ලෙස වීම නිසා ඔවුන් සම්බන්ධ බොහෝ දේ මහජනයාට විවෘත වන්නේ නැත. එහෙත් අතීතයේදී කොර්ගි සුනඛයන් විසින්, රාජකීයයන්ගේ දැඩි පිළිවෙත් පවා වෙනස කිරීමට හේතු වී ඇති බව පෙනී යයි.

ඡායාරූප මූලාශ්‍රය, Lisa Sheridan/Studio Lisa/Hulton Archive/Getty
සුනඛ සංගමයේ (Kennel Club) සංඛ්‍යාලේඛනවලට අනුව, 1936 වසරේදී සහ එළිසබෙත් කුමරිය සුසාන් ව ලබාගත් 1944 වර්ෂයේදී පෙම්බ්‍රොක් කෝර්ගි සුනඛ වර්ගය ලියාපදිංචියේ පැහැදිලි වැඩිවීමක් පෙන්නුම් කරන අතර, කෝර්ගිස් සුනඛයන් විසින් ඇයවත්, ඇය විසින් කෝර්ගිස් සුනඛයන්වත් වඩාත් ප්‍රියමනාප වබට පත් කරන සෙයක් පෙනී යමින් තිබිණි.
"මිනිසුන් සහ අභිජනනය කරන්නන් විසින් හදිසියේම ඉතා ජනප්‍රිය වූ බල්ලෙකු සඳහා වෙළඳපොළක් ඇති කරමින් සිටියහ. ඒ 101 Dalmatians චිත්‍රපටය විසින් ඇතිකරන ලද වෙළඳපොලකි " යි Kennel Club හි පුස්තකාල කළමනාකරු සියරා ෆැරල් පවසයි.
"වෙළඳ ප්‍රචාරණයත් සමඟ සුනඛයන්ට ඇතිවන ඉල්ලුම වෙනස් වීම දැකගත හැක. හැත්තෑව සහ අසූ ගණන්වල ඩියුලක්ස් වෙළඳ දැන්වීමේ පැරණි ඉංග්‍රීසි බැටළු බල්ලා" එලෙසම, අඩ සියවසක් පුරා මාස්ටර්ස්ට්‍රෝක් ඇතිරිලි දැන්වීම්වල පෙනී සිටින ඇන්ඩ්‍රෙක්ස් බලු පැටියා මිට උදාහරණ වශයෙන් පෙන්වා දිය හැකි ය.
පුද්ගලික ජීවිතය තුළ එලිසබෙත් කුමරිය සහ සුසාන් වෙන් කළ නොහැකි දෙදෙනෙකු විය. එනිසා ම ඇය සුසාන්ගෙන් නව පරපුරක් බිහි කර ගැනීම සඳහා ඇයට සහකරුවෙකු සෙවීම, ඇගේ ළමා වියේ බලු පැටවුන් සපයන්නෙකු වූ තෙල්මා වෙත භාර දුන්නා ය. රොසාවෙල් ලකී ස්ට්‍රයික් මේ වෙනුවෙන් තෝරාගත් සුනඛයා වූ අතර,ඔවුන්ගෙන් ඇරඹි වින්ඩ්සර් පෙම්බ්‍රෝක් කෝර්ගිස් පෙළ පරම්පරා 14ක් පුරා පැවතුනි.

රැජින බොහෝ ආදරය කළ සුරතල් සතුන් වීම පමණක් නොව, කෝර්ගිස් සුනඛයන් ඇය ඇගේ පියා සමඟ ගතකළ සැහැල්ලු ළමා කාලයේ මතකයන් සමඟ ද බැඳී සිටිය හ. සුසාන්ගෙන් පසු ඇගේ සුරතලුන් වූ සෑම බලු පැටියෙක්ම, එම කාලය පිළිබඳ මතකයක කොටසක් දරා සිටියේ ය. එමෙන් ම ජීවිතය මෙන් ම පෙළපත ද අඛණ්ඩව ඉදිරියට ගලාගෙන යන බව සිහිපත් කළේ ය.
ඇගේ ස්වාමිපුරුෂයා වන පිලිප් කුමරු තම බිරිඳ මඳක් පිටුපසින් ඇවිදිමින් සිය ජීවිත කාලයම ගත කළ අතර, කොර්ගිස් රැජිනට ඉදිරියෙන් ගමන් කළේ ය. එය රැජිනට අහිමි වූ නිදහස පිළිබඳ මතක් කිරීමක් බඳු විය. ඩයනා කුමරිය, සුනඛයන් විසින් මාලිගයේ ඇති කර තිබූ කලබගෑනිය හැඳින්වූයේ, 'සෙලවෙන බුමුතුරණක් වැනි' යන යෙදුම භාවිත කරමිනි. එහෙත් රැජිනට අනුව ඔවුන් ඇගේ 'ගැහැණු ළමයින්' සහ 'පිරිමි ළමයින්' වූහ.
අභිජනනයෙන් පසු, ඇය කිසි විටෙකත් ඇගේ බලු පැටවුන් විකිණීමට කටයුතු කළේ නැත. ඒ සියල්ලෝම ඇය සමඟ රැඳී සිටියහ. එසේ නැත්නම් ඔවුන්ව අභිජනනය කරන්නන් හෝ ඥාති හෝ මිතුරන් වෙත ලබා දෙන ලදී.

ඡායාරූප මූලාශ්‍රය, Tim Graham Picture Library/Getty
කොර්ගිස් සුනඛයන් රැජින ගිය සෑම තැනකට ම පාගේ ගිය අතර ඒ සඳහා ඔවුන්ට හෙලිකොප්ටර්, දුම්රිය සහ ලිමොසින් රථවල ගමන් කිරීමට සිදු වී තිබුණි. සැන්ඩ්‍රින්හැම්හි පවතී සෑම නත්තල් සමයකදී ම ඔවුන් සෑම කෙනෙකුටම, 'ත්‍යාග අඩංගු නත්තල් මේස්' ලැබුණු අතර, ඒවා රැජින විසින් ම පිරවීමට කටයුතු කර තිබිණි.
බකිංහැම් මාලිගයේ කාමර 775 ක් ඇති මුත්, කෝර්ගි සුනඛයන් සැතපුණේ රැජිනගේ පෞද්ගලික වාසස්ථානය තුළ ය. රාජකීය කතුවරයා වන පෙනි ජූනර් ඇගේ All The Queen's Corgis නම් කෘතියෙහි සඳහන් කරන පරිදි: "එහි කෝර්ගි සුනඛයන් සඳහා විශේෂ කාමරයක් තිබේ. එහි ඔවුන් සඳහා කුෂන් සහිත වේවැල් කූඩ තබා තිබේ.
ඇවිදීමේ අපහසුතා ඇගේ ජීවිතයේ අවසාන මාසවලට බලපෑමට පෙර සෑම දිනකම, ඔවුන්ව ඇවිදීමට ගෙන යාම රැජිනගේ දිනචර්යාවේ කොටසක් විය. ගෙවී ගිය වසරවලදී ඇය වඩාත් ප්‍රිය කළේ වොක්ෂෝල් වතුයායට යාමට සූදානම් වීම, හිස් ආවරණයක් පැළඳ රිය පැදවීම ආදී දේවල් කිහිපයකට පමණි.

ඡායාරූප මූලාශ්‍රය, Fox Photos/Hulton Archive/Getty Images
සාමාන්‍ය සුනඛයෙකුට සිය ජීවිත කාලයේදී, ඇවිදීමට අක්කර දහස් ගණනක් ඉඩ ද, රාජකීය මුළුතැන්ගෙයි පිළියෙළ කරන ලද ගව මස්, කුකුල් මස්, එළවළු සහ බත් වැනි සුඛෝපභෝගී ආහාර ද ලැබෙන්නේ නැත. නමුත් ජූනර්ට අනුව, කොර්ගි සුනඛයන් විසින් රැජිනව අවට ලෝකය හා මැනවින් සම්බන්ද කර තිබිණි.
"සුනඛයන් සහ අශ්වයන් ඇගේ ජීවිතයේ ඉතා විශාල කොටසක් හිමි කරගෙන සිටිය හ. ඇය මෙන්ම එම සතුන්ට දයාව දක්වන පුද්ගලයන් සමඟ රැජින ඉතා සැහැල්ලු ඇසුරක යෙදුණා ය. අශ්වයන් ධනවතුන්ගේ ක්‍රීඩාවක් වුවත් සුනඛයන් එසේ නොවේ. ඔවුන් විශිෂ්ට ලෙස මිනිසුන් ව දිනාගනිති. ජීවිතයේ සෑම අවධියකම පාහේ, රැජින, ඇය මෙන් ම සුනඛයන් සහ අශ්වයන්ට ආදරය කරන පිරිස් සමඟ කල් පවතින සහ අව්‍යාජ මිතුරු සබඳතා පවත්වාගෙන ගියා ය." යි අගේ කෘතියේ සඳහන් වේ.
1933 සහ 2018 අතර කාලයේදී සෑම විටම රැජින සතුව අවම වශයෙන් එක් කෝර්ගි සුනඛයෙකුවත් නො සිටි කාලයක් තිබුණේ නැත. නමුත් බොහෝ අවස්ථාවල එය එකකකට වඩා වැඩි ගණනකි. තම බිරිඳගේ කෝර්ගි ඇල්ම, කිසි විටෙකත් පිලිප් කුමරු තුළ නොවූ අතර, "ඔබට මෙතරම් සුනඛයන් සංඛ්‍යාවක් සිටිය යුත්තේ ඇයි?" යි යැයි මැසිවිලි නඟන බවක් පෙනෙන්නට තිබුණි.
1970 ගණන්වලදී මාග්‍රට් කුමරියගේ ඩච්ෂුන්ඩ් පිප්කින් සුනඛයා සහ ටයිනි නම් කෝර්ගි අතර ඇති වූ සම්බන්ධතාවයක ප්‍රතිඵලයක් ලෙස ඩොර්ගිස් පරපුර ආරම්භ විය. රැජින සහ මාග්‍රට් කුමරිය එම නව සුනඛ වර්ගයෙන් කොතරම් වශී වූවාද යත්, ඔවුන් නැවත නැවතත්, එම සුනඛ දෙමුහුම අහිජනනය කරවීමට කටයුතු කළ හ. එහි ප්‍රතිඵලය ලෙස වසර ගණනාවක් පුරා ඩොර්ගි පැටවුන් දස දෙනෙකු පමණ උපත ලබා තිබේ.
ඔවුන් තුළ පෙනුමේ වෙනස් කම් විය. සමහරකගේ කන් කෝර්ගි වර්යේ මෙන් ඉහළට යොමු වී තිබුණු අතර ඇතැමෙකුගේ කන් එල්ලා වැටෙන ස්වරූපයේ විය. නමුත් ඔවුන් සියල්ලන්ටම දිගු වලිග තිබූ අතර කෝර්ගිස් සුනඛයන්ට වඩා ප්‍රමාණයෙන් කුඩා වූහ.

ඡායාරූප මූලාශ්‍රය, AFP via Getty Images
වරක් රාජකීය ඡායාරූප ශිල්පියෙකු විසින් කෝර්ගි සහ ඩච්ෂුන්ඩ් අතර උසෙහි ඇති වෙනස සමපාත කළේ කෙසේද යන්න රැජිනගෙන් විමසූ විට, රැජින පිළිතුරු දුන්නේ මෙසේ ය. "හරිම සරලයි. අපි ගඩොල් ටිකක් තියලා උස හරිගස්සනවා..."

සමහර අවස්ථාවලදී තමන්ගේ ආදරණීයයන් මිය ගිය විට, රැජින ඔවුන්ගේ සුනඛ සුරතලුන් හදා වඩා ගත්තා ය. මෙයට 2002 දී මිය ගිය රැජිනගේ මවගේ සුනඛයන් ත්‍රිත්වය ද ඇතුළත් විය. වැනිටි ෆෙයාර් සඟරාවට අනුව, තම මවගේ දේහය බැලීමට ක්ලැරන්ස් හවුස් වෙත ගිය රැජින, ඉන් පසු මුලින් ම සිදු කර තිබුණේ එම සුනඛයන් තම නිවසට රැගෙන යාම ය.
ඇය වින්ඩ්සර් හි හිටපු ප්‍රධාන ක්‍රීඩක බිල් ෆෙන්වික් සහ ඔහුගේ බිරිඳ නැන්සිට අයත් විස්පර් වර්ගයේ සුනඛයාව ද හදා වඩා ගත්තා ය. නැන්සි, දශක පහක් තිස්සේ රැජිනගේ කෝර්ගි සුනඛයන් අභිජනනය සඳහා උපකාර කළ ආදරණීය මිතුරියක වූ අතර, ඕනෑම දෙයකදී ඇයට ඇමතුම් ලබා දුන් ඉතා සුළු පිරිසෙන් කෙනෙකු ද වී සිටියා ය.
රජ පවුලේ අභිජනන වැඩසටහන වසර කිහිපයකට පෙර අවසන් විය. රැජින, තමන් මිය යන විට කුඩා සුනඛයන් මෙලොව තනිකර යාමට අකමැති වීම ඊට හේතුව විය. කැන්ඩි නම්, ඉතිරිවී සිටි ඩෝර්ගි සුනඛයෙකු සමඟ ඇය පසුගිය ජනවාරි මාසයේදී ඡායාරූපයකට පෙනී සිටියා ය. 2021 දී ඇගේ පුත් ඇන්ඩෘ කුමරු සහ ඔහුගේ දියණියන් විසින් රැජිනට මුයික් සහ සැන්ඩි නම් තරුණ කෝර්ගි සුනඛයන් දෙදෙනෙකු තෑගි කර තිබුණි.
මෙම සුනඛයන්, ඇන්ඩෘ කුමරු සහ ඔහුගේ හිටපු බිරිඳ සාරා සමඟ වින්ඩ්සර් වතුයායේ පිහිටි මන්දිරයක් වන රෝයල් ලොජ් හි ජීවත් වීමට යන බව දැන් තහවුරු වී තිබේ.
කැන්ඩි ද ඔවුන් හා ජීවත් වීමට යනවා ද යන්න මෙම ලිපිය සම්පාදනය වන මොහොත තෙක් තොරතුරු ලැබී නො තිබුණි.

ඡායාරූප මූලාශ්‍රය, PA
කොර්ගිස් සුනඛයන් රැජින තුළ පහසුව ඇති කළ ද, ඇන්ඩෘ කුමරුට නම් සෑම විටම එසේ වූයේ නැත. නාඳුනන අය සමඟ ආත්ම විශ්වාසයෙන් කතා කිරීමට අවශ්‍ය වූ නමුත් ස්වභාවයෙන්ම ඉතා ලැජ්ජාශීලී කාන්තාවක් වූ රැජින, ඇගේ මානසිකත්වය වඩා සුවපහසු කරගැනීම වෙනුවෙන් සුනඛයන් භාවිතා කළ බව කළ බව ජූනර් පවසන්නී ය.
"ඇගේ පවුලේ අය එය හැඳින්වූයේ 'සුනඛ ක්‍රියාකාරීත්වය' යනුවෙනි. යම් මොහොතක තත්ත්වය ඉතා අපහසු වුවහොත්, ඇය සියල්ල නවතා සිය සුනඛයන් පිටතට ගෙන යාමට කටයුතු කළා ය. ඇන්ඩෘ කුමරුට සුනඛයන්ගෙන් ඇගේ අවධානය මුදවාගෙන, සාරා ෆර්ගියුසන් සමඟ ඔහුගේ විවාහය අවුල් සහගත තත්වයකට පත්ව ඇති බව සිය මවට පැවසීමට සති තුනක් ගත වූ බව කියනු ලැබේ.
රැජින අන් අයට පහසුව ඇති කිරීම සඳහා ද සිය සුනඛයන් යෙදවූවා ය. යුධ ශල්‍ය වෛද්‍ය ඩේවිඩ් නොට් යුද්ධයෙන් විනාශ වූ සිරියාවේ ඇලෙප්පෝ සිට ආපසු පැමිණි විට රැජින බකිංහැම් මාලිගයේ දිවා ආහාරයට ඇරයුම් ලැබුවේ ය. එහෙත් පශ්චාත් කම්පන ආතති ආබාධය (PTSD) හේතුවෙන් ඇය සමඟ කතා කිරීමට ඔහුට නො හැකි විය.
ඔහු යම් අවුල් සහගත තත්ත්වයකට පත් ව සිටින බව දුටු රැජින, "හොඳයි, මම ඔබට උදව් කරන්නද?" යි අසා ඇයගේ කෝර්ගි සුනඛයන් කැඳවූ අන්දම වෛද්‍ය නොට් සිහිපත් කරයි.
"සේවකයෙකු කෝර්ගි සුනඛයන් ගෙනා අතර ඔවුන් වහාම මේසය යටට ගියා. රැජින බිස්කට් ටින් එකක් ඇරියා. ඉතින් මේ දිවා ආහාරය අතරතුර මිනිත්තු විස්සක් පමණ රැජිනත් සහ මමත් ඔවුන්ට ආහාර ලබා දුන්නා. ඇය එය කළේ මා බරපතල ලෙස කම්පනයට පත්ව සිටින බව දැනගත් නිසා යි."

රැජින වසර 96ක් දක්වා ජීවත් වූ නිසා, සුනඛයන් රැකබලාගැනීමට තරම් වයසකට එළඹ සිටින මිලියන ගණනක මිනිසුන්, ඇයව අළු පැහැති හිසකේ සහිත මිත්තණියක ලෙස පමණක් ම හඳුනාගෙන සිටිය හ.
එහි ප්‍රතිඵලයක් ලෙස, බොහෝ කලක පටන්, කෝර්ගි යනු වයෝවෘද්ධ මිනිසුන් සඳහා ම විශේෂ වූ සුනඛයන් වර්ගයක් ලෙසට සැලකීමට මිනිසුන් පුරුදුව සිටිති.
රැජින, ඇගේ තරුණ පවුල සහ සුනඛයන් සමඟ සිටින ඡායාරූපයක් මහජන අවධානය දිනාගැනීමත් සමඟ 1960 ගණන්වලදී බලු පැටවුන් ලියාපදිංචි කිරීම් 9,000 කට ආසන්න සංඛ්‍යාවක් දක්වා ඉහළ නැඟුණි. නමුත් 1990 ගණන්වල අගභාගයේ සිට මෙය පහත වැටීමට පටන්ගත් අතර, 2014 වසරේදී එය භයානක ලෙස පහළම අගයක් ගෙන තිබුණේ එම වසරේ ලියාපදිංචි සුනඛ පැටවුන් ගණන 274ක් ලෙස දක්වමිනි. ඒ සමඟ ම පෙම්බ්‍රෝක්ස් එක්සත් රාජධානියේ අවදානමට ලක්විය හැකි දේශීය අභිජනන කාණ්ඩයට ඇතුළු විය.
පසුව Netflix හි කතා මාලාවක් ලෙස The Crown පැමිණි අතර, 2016 පළමු කතාංගය විසින් රැජිනගේ පාලනයේ ආරම්භය වෙත මිනිසුන් ව කැඳවාගෙන ගියේ ය. ක්ලෙයාර් ෆෝයි විසින් රැජිනගේ චරිතය නිරුපනය කරන ලද අතර, රැජින විසින් "ඔහ්..." වචනය උච්චාරණය කරන ක්‍රම රාශියක් ද එහි ඇතුළත් විය. එහි, තරුණ රාජිනිය නිතර කෝර්ගි සුනඛයන් පොකුරකින් වට වී සිටින්නී ය. ඇගේ භූමිකාව රඟපෑමට පසුව එක් වූ ඔලිවියා කොල්මන් ද එහි සිටින්නී ය.
ෆෝයි, දර්ශන තලවලදී සුනඛයන්ට සංග්‍රහ කළ ආකාරය වැනිටි ෆෙයාර් වෙත විස්තර කළා ය. සුනඛයන්ට චීස් අල්ලස් ලබා දුන් ආකාරය විස්තර කරමින්, "ඔබ ඔවුන්ට චීස් ලබා දෙන විට ඔවුන්ට හෘදයාබාධයක් ඇති වේ යැයි බියක් ඇති වෙනවා. මෙම කෝර්ගී සතුන් දවසකට චෙඩර් චීස් කුට්ටියක් ම ගිල දමනවා..." යි කියා සිටියා ය.
The Crown පළමු කතාංගයෙන් පසු 2017 දී කෝර්ගි බලු පැටවුන් ලියාපදිංචිය 16% කින් සහ දෙවන කතාංගයෙන් පසුව 2018 දී 47% කින් යළි ඉහළ ගියේ ය. එය මෙම කතා මාලාව ගැන පමණක් නොවේ. 2012 ඔලිම්පික් සමාරම්භක උත්සවයේ දී රැජින සහ රාජකීය කෝර්ගි සුනඛයන් තිදෙනෙකු රඟපෑ ජේම්ස් බොන්ඩ් විශේෂාංගය ද ඔවුන් නැවත මහජනයා අතර ජනප්‍රිය කළේ ය.
Netflix හි ඉතා ජනප්‍රිය කතා මාලාවක් වන බ්‍රිජර්ටන්හි පවා කෝර්ගි සුනඛයෙකු සිටී. 'අල්ලසක් වශයෙන් කෑමට යමක් නො ලැබේ නම් සිටින තැනින් සෙලවීම පවා ප්‍රතික්ෂේප කළත්' මෙම සුනඛයා ප්‍රේක්ෂකයන්ගේ ඉමහත් ආදරය දිනාගෙන සිටී.
ටික්ටොක් තරු වන හැමී සහ ඔලීවියා ගේ හිමිකරු ක්‍රිස් ඉක්වෙල් පවසන්නේ කෝර්ගි සුනඛයන් ගැන ඇති ඇල්ම යළි ඉහළ යාමට සමාජ මාධ්‍ය විශාල මෙහෙයක් කර ඇති බවයි.

ඡායාරූප මූලාශ්‍රය, WPA Pool/Getty Images
34 හැවිරිදි ක්‍රිස් 2020 අප්‍රේල් මාසයේදී අහම්බෙන් ලබාගත් වීඩියෝවක්, සමාජ මාධ්‍යවල වේගයෙන් සංසරණය වන්නට විය. ඒ ඔහුගේ කෝර්ගි සුනඛයන් වන ඔලිවියා සහ හැමී වැකුම් ක්ලීනරයක් වෙත බුරන වීඩියෝවකි. "එය විනාඩි 20 ට අඩු කාලයකදී 250,000 ක් විසින් නරඹා තිබුණි" ඔහු සිහිපත් කරයි.
වසර දෙකක කාලයක් පුරා මිලියන හතක අනුගාමිකයින් ඔහු වටා රැස්ව සිටින අතර, ඔහු කතා කරන කෝර්ගි වීඩියෝ 700කට වඩා වැඩි ප්‍රමාණයක් මේ වනවිට නිර්මාණය කර තිබේ. ඒවා අතර විකට වීඩියෝවක් වන "මකරා සමඟ යුද්ධය " (මෙහිදී සුනඛයන් වැකුම් ක්ලීනරයක් නිසා කලබල වී ඇති ආකාරය පෙනේ). වීඩියෝවට අනුග්‍රහය දැක්වීම සඳහා වැකුම් ක්ලීනර සමාගම් අතර ඇත්තේ දැඩි තරගයකි.
මිනිසුන් මෙතරම් වශී කරගැනීමට කෝර්ගි සුනඛයන් සතුව ඇත්තේ කුමක්දැයි ඇසූ විට, ඔහු පිළිතුරු දෙයි: "කෝර්ගි සතුව ඉතා සුවිශේෂී දෙයක් තිබේ. ඔවුන් ශ්‍රේෂ්ඨතම එඬේරුන් ය! එය ඔබ තුළ දැඩි බැඳීමක් ඇතිකරවනන්කි. සාමාන්‍යයෙන් බැලූ විට - මේ කෝර්ගියා, සුනඛයෙකු ද , පාන් ගෙඩියක් ද වැනි ප්‍රශ්නයක් ඔබට ඇතිවනු ඇති නමුත් ඔබ තුළ ඔවුන් කෙරේ දැඩි ආදරයක් ඇති වේ..."
Kennel Club හි සියරා ෆැරල් එකඟ වන්නේ කොර්ගි සුනඛයන්ගේ සැකැස්ම, ඔවුන්ගේ එතරම් මිලාධික නො වන පෙනුමට හේතු වී ඇති බවයි.
"මිනිසුන් විශාල කන් ඇති සුනඛයන්ට ආදරය කරති. පුළුන් පිරවූ සෙල්ලම් බඩුවක් සාදන විට ඔබට මෙය වටහාගත හැකි වේ. ඔවුන් උස අඩු සුනඛ වර්ගයකි, මුහුණේ උල් ස්වභාවය ඔවුනට ගෙන එන්නේ නරියෙකුගේ ස්වරූපයකි. ඔවුන් දැඩි පෙනුමක් ගත්තත් අතිශය සුරතල් ය."
ඉක්වෙල් ට අනුව රැජින,"අභිජනනයේ පුරෝගාමියා" ය. ඔහු විස්තර කරන්නේ දැඩි උද්යෝගනි. "මට මේ දෙන්නා, හැමි සහ ඔලිවියා ලැබෙන්නේ වසර හතක් වගේ කාලකට විතරක් වෙන්න පුළුවන්. ඒ නිසා තවත් නව සුනඛ පරම්පරා දහයක් හැදුවත් වටිනවා.
සුනඛ උද්‍යානයකදී එය සෑම විටම මගීන්ගේ මුවින් පිටවන පළමු දෙය වන්නේ 'ආ ඒ රැජිනගේ සුනඛයන් යන්නයි!"
රැජින රජකම් කරන කාලයේදී මෙම සුනඛ විශේෂය පිළිබඳව මහජනයා තුළ තිබුණේ, එය රාජාණ්ඩුවෙන් වෙන් කළ නොහැකි දෙයක් වැනි ආකල්පයකි. නමුත් තමා ලැබ්‍රඩෝ සුනඛ වර්ගයට වැඩි කැමැත්තක් දක්වන බවත්, ජැක් රසල් ටෙරියර් සුනඛයන්ගේ දිගු කාලීන හිමිකරුවෙකු බවත් වරක් පවසන චාල්ස් රජුගේ යුගයේදී කෝර්ගි සුනඛයන්ගේ ජනප්‍රියත්වය අඩුවීම අපේක්ෂා කළ හැකිද?
"එසේ නොවේවි යයි මම බලාපොරොත්තු වෙහවා" යි ෆැරල් පවසයි. "මම හිතන්නේ මෑත වසරවලදී කෝර්ගි සුනඛයන් විශාල ප්‍රගතියක් ලබා තිබෙනවා. ඔවුන් සැමවිටම රැජිනගේ සංකේතාත්මක සුනඛයන් වනු ඇත" යි ඇය විශ්වාස කරයි. නමුත් අවශේෂ හිමිකරුවන් සහ ඔවුන්ගේ කෝර්ගි සුනඛයන් අන්තර්ජාලය හරහා දකින තරමට, එහි රාජකීය වටිනාකම අවම වනු ඇත.
"සමාජ මාධ්‍ය භාවිතා කරන මිනිසුන්ගේ පරම්පරාවට කෝර්ගි විනෝදජනක බව පෙනී යනු ඇත. මම හිතන්නේ ඔවුන් බොහෝ කාලයක් මිනිසුන්ගේ සුරතලුන් වී සිටීවි."

ඡායාරූප මූලාශ්‍රය, Kiatanan Sugsompian/Getty images










