දෙවන එලිසබෙත් රැජින: හංසයන්ගේ සිට ලන්ඩන් වීදි දක්වා, රැජිනගෙන් තුන්වන චාල්ස් රජුට හිමිවන උරුමය

Queen Elizabeth overseeing the Swan Upping census near Windsor in 2009, showing her smiling and gazing at a signet (baby swan) with fluffy feathers

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

එක්සත් රාජධානියේ දීර්ඝතම කාලයක් රජකම් කළ රැජින වන දෙවන එලිසබෙත් රැජින, ජීවිතය විඳින්නියක ලෙස ප්‍රකටව සිටියා ය.

එක්සත් රාජධානියේ ධනවත් ම කාන්තාවක වූ ඇයට, මාලිගා, ආභරණ සහ වතු යායන් රැසක් හිමි ව තිබිණි.

ඇයට අනගීභවනීය සහ සිතාගත නො හැකි තරමේ දේවල් ද රැසක් හිමි ව තිබූ අතර, ඇගේ අභාවයත් සමඟ ඒ සියල්ල නව රජු වන චාල්ස් හට හිමි වී තිබේ.

ඇඳුම් පැළඳුම්

1953 දී, නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පත සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් රාජකීය ඇඳුම් නිර්මාණකරුවෙකු වූ ශ්‍රීමත් නෝමන් හාර්ට්නෙල් "රැජින සහ ඇගේ මව් රැජින විලාසිතා රැළි සාදන්නන් වීමට කැමැත්තක් දක්වන්නෝ නො වෙති.

වෙනත් වැදගත් කාර්යයන් නොමැති පුද්ගලයින්ට එය ඔවුන් විසින් ඉතිරි කර තිබේ." යනුවෙන් ප්‍රකාශ කර තිබුණි.

Queen Elizabeth during her state visit to Saudi Arabia, standing among a number of male members of the local delegation, all of whom are wearing traditional dress - the Queen is wearing a blue head cover that matches her body clothing, while the delegates are wearing head coverings in their traditional attire

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, එලිසබෙත් රැජින බොහෝ විට නිල් පැහැති ඇඳුමින් සැරසී සිටින අතර, ඇය සෞදි අරාබියේ රාජ්‍ය සංචාරයකදී සම්ප්‍රදායික ඇඳුමින් සැරසී සිටින පිරිමි දුත කණ්ඩායම සමඟ තම ඇඳුමට සමාන වර්ණයෙන් හිස ආවරණය කර සිටින්නීය

ඒ එළිසබෙත් රැජිනගේ කිරුළු පැළඳවීම සිදු කළ වර්ෂය යි. එහෙත්, එතැනින් පසුව වසර ගණනාවක් පුරා ඇය, බටහිර ලෝකයේ කාන්තා නායිකාවන් සඳහා විලාසිතා ලකුණක් බවට පත් වූයේ ඇයටම අනන්‍ය වූ ඇඳුම් ආයිත්තම්වලිනි.

ඇය අඟල් දෙකක් හෙවත් සෙන්ටිමීටර පහක අඩියක් ඇති පාවහන් පැළඳ, දණහිසට පහළින් බරැති වාටියක් සහිත සායකින් සැරසී, ඇඳුම් 'එහෙ මෙහෙ වීමෙන් ඇතිවිය හැකි අවිනීත දර්ශනවලින්' බේරී සිටීමට කටයුතු කළා ය.

ඇගේ හිස පළඳින තොප්පි කුඩා වාටියකින් යුතු සහ ඒවා වූ අතර, රැජින නිවස තුළ සිටියේ නම් මිස හිස් ආවරණයක්, තොප්පියක් හෝ කිරුළක් නො මැතිව සිටිනු දැකිය හැකි වූයේ කලාතුරකිනි. ඒවායේ වර්ණ බොහෝ විට ලෙමන්, කහ, කොරල් ආදී දීප්තිමත් පැස්ටල් වර්ණ විය.

එය ඉතා හොඳින් ඇයට ගැළපුණු අතර, ලොව බලවත් කාන්තාවන් සැරසෙන ඇඳුම් සඳහා එක්තරා ආකාරයක මඟ පෙන්වීමක් බවට ද පත්වී තිබුණි.

රැජිනගේ ප්‍රියතම වර්ණය නිල් යැයි විශ්වාස කෙරෙන අතර, ක්‍රීඩා ඉසව් සඳහා සහභාගීවන විට ඇය බොහෝ සෙයින් සැරසී සිටියේ එම වර්ණයෙනි.

රැජිනගේ අභාවයත් සමඟ ඇයගේ ඇඳුම්වලට සිදු කෙරෙනු ඇත්තේ කුමක් දැයි තවමත් තීරණය කර නැත. හිටපු වික්ටෝරියා රැජිනගේ සහ වේල්ස් කුමරිය වූ ඩයනා වැනි රජ පවුලේ ජනප්‍රිය සාමාජිකාවන්ගේ ඇඳුම් බොහෝමයක් නම් මේ වනවිට කෞතුකාගාරවල තැන්පත් කර තිබේ.

අත්බෑග්

සමහර විට ඇගේ ඇඳුම් ආයිත්තම් අතර වඩාත්ම හුරුපුරුදු අයිතමය බවට පත්ව ඇත්තේ ඇගේ අත්බෑග විය හැකි ය.

Queen Elizabeth II waits for King Hassan of Morocco in Marrakech on 27 October 1980, during her state visit to the country

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, එලිසබෙත් රැජිනගේ අත්බෑගයේ ඇත්තේ මොනවාදැයි යන්න බොහෝ දෙනෙකුට කුකුසකි

ඇය උත්සව සහ හමුවීම් සඳහා යාමේදී සෑම විටම අත් බෑගයක් රැගෙන ගිය අතර, ඇයගේ අවසන් නිල ඡායාරූපයෙහි පවා එය දකින්නට තිබේ.

ඇගේ බෑග් බ්‍රිතාන්‍ය සන්නාමය වන ලෝනර් විසින් නිර්මාණය කරන ලද ඒවා වන අතර, හමු වීම්වලදී අතිනත දීමට හැකි ලෙස දෑත් නිදහස්ව තබන ආකාරෙය් දිගු පටිවලින් යුක්ත විය. එවන් බෑග් 200ක් පමණ ඇය සතු වූ බව පැවසේ.

ලෝනර් හි හිමිකරු ජෙරල්ඩ් බෝඩ්මේට අනුව, රැජින 'ඉතාමත් චමත්කාරජනක සහ ආකර්ශනීය' කාන්තාවකි.

"අත්බෑගයක් නොමැතිව, ඇඳුම් කට්ටලය සම්පූර්ණ නොවන බවක් ඇයට හැඟෙන බව අවස්ථා ගණනාවකදී ම ඇය මා සමඟ කියා සිටියා" යි ඔහු බීබීසීයට පැවසුවේ ය.

අගේ බෑගයේ අන්තර්ගතය ගැන බොහෝ කලක සිට විවිධ මත පලවී තිබුණි. ඉරිදා දිනවල පල්ලියට යන විට සම්මාදම් ලබා දීම සඳහා එහි සෑම විටම පිළිවෙලට නමන ලද පවුම් පහේ නෝට්ටුවක් විය. ඇතැමුන්ට අනුව එහි තොල් ආලේපනයක් සහ කැඩපතක් ද තිබී ඇත.

තවත් සමහරුන් පවසන්නේ එහි ඇගේ මුණුබුරන් ඇමතීමට ජංගම දුරකථනයක් තිබෙන්නට ඇති බවයි.

Queen Elizabeth II, on her way to attend a military ceremony in the Quadrangle of Windsor Castle to mark her official birthday on 13 June 2020

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, එලිසබෙත් රැජින සෑම අවස්ථාවක් සඳහාම අත්බෑගයක් භාවිතා කරයි

රැජින තම කාර්ය මණ්ඩලයට සූක්ෂ්ම ලෙස පණිවිඩ ලබා දීමට තම බෑගය භාවිතා කළ බව පැවසේ. නිදසුනක් වශයෙන්, රාත්‍රී භෝජන සංග්‍රහයක් අතරතුරදී ඇය එය මේසය මත තැබුවේ නම්, ඒ එම උත්සවය අවසන් කිරීමට ඇය කැමත්තෙන් පසුවන බවට සිය කාර්ය මණ්ඩලයට ලබාදෙන පණිවිඩයකි.

හංසයන් සහ ඩොල්ෆින් සතුන්

කුරුල්ලන් ආරක්ෂා කිරීම සඳහා වූ රාජකීය සංගමය විසින් පනවන ලද නීතිවලට අනුව එංගලන්තයේ සහ වේල්සයේ සිටින හිමිකරුවන් නො මැති සුදු 'ගොළු' හංසයන් අයත් වන්නේ එරට රාජාණ්ඩුවට ය.

Queen Elizabeth II, accompanied by Swan Marker David Barber (red jacket), watches a swan upping census from a boat on the River Thames

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, එලිසබෙත් රැජින 2009 වසරේදී හංසයන් නගා සිටුවීමේ ක්‍රියාවලිය නරඹමින්

සෑම වසරකම, ලන්ඩනයේ තේම්ස් නදියේ වෙසෙන හංසයන් සංගණනය කෙරේ.

උත්සව සඳහා ආහාරයක් ලෙසට භාවිතා කිරීම වෙනුවෙන් හිමිකරුවන් නො මැති සියලු ම සුදු ගොළු හංසයන් රාජාණ්ඩුවට හිමි වීමේ ඉතිහාසය 12 වන සියවස දක්වා දිව යන්නකි.

"වර්තමානය වන විට හංසයන් තවදුරටත් ආහාරයට නො ගැනෙන අතර, ඒ සතුන් සංරක්ෂණ කිරීමට සහ අධ්‍යයනයට යොදා ගැනේ" යි රාජාණ්ඩුවේ හංසයන් සංගණනය කරන්නා වන මාකර් ඩේවිඩ් බාබර් පවසයි.

ඔහු, රැජින මිය යන තෙක් වසර 30 ක් ම ඇගේ හංසයන් සංගණනය කරන්නා ලෙසට කටයුතු කළේ ය.

වෙරළේ සිට සැතපුම් තුනක් හෙවත් කිලෝමීටර් 4.8km ක් ඇතුළත වෙසෙන ඩොල්ෆින් සතුන් ද අයත් වන්නේ රාජාණ්ඩුවට ය.

දෙවන එඩ්වඩ් රජු වී සිටි 1324 දක්වා ම දිවෙන මෙම අයිතියට නීතිමය පදනමක් ද තිබේ. නීතියට අනුව, "එසේම මුහුදේ හෝ රාජධානියේ වෙනත් තැනක වෙසෙන තල්මසුන් සහ ස්ටර්ජන් මත්සයන්ගේ අයිතිය රජුට හිමි ය."

මෙම ව්‍යවස්ථාව අදටත් වලංගු වන අතර, තල්මසුන් සහ ඩොල්ෆින් මසුන් සැලකෙන්නේ 'රාජකීයයන්ගේ මත්සයන්' ලෙසට ය.

ඔහුගේ මවගේ අභාවයෙන් පසු, නව චාල්ස් රජුට රටේ හංසයන් සහ ඩොල්ෆින් සත්ත්වයන් රැසක් ද හිමි වී තිබේ.

අශ්වයන්

සුනඛයන් කෙරෙහි රැජින දැක්වූ ආදරය බොහෝ ප්‍රසිද්ධ ය. සිය ජීවිත කාලය තුළ සුනඛයන් තිහකට වඩා හිමිකරගෙන සිටි රැජින, තවත් සතෙකුට ද දැඩි සේ ඇල්ම කළා ය. ඇය අශ්වයන්ට දැඩි සේ ප්‍රිය කළ අතර, ඇයට අශ්වයන් රැසක් ද සිටි බව පැවසේ.

රැජින අශ්වයන් පැදීම ඉගෙන ගත්තේ පෙගී නම් ෂෙට්ලන්ඩ් පෝනියාගෙනි. එය ඇගේ සිව්වන උපන්දිනයට ලැබුණු තෑග්ගක් වූ අතර එය ඇයට ලබා දී තිබුණේ ඇගේ සීයා වන පස්වන ජෝර්ජ් විසිනි.

Queen Elizabeth II as a child riding a horse

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, එලිසබෙත් රැජින ඉතා තරුණ වයසේ සිට අශ්වයන් පැදීම සඳහා ආශාවක් ඇති අයෙකි

පසුව, සැන්ඩ්‍රින්හැම් හි ධාවන අශ්වයන් අභිජනන මධ්‍යස්ථානයක් වූ 'රෝයල් ස්ටඩ්' හි හිමිකම ඇයට ලැබුණු අතර, එය තරග ජයග්‍රාහකයන් රැසක් බිහි කිරීමට සමත් විය.

රාජකීය ජයග්‍රාහකයින් සියයකට අධික සංඛ්‍යාවක් අධීක්‍ෂණය කළ පුහුණුකරු වූ ශ්‍රීමත් මයිකල් ස්ටවුට් පැවසුවේ, රැජින වෙනුවෙන් සේවය කිරීමට ලැබීම මහත් සතුටක් බවයි.

"ඇය සතු වූ අවබෝධය, දැනුම සහ වඩා හොඳ දේ සඳහා ඇති පිපාසය නිසා, රැජින සඳහා පුහුණු කිරීම් කිරීම පීඩනයකින් තොර කාර්යයක් විය." යි ඔහු පැවසුවේ ය.

රැජින බොහෝ විට ඇගේ අශ්වයන්ගේ නම්, පැහැදිලි පණිවිඩ ලබා දීම සඳහා භාවිතා කර තිබුණි. Duty Bound (වෘත්තීය වගවීම), Constitution (ව්‍යවස්ථාව) සහ Discretion (අභිමතාර්ථය) යනු ඇය අශ්වයන්ට ලබා දී තිබුණු එවන් නම් කිහිපයකි.

"ඇගේ අවබෝධය ගැන එක් කුඩා උදාහරණයක් නම්, රැජින තම අශ්වයන් බැලීමට යන විට කිසි විටෙකත් සුවඳ විලවුන් භාවිතා කර නො ගියා ය. මන්ද සුවඳ විලවුන්වලට ඉහළ ටෙස්ටොස්ටෙරෝන් ක්‍රියාකාරීත්වයක් තිබූ තරුණ 'කෝල්ට්' අශ්වයා ව කලබල කරවීමේ හැකියාවක් ඇති බව ඇය දැන සිටි බැවිණි " යි ක්ලෙයාර් බෝල්ඩින් පැවසුවේ ය.

ක්ලෙයාර් පමණක් නොව ඔහුගේ සීයා, පියා සහ සහෝදරයා ද රැජිනගේ අශ්වයන් පුහුණු කරවන්නන් ලෙස සේවය කර තිබේ.

අශ්ව හිමිකරුවෙකු ලෙස රැජින බ්‍රිතාන්‍ය ක්ලැසික් තරඟ පහෙන් හතරක් ම ජයග්‍රහණය කිරීමට සමත් වූවා ය.

මෝටර් රථ

නිල කටයුතු සඳහා සහභාගී වීමේදී රැජින සිය අශ්ව කරත්ත හෝ රියදුරෙකු විසින් පදවන ලද, ඇයට ම විශේෂ කොට සාදන ලද බෙන්ට්ලි මෝටර් රථය භාවිතා කළා ය.

Queen Elizabeth II seen driving her Range Rover car as she attends the second day of the Royal Windsor Horse Show in July 2021

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, එලිසබෙත් රැජින නිතරම රිය පැදවීම ගැන ඇගේ සතුට පෙන්වුවාය

නිල කටයුතු සඳහා සහභාගී වීමේදී රැජින සිය අශ්ව කරත්ත හෝ රියදුරෙකු විසින් පදවන ලද, ඇයට ම විශේෂ කොට සාදන ලද බෙන්ට්ලි මෝටර් රථය භාවිතා කළා ය.

ඇයට හැකි සෑම විටම ඇය තෝරා ගත්තේ ලෑන්ඩ් රෝවර් රථ ය.

රිය පැදවීම, ඇයට මෙන් ම ඇයගේ නැසීගිය සැමියා වන පිලිප් කුමරුට තිබූ ආශාවකි.

මේ වනවිට ඉන්දියානු සමූහ ව්‍යාපාරයක් බවට පත්ව ඇති බ්‍රිතාන්‍ය සමාගමක් වූ ටාටා ආයතනයෙන් නිෂ්පාදනය කළ ජගුවාර් සහ ලෑන්ඩ් රෝවර් මෝටර් රථවලට ඔවුන් දැඩි සේ ප්‍රිය කළ හ.

රැජින ලෙස කිරුළු පැළඳීමට පෙර, එළිසබෙත් කුමරිය දෙවන ලෝක යුධ සමයේදී ලොරි රථ රියදුරෙකු සහ කාර්මිකයෙකු ලෙස ස්වේච්ඡාවෙන් සේවය කර තිබේ.

ඇය ඇතැම් විට තම රිය පැදවීමේ කුසලතාව තම අමුත්තන් විනෝදයට පත්කිරීමට ද යොදා ගත්තා ය.

1998 සැප්තැම්බර් මාසයේදී රැජින විසින් එවකට සෞදි අරාබියේ ඔටුන්න හිමි කුමරු වූ අබ්දුල්ලා කුමරුට දිවා ආහාරය සඳහා බැල්මොරල් මාලිගය වෙත ආරාධනා කළ අතර, ඉන් අනතුරුව හෙක්ටයාර් 20,000 ක් වූ වතු යායේ සංචාරයක් සඳහා ඔහුට ඇරයුම් කෙරිණි.

හිටපු බ්‍රිතාන්‍ය රාජ්‍යතාන්ත්‍රික ෂෙරාඩ් කව්පර්-කෝල්ස් ගේ මතක සටහන් වලට අනුව, අබ්දුල්ලා කුමරු මුලින් ම මේ පිළිබඳව දෙගිඩියාවකින් සිට ඇති අතර, පසුව එම ගමනට එකඟ වී මගී අසුනේ අසුන් ගෙන තිබේ.

ඔහුව ඉමහත් පුදුමයට පත් කරමින්, රැජින රියදුරු අසුනෙහි වාඩි වූ අතර, සල්ලාපයේ යෙදෙමින් ස්කොට්ලන්ත කඳුකරය දිගේ සිය රිය පදවාගෙන ගියා ය.

අබ්දුල්ලා කුමරු බිය වී සිටි අතර, වේගය අඩු කරන ලෙස රැජිනගෙන් ඉල්ලා සිටියේ ය.

සෞදි අරාබිය විසින් කාන්තාවන්ට රිය පැදවීමට අවසර දීමට බොහෝ කලකට පෙර මෙය සිදුව තිබිණි.

බ්‍රිතාන්‍ය පුවත්පත් වාර්තා ඇස්තමේන්තු කර ඇති ආකාරයට, රැජිනගේ මෝටර් රථ එකතුවෙහි වටිනාකම ඩොලර් මිලියන දහය ඉක්මවා තිබේ.

ඇයගේ ජීවිත කාලය තුළ ඇය සතුව තිබූ ලෑන්ඩ් රෝවර් රථ සංඛ්‍යාව තිහකට අධික ය.

ඉඩම් හිමිකම්

සන්ඩේ ටයිම්ස් හි ධනවතුන්ගේ ලැයිස්තුවට අනුව, රැජිනගේ පෞද්ගලික ධනය පවුම් මිලියන 370 ක් හෙවත් ඩොලර් මිලියන 426 කි. මෙයින් වැඩි කොටස, දේපළ, ස්වර්ණාභරණ, මුද්දර සහ කලා කෘතිවලට අයත් ය.

Balmoral Castle. regularly the summer residence of the British Royal Family

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, එලිසබෙත් රැජින මිය ගිය බැල්මොරල් මාළිගය වැනි විශ්මය ජනක දේපළ - රාජකීය පවුලට පෞද්ගලිකව අයත් වේ.

අධිරාජිනියට තවත් බොහෝ රාජකීය වාසස්ථාන සහ පොදු ඉඩම් විශාල ප්‍රමාණයක් හිමි අතර, රාජකීය උරුමයෙන් ලද මෙම ඉඩම් විකිණීමේ හැකියාවක් නො මැත.

ලන්ඩනයේ රීජන්ට් වීදිය සහ බර්ක්ෂයර් හි ඇස්කොට් අශ්ව තුරඟ තරඟ පිටිය ද අයත් වන්නේ මෙම දේපළවලට ය.

නාවික සැතපුම් 12 ක් දක්වා වූ මුහුදු පත්ල රැජින සතු අතර, බොහෝ සමාගම් වෙරළාසන්නයේ සුළං බලාගාර ගොඩනඟන විට රාජාණ්ඩුවේ හිමිකමේ කොටස ගෙවීමට ඔවුන්ට සිදු වේ.

2017 සිට, ඊළඟ දශකය සඳහා රාජකීය හිමිකම දරන දේපළවලින් රැජිනට හිමිවන ලාභය 15% සිට 25% දක්වා වැඩි කර තිබේ. ඒ බකිංහැම් මාලිගය නඩත්තු කිරීම සඳහා කෙරන ගෙවීමක් ලෙසට ය.

පවුලේ උරුමය

එළිසෙබෙත් රැජිනගේ රාජකීය උරුමයන් අතර, ඇයගේ පවුලේ පෙර විසූ රාජකීය සාමාජිකයන්ගේ පුද්ගලික භාණ්ඩ ද තිබේ.

A mannequin of Britain's Queen Victoria, wearing her wedding dress, standing in front of a mannequin of Queen Elizabeth II also wearing her wedding dress

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, වික්ටෝරියා රැජින සුදු මංගල ඇඳුම් ජනප්‍රිය කළාය

වික්ටෝරියා රැජිනගේ මංගල ඇඳුම ද ඊට අයත් ය.

ප්‍රේමය සහ පාරිශුද්ධ බව සංකේතවත් කිරීම සඳහා මනාලිය අඳින සුදු ඇඳුම ජනප්‍රිය කිරීමේ ගෞරවය ද හිමි වන්නේ වික්ටෝරියා රැජිනට ය.

රාජකීය එකතුවට අටවන හෙන්රි රජුගේ සම්පූර්ණ ශරීර සන්නාහ කට්ටලය ද අයත් ය.

පාප්තුමා සමඟ එකඟ නොවී, එංගලන්ත පල්ලිය වතිකානයෙන් ස්වාධීන කර එහි ප්‍රධානියා ලෙස තමන්ව පත් කරගත්තේ අටවන හෙන්රි රජු විසින් වන අතර, ඔහුගෙන් පසුව මෙම භූමිකාව අඛණ්ඩව රජවරුන් වෙත පැවරී තිබේ.

ආභරණ

රාජකීය පවුලේ ආභරණ ගැන සිතන විට බොහෝ දෙනෙකුගේ මතකයට මුලින් ම පැමිණෙන්නේ රාජකීයයන් සතු දිළිසෙන රන් ආභරණ සහ දියමන්ති ය

Queen Elizabeth's head and shoulders with her crown on her head, viewed from behind while leaving the state opening of the UK parliament

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ලෝකයේ ඇති විශාලතම දියමන්ති කිහිපයක් කිරුළෙහි ඔබ්බවා ඇත

බ්‍රිතාන්‍යය යටත් විජිතය, මානව ඉතිහාසයේ විශාලතම අධිරාජ්‍යය වූ අතර, එයින් රාජකීය පවුලට ඉතා අනර්ඝ දියමන්ති කිහිපයක් ද හිමි කර ගැනීමට හැකි විය.

'අප්‍රිකාවේ තරුව' ලෙසින් හැඳින්වෙන කැරට් 530.2 ක දියමන්තිය, ලොව විශාලතම ඔප දමන ලද දියමන්තිය යි. එය මේ වනවිට අධිරාජ්‍යයාගේ යෂ්ටියේ කොටසකි.

සුප්‍රසිද්ධ කොහිනූර් දියමන්තිය ද 1849 දී පන්ජාබය යටත් කරගැනීමෙන් අනතුරුව බ්‍රිතාන්‍යයන් විසින් අත්පත් කර ගත්තකි.

වික්ටෝරියා රැජින විසින් මුලින් ම එය පැළඳ සිටි අතර, පසුව එය ඇලෙක්සැන්ඩ්‍රා රැජිනගේ කිරුල සැරසීමට යොදා ගැනිණි. පසුව 1937 දී පැවති රැජිනගේ මවගේ රාජාභිෂේකය සඳහා භාවිතා කරන ඔටුන්නෙහි එය රඳවනු ලැබිණි.

රාජ්‍යත්වයට හිමි ආභරණ හැරුණු විට එළිසබෙත් රැජින සතුව වටිනා මැණික් සහ ස්වර්ණාභරණ රැසක් සහිත පෞද්ගලික ආභරණ එකතුවක් ද විනි.

කෙසේ වෙතත්, රැජින බොහෝ විට ඇගේ මුතු මාල සහ මුතු කරාබු පැළඳ සිටිනු දැකිය හැකි වූ අතර, එය ඇගේ විලාසිතාවේ ම කොටසක් වී තිබුණි.

භූමදානය

එළිසබෙත් රැජින සතු වූ ඇගේ ආභරණ සියල්ල ම පාහේ ඇගේ පුත් චාල්ස් රජුට හිමිවනු ඇතැයි අපේක්ෂා කෙරේ.

නමුත් රාජකීය විශේෂඥයෙකුට අනුව, ඇයගේ ආභරණ එකතුවෙන් ආභරණ දෙකක්, ඇය සමඟ ම භූමදානය කෙරෙනු ඇත.

රනින් නිමවූ, ඇගේ වේල්ස් මංගල මුදුව සහ මුතු කරාබු යුගලයක් එලෙස ඇය සමඟ භූමදානය කෙරෙන ආභරණ වනු ඇති බවට ස්වාභාවික දියමන්ති කවුන්සිලයේ සන්නිවේදන ප්‍රධානී ලීසා ලෙවින්සන් විශ්වාස කරන්නී ය.

Queen Elizabeth II arrives at St Paul's Cathedral for a service of Thanksgiving, held in honour of her 80th birthday on 15 June 2006 in London

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, දෙවන එලිසබෙත් රැජිනගෙන් ඇගේ පුත් චාල්ස් රජුට විශාල ධනයක් හිමි වීමට නියමිතය