රැජින සහ ඇගේ "විශිෂ්ට හාස්‍ය ගුණය"

Queen laughing

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, රැජිනගේ හාස්‍යය ඇගේ චරිතයේ වැදගත් අංගයක් විය

පසුගිය වසර 70 තුළ එක්සත් රාජධානි‍යේ රැජින වූ දෙවන එලිසබෙත් රැජින අභියෝගාත්මක කාලයන් හරහා සංස්ථාපිතය මෙහෙයවූවා ය. පොදුජන ජීවිතයේ ඇගේ භූමිකාව දැඩි ලෙස සැලසුම්කර තිබූ අතර හැඟීම් මුහුණක් පෙන්වීමට ඇයට සිදුවිය. නමුත් විශේෂයෙන්ම ඇගේ පසුකාලීන ජීවිතය තුළ දී ඇගේ හාස්‍යයේ සේයාවක් අපට දැකගත හැකිවිය.

මෙම වසර මුල දී BBCය සමඟ පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවක දී, සසෙක්ස්හි ආදිපාදවරයා ඔහුගේ මිත්තණියගේ "විශිෂ්ට හාස්‍යය" ඇගේ හොඳම ගුණාංගය ලෙස දැක්වූයේ ය.

ඉතිහාසඥයකු සහ කතුවරයකු වන ශ්‍රීමත් ඇන්තනි සෙල්ඩන් පැවසුවේ ඇය තමා එතරම් බැරෑරුම්කොට නොසැලකූ බව යි: "ඇගේ පාලනයේ සාර්ථකත්වයට [එය] සැළකිය යුතු ලෙස දායකවුණා."

"දෙයක් හිනාවෙලා අමතක කරන්න පුළුවන්කම ජීවත්වෙන්න පහසුවක්," දෙවන එලිසබෙත් 96 හැවිරිදිව සිටිය දී කාලක්‍රියා කිරීමට පෙර රාජකීය ඉතිහාසඥ රොබට් ලේසි පැවසුවේ ය.

ඇයගේ හාස්‍යය පිළිබඳව අපට අදහසක් ලබාදෙන අවස්ථා සහ කතාන්දර කිහිපයක් පහත දැක්වේ.

පැඩිංටන් වලසා සමඟ ජුබිලි තේ සාදයක්

ජුනි මාසයේ ඇගේ ප්ලැටිනම් ජුබිලි උත්සවයේ කොටසක් ලෙස, රැජින පැඩිංටන් වලසා සමඟ තේ පානය කරන ආකාරය පටිගත කෙරිණි. ඒ, ඇගේ රාජ්‍යත්වයේ 70 වැනි වසර සනිටුහන් කිරීම වෙනුවෙන් BBCය මාළිගයේ දී පැවැත්වූ සාදයක ආරම්භක හාස්‍යෝත්පාදක දර්ශනයේ දී ය (පැඩිංටන් වලසා යනු ළමා කතාවක එන මනඃකල්පිත වලසෙකි).

සැමරුම් ආරම්භවීමට ආසන්නව තිබිය දී පැඩිංටන් වලසා ඇයට ඔහුගේ ප්‍රියතම අහරක් වන මාමලේඩ් සැන්ඩ්විචයක් පිරිනමයි. "මම හැමතිස්සෙම හදිසියක් වුණොත් කියලා එකක් තියාගන්නවා," වලසා ඔහුගේ සුප්‍රසිද්ධ රතු තොප්පිය යටින් සැන්ඩිවිචයක් පිටතට ගනිමින් පැවසීය.

"මාත් එහෙමයි"යි පිළිතුරු දෙන රැජින, ඇගේ ප්‍රසිද්ධ කළු අත්බෑගය විවෘතකර ඇගේම සැන්ඩ්විචයක් පිටතට ගත්තා ය.

Paddington Bear amongst flower tributes

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, රැජින වෙනුවෙන් තබා තිබූ පුෂ්පෝපහාර අතර පැඩිංටන් 'වලස් උපහාර' ද විය

ඉන්වික්ටස් ගේම්ස් 'අභියෝගය'

Prince Harry and the Queen

ඡායාරූප මූලාශ්‍රය, Kensington Palace

ඡායාරූප ශීර්ෂ වැකිය, හැරී කුමරු සහ රැජින ඔබාමා යුවල ද සමඟ, ඉන්වික්ටස් ගේම්ස් සඳහා තනන ලද විසුළු වීඩියෝවක පෙනී සිටියහ

2016 දී, ඉන්වික්ටස් ගේම්ස් ක්‍රීඩා උළෙල ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන්, රැජින තම මුණුබුරා වන හැරී කුමරු සමඟ තවත් වීඩියෝවක පෙනී සිටියා ය. මෙම වීඩියෝව 'වෛරල්' විය (ඉන්වික්ටස් ගේම්ස් යනු ආබාධිත භටයින් වෙනුවෙන් පැවැත්වෙන ක්‍රීඩා උළෙලකි).

හැරී කුමරුට ක්‍රීඩා තරගය සඳහා අභියෝග කරමින් හිටපු එක්සත් ජනපද ජනපති සහ ආර්යාව වන බැරැක් සහ මිෂෙල් ඔබාමා එවා තිබූ වීඩියෝ පණිවිඩයක් ඔවුන් දෙදෙනා නරඹන ආකාරය එහි දැක්විණි.

රැජින මෙම අභියෝගය ගණනකට හෝ නොගත්බව පෙනෙන්නට විය. "ඇත්තට? අනේ මේ..," රැජිණ පැවසුවා ය.

Prince Harry and the Queen

ඡායාරූප මූලාශ්‍රය, Kensington Palace

ඡායාරූප ශීර්ෂ වැකිය, හැරී කුමරු ද ඔහුගේම 'මයික් ඩ්‍රොප්' අනුකරණයක් ඉදිරිපත් කළේ ය

අනුකරණයට දක්ෂයි

Queen laughing

ඡායාරූප මූලාශ්‍රය, PA Media

පුද්ගලික ස්ථානයන්හි දී, අනෙකුන් අනුකරණයේත්, විවිධ උච්චාරණ ඌරූන් අනුකරණයේත් සහ කතා විලාස ඉදිරිපත් කිරීමේදීත් රැජින ඉතා දක්ෂබව, Netflixහි The Crown කතා මාලාවේ ඉතිහාසය පිළිබඳ උපදේශකයෙකු ද වන ලේසි ප්‍රකාශ කරයි.

ඇය හිටපු රුසියානු නායක බොරිස් යෙල්ට්සින් අනුකරණය සඳහා ප්‍රසිද්ධියක් උසුලන බව Wicked Wit of Queen Elizabeth IIහි කතුවරිය වන කැරන් ඩොල්බි පවසයි.

එමෙන්ම ඇය වෙනත් දේශපාලනඥයන් සහ රූපවාහිනී චරිත ද අනුකරණය කළා ය.

ලේසි රැජිනගේ හාස්‍යය විස්තර කළේ බොහෝවිට "ස්වයං-අවමානයට ලක්වන සහ යම් තරමක් දුරට තමාවම විහිළුවට ලක් කරගන්නා" අන්දමේ යමක් ලෙස යි.

රැජින සමඟ පෞද්ගලික සංවාදයක් පවත්වන අතරතුර දී ඔවුන්ගේ ජංගම දුරකථනය නාදවීම නිසා ලැජ්ජාවට පත් වූ දේශපාලනඥයෙකු ගැන ඔහු සිහිපත් කළේ ය.

ඔහු දුරකථනය ක්‍රියා විරහිත කළ පසු, "ඒ කතාකළේ එච්චර වැදගත් කෙනෙක් නෙවෙයි කියලා මම හිතනවා," රැජිණ පවසා තිබුණි.

චාරිත්‍රානුකූල කඩුවකින් කේක් කැපීම

The Queen trying to cut a cake with a ceremonial sword
ඡායාරූප ශීර්ෂ වැකිය, කෝන්වෝල්හි ඊඩන් ව්‍යාපෘතියේ උත්සවයක දී චාරිත්‍රානුකූල කඩුවකින් කේක් කැපීමට අවශ්‍යබව රැජින අවධාරණය කළා ය

රැජින තම ජීවිත කාලය තුළ බොහෝ කේක් කපා ඇති නමුත් වරක් ඇය චාරිත්‍රානුකූල කඩුවකින් ද කේක් කපන ලදී . කෝන්වෝල්හි පැවති පුණ්‍ය උත්සවයක දී රැජින මෙම අසාමාන්‍ය ක්‍රමය අත්හදා බැලුවා ය.

කේක් ගෙඩිය කැපීම සඳහා පිහියක් ඇතැ යි ස්වේච්ඡා සේවකයෙකු ඇයට මතක්කළ විට රැජින ඊට කන් නොදුන්නා ය.

"මං දන්නවා [පිහියක්] තියෙන බව," තවදුරටත් කඩුව අත දරමින් ඇය පැවසුවා ය. "මේ [ක්‍රමේ] ඊට වඩා වෙනස් වැඩක්නේ."

උපහාසාත්මක හාස්‍යය

වැසි දිනෙක බැල්මොරල් මන්දිරය අසල දී ආරක්ෂක නිලධාරියෙකු සමඟඇවිදයමින් සිටිය දී රැජිනට ඇමරිකානු සංචාරකයින් පිරිසක් හමුවූ අවස්ථාව ඩොල්බි විශේෂයෙන් සිහිපත් කරයි.

වැසි කබායකින් වෙලී සිටි රැජින හඳුනානොගත් සංචාරකයින්, ඇයට කිසිදා හෝ රැජින මුණගැසී ඇත්දැ යි ඇගෙන් විමසීය.

"නැහැ, ඒත් මෙයාට නම් හම්බවෙලා තියෙනවා," තම ආරක්ෂක නිලධාරියා පෙන්වමින් රැජින පවසා සිටියා ය.

Queen laughing

ඡායාරූප මූලාශ්‍රය, Max Mumby/Indigo

ඡායාරූප ශීර්ෂ වැකිය, රැජින අනුකරණයෙහි ඉතා දක්ෂබව කියනු ලැබේ

නෝෆෝක් හි සාප්පු සවාරියක යෙදී සිටි තවත් පුද්ගලික ගමනක දී රැජිනට වෙළඳසැල් සහායකයෙකු, "ඔයා රැජින වගේම යි"යි කීවේ ය.

"කොච්චර සැනසිල්ලක් ද," රැජින පිළිවදන් දුනි.

විවිධ අය මෙම කතා විවිධ ස්වරූපවලින් යුතුව කියන ආකාරය දකින්නට ලැබේ. නමුත් ඒ සියලු කතාන්දරයන්හි දැක්වෙන්නේ රැජිනගේ උපහාසාත්මක හාස්‍යය යි.

විකට ටෙලිකතා රසිකාවියක්

හාස්‍යය යනු, කිසිවෙකු සමඟ කතාවක් ඇරඹීමට සහ ඇය ආසන්නයේ සිටින බැවින් අමුත්තන් නොසන්සුන්ව සිටින විට ආතතිය සමනය කිරීමට ප්‍රයෝජනවත් වන ක්‍රමයකි.

ශ්‍රීමත් ඇන්තනි පවසන්නේ ඇයට "විනෝදවීමට සහ ජීවිතයේ හාස්‍යජනක පැත්ත දැකීමේ හැකියාව" තිබූ බව යි.

රැජින ටොමී කූපර් ඇතුළු බොහෝ විකට නළුවන් මුණගැසී ඇති අතර, ඩොල්බි පවසන්නේ ඔහු වරක් රැජින පාපන්දු ක්‍රීඩාවට කැමතිදැ යි විමසූ බව යි.

ඇය ඒ ගැන විශේෂ උනන්දුවක් නොදක්වන බව පිළිගත් විට ඔහු මෙසේ පිළිතුරු දුන්නේ ය: "එහෙනම්, මට ඔබේ FA කුසලාන අවසන් තරගයේ ටිකට් ටික දෙනවා ද?"

Queen and Prince Charles laughing together

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, සිනහව ආතතිසහගත තත්ත්වයන්හි දී සහනය ගෙනෙයි

The Kumars at No. 42 නමැති බ්‍රිතාන්‍ය විකට කතා මාලාව රැජිනගේ ප්‍රියතම වැඩසටහනක් බව කියැවේ.

සහනය ගෙනෙන සිනහව

රැජින සිය දිවිය පුරා ලෝක අවධානය යටතේ දිවි ගෙවූ අතර ඉහළ මට්ටමේ උත්සවවල දී නිරන්තර අවධානයට ලක්විය.

බ්‍රිතාන්‍ය මනෝවිද්‍යා සංගමයේ ඔඩ්‍රි ටැන්ග් පවසන පරිදි, එවැනි ආතති සහගත අවස්ථාවන් සඳහා සිනහව ඉතා වැදගත් ප්‍රතිචාරයකි.

සිනහ වී ආතතිය මුදාහැරි විට ගතට සුවදායි හැඟීමක් ලැබේ.

Queen joking

ඡායාරූප මූලාශ්‍රය, PHIL NOBLE

ඡායාරූප ශීර්ෂ වැකිය, "තමන්ව ඕනෙවට වඩා සීරියස් ගන්න එපා," රැජින නත්තල් පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියා ය

ඉන් "බැඳීමක් ඇතිවීම" ද සිදුවන අතර, රැජින සහ ෆිලිප් කුමරුට එක්ව සිනාසීමේ විශිෂ්ට හැකියාවක් තිබූ බව කියනු ලැබේ.

නමුත් එය ගැටළුසහගත වීමට ද හැකි ය.

උත්සවයකට පසු රහසිගතව සිනාසීම උචිත වන නමුත්, අප බොහෝදෙනාට වැරදි අවස්ථාවන්හි දී ද සිනහගොස් තිබෙනවා විය යුතු ය.

යම් අවස්ථාවක පවතින ආතතියකින් මිදීම සඳහා සිනහයාම "ඉබේ සිදුවිය හැකි" සාමාන්‍ය හැසිරීමක් බව ආචාර්ය ටැන්ග් පවසයි.

අත්සන් තැබීමේ උත්සවයක දී කැනේඩියානු අගමැති ෂෝන් ක්‍රෙටියෙන්ගේ පෑනේ තුඩ කැඩීගිය අවස්ථාවේ දී ඔහුගෙන් නොසරුප් වදනක් පිටවිය. එවිට රැජින තම සිනහව යටපත් කරගන්නට වෙර දැරූ ආකාරය ඩොල්බි විස්තර කරයි.

The Queen and the Duke

ඡායාරූප මූලාශ්‍රය, Chris Young / PA Media

ඡායාරූප ශීර්ෂ වැකිය, මී මැස්සන් රංචුවක් නිසා ඇතිවූ ව්‍යාකූලත්වය ගැන සිනාසෙන රැජින ඡායාරූප ශිල්පියෙකුගේ කැමරාවට හසුවිය

"ඇය විකාරසහගත දේවල්වලට කැමතියි. යමක් වැරදුනාම ඇය කෝපවෙනවාට වඩා විනෝද වෙන්න කැමතියි," සර් ඇන්තනි පවසයි.

2003 දී වින්ඩ්සර් මාලිගයේ පැවති හමුදා වැඩසටහනක් මී මැස්සන් රංචුවක් නිසා කඩාකප්පල් වූ විට රැජින සිනහසෙන අයුරු ඡායාරූප ශිල්පී ක්‍රිස් යංගේ කැමරාවට හසුවිය.

"ඒක මානුෂීය හැඟීම් පළවුණු මොහොතක් ලෙස මම දුටුවා," යං පැවසීය.

"ඇය පුංචි දැරිවියක් වගේ හිනාවුණා."

1991 වසරේ නත්තල් පණිවුඩය හරහා, රැජින හාස්‍යයමය ගතිගුණ තිබීම සම්බන්ධයෙන් ඇය දැරූ මතය ඉදිරිපත් කළා ය.

"තමන්ව ඕනෙවට වඩා සීරියස් ගන්න එපා," ඇය කීය.

"අපි කවුරුවත් ප්‍රඥාවේ තනි අයිතිකාරයො නෙවෙයි."

රාජකීය වාර්තාකරු ෂෝන් කෝලන් වාර්තා කරයි.