අවමංගල හසුන: දෙවැනි එළිසබෙත් මහ රැජිණ

Equanimity / Queen Elizabeth II by Chris Levine (artist), Rob Munday (holographer) © Jersey Heritage Trust 2004

ඡායාරූප මූලාශ්‍රය, Chris Levine/ Jersey Heritage Trust

දෙවෙනි එලිසබෙත් රැජිනගේ දීර්ඝ කාලීන පදවි කාලය සළකුණු කරනු ලැබුවේ රාජකාරිය පිළිබඳ තිබූ සිය බලවත් අවබෝධය මෙන්ම සිහසුන හා සිය ජනතාව වෙනුවෙන් සිය ජීවිතය කැප කිරීම සඳහා පැවති අධිෂ්ඨානය වේ.

බ්‍රිතාන්‍ය බලපෑම හීනවී යද්දී වේගයෙන් වෙනස්වන ලෝකයක, හඳුනාගැනීමට නොහැකි තරමින් වෙනස්වූ සමාජයක මෙන්ම කිරීටයේ භූමිකාව ප්‍රශ්න කිරීමට ලක්වන තත්ත්වයක් තුළ, ඇය නිතර බොහෝදෙනාගේ අවධානයට ලක්වූ තැනැත්තියක් වූවාය.

එවැනි අර්බුදකාරී වකවානු ඔස්සේ කිරීටය පවත්වා ගැනීම සඳහා ඇය සමත්වීම වඩාත් සුවිශේෂී වන්නේ ඇය උපත ලබද්දී සිහසුන කරා ඇගේ ඉරණම් ගමන වැටේ යැයි කිසිවකු නොදකින්නට ඇති බැවිනි.

1926 අප්‍රේල් 21 වෙනිදා ලන්ඩනයේ බර්ක්ලි චතුරශ්‍රයට ඔබ්බෙන් වූ නිවසකදී එලිසබෙත් ඇලෙක්සැන්ඩ්‍රා මේරි වින්ඩ්සර් නමින් ඇය උපත ලැබුවේ පස්වෙනි ජෝර්ජ් රජුගේ දෙවෙනි පුතු වූ යෝර්ක් හි ඇල්බර්ට් ආදිපාදවරයාගේ මෙන්ම ආදිපාදවරිය වූ එලිසබෙත් බෝව්ස් - ල්යෝන් ආර්යාවගේ පළමු දරුවා ලෙසිනි.

Princess Elizabeth at her christening ceremony with her parents

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, එලිසබෙත් බිලිඳිය බෞතීස්ම කරනු ලැබූ අවස්ථාවේ සිය දෙමාපියන් සමග
1px transparent line

ඇයත්, 1930 දී උපන් සිය සොයුරිය වූ මාගරට් රෝස් යන දෙදෙනාම නිවසේදීම අධ්‍යාපනය ලැබූ අතර සෙනෙහසින් පිරි පවුල් පරිසරයක වැඩුණහ. එලිසබෙත්, සිය පියාට මෙන්ම මුත්තණුවන් වූ පස්වෙනි ජෝර්ජ් රජුට අතිශය සමීප තැනැත්තියක වුවාය.

වයස අවුරුදු හයක් වෙද්දී සිය අසරු උපදේශකවරයාට ඇය කියා සිටියේ "අසුන් හා සුනඛයින් බොහෝ ප්‍රමාණයක් හිමි ගැමි කාන්තාවක්වීමට" තමන්ට අවශ්‍ය බවය.

ඉතා කුඩා අවදියේ සිටම වගකීම් පිළිබඳ සුවිශේෂ අවබෝධයක් ඈ තුළින් දකින්නට වූ බව කියැවේ. "බිළිඳෙකු තුළ ඇති පුදුම සහගත අධිකාරීත්වයක්" ඇය සතුව තිබූ බව අනාගත අගමැති වින්ස්ටන් චර්චිල් සඳහන් කළේ යැයි පැවසේ.

පාසල් නොගිය ද භාෂා කෙරෙහි එලිසබෙත්ගේ නිපුණතාව ප්‍රකට වූ අතර ව්‍යවස්ථාමය ඉතිහාසය පිළිබඳ විස්තරාත්මක හැදෑරීමක් කළාය.

ඇයට සම වයසේ දැරියන් හා සමාගමයට ඉඩ සලසා දීම් වස් 'පළමු බකිංහැම් මාලිගය' නම් බාලදක්ෂිකා කණ්ඩායම නිර්මාණය කෙරිණ.

Princess Elizabeth makes her first broadcast, accompanied by her younger sister Princess Margaret Rose 12 October 1940 in London
ඡායාරූප ශීර්ෂ වැකිය, එලිසබෙත් (දකුණේ) සහ මාගරට් කුමරියන් දෙවෙනි ලෝක යුද්ධය සමයේ ජාතිය අමතමින්
1px transparent line

ඉහළ ගිය නොසන්සුන් තත්ත්වය

The newly crowned King George VI & Queen Elizabeth with Princesses Elizabeth & Margaret

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, සිය පියාගේ "ඉතා, ඉතා අනර්ඝ" මෞලි මංගල්‍යය අවස්ථාවේ එලිසබෙත් කුමරිය සිය දෙමාපියන් සහ බාල සොයුරිය මාගරට් සමග

1936 දී පස්වෙනි ජෝර්ජ් රජුගේ වියෝවෙන් පසු ඔහුගේ වැඩිමහල් පුතු වූ ඩේවිඩ්, අටවෙනි එඩ්වර්ඩ් ලෙස සිහසුනට පත්විය.

කෙසේවෙතත්, ඔහුගේ බිරිය වූ දෙවතාවක් දික්කසාද ලත් ඇමෙරිකානු කාන්තාවක වූ වොලිස් සිම්ප්සන්ට දේශපාලනිකමය හා ආගමික වශයෙන් පිළිගැනීමක් ලැබෙන ආකාරයක් පෙනෙන්නට නොවිණි. මේ තත්ත්වය තුළ එම වසර අවසානයේදී එඩ්වර්ඩ් සිහසුන අත්හළේය.

අදිමදි කරමින් වුව ද, යෝර්ක් හි ආදිපාදවරයා හයවෙනි ජෝර්ජ් රජු ලෙස සිහසුනට පත්විණි. ඔහුගේ මෞලි මංගල්‍යය එලිසබෙත් වෙත ළඟා කරදුන්නේ ඇය වෙනුවෙන් වෙන්වී ඇති දෙය පිළිබඳ මිහිර විඳගැනීමේ අවස්ථාවය. එය "ඉතා, ඉතා අනර්ඝ" මොහොතක් වූ බව ඇය පසුව සටහන් කොට තිබේ.

යුරෝපය පුරා ඉහළ යමින් පවතින නොසන්සුන් තත්ත්වය මධ්‍යයේ අභිනව රජු, සිය රැජින එලිසබෙත් සමග එක්ව, කිරීටය කෙරෙහි ජනතා විශ්වාසය යළි පිහිටුවාලීමේ ප්‍රයත්නයක යෙදිණි. ඔවුන්ගේ වැඩිමහල් දියණිය ද ඔවුන්ගේ ඒ ප්‍රයත්නයෙන් අත්දැකීම් උකහා ගත්තාය.

1939 දී රජු සහ රැජින ඩාට්මත් හි පිහිටි රාජකීය නාවික ඇකඩමියේ කළ චාරිකාවට 13 හැවිරිදි රජ කුමරිය ද එක් වූවාය.

සිය නැගණිය හා ගිය ඇයට පරිවාර සේවය සලසනු ලැබුවේ එහි සිටි කැඩෙට් නිලධාරියෙකු වූ ඇයගේ ඥාති සොයුරා වන ග්‍රීසියේ ෆිලිප් කුමරු ය.

Princess Elizabeth marries Philip Mountbatten

ඡායාරූප මූලාශ්‍රය, PA

ඡායාරූප ශීර්ෂ වැකිය, : එලිසබෙත් කුමරිය සහ ෆිලිප් මවුන්ට්බැටන් අතර විවාහයෙන් පශ්චාත් යුද සමයේ ලන්ඩනයේ පැවති අඳුරු බව පරයා වර්ණවත් කෙරිණ
1px transparent line

දෙදෙනා මුණගැසුණු පළමු අවස්ථාව මෙය නොවුව ද ඇයට ඔහු කෙරෙහි හැඟීමක් ඇතිවූ පළමු අවස්ථාව එය විය.

නාවික හමුදාවෙන් නිවාඩු ලබා සිටි අවස්ථාවල ෆිලිප් කුමරු සිය ඥාති රාජකීයයන් මුණගැසීමට පැමිණි අතර 1944 වනවිට එවක 18 හැවිරිදි වූ එලිසබෙත් පැහැදිලිව ම ඔහු සමග පෙමින් වෙලී සිටියාය. ඇය කුමරුගේ ඡායාරූපයක් සිය කාමරයේ තබාගත් අතර දෙදෙනා අතර ලිපි හුවමාරු විණි. ලෝක යුද්ධය අවසානය කරා යනවිට සහායක බලප්‍රදේශ සේවාවට (ATS) එක්වූ ඇය ලොරි පැදවීමට මෙන්ම එම රථයක් සේවා කිරීමට ද උගත්තීය.

බකිංහැම් මාලිගය ඉදිරිපස වීදියට රොක් වූ දහස් ගණන් ජනයා යුරෝපය තුළ යුද්ධයේ නිමාව සමරද්දී ඇය බකිංහැම් මාලිගයේදී සිය පවුල සමග එක්වුවාය.

"එළියට ගිහින් අපට ම එය දැකබලාගන්න පුළුවන්දැයි අපි දෙමාපියන්ගෙන් ඇහුවා." පසු කාලයකදී ඇය සිහිපත් කළාය. "මට මතකයි, අපිව හඳුනාගනීවි යැයි අප බිය වුණා. මට මතකයි එකිනෙකාගේ අත්වැලින් බැඳුනු නොහඳුනන මිනිසුන්ගෙන් සැදුනු පේලි වයිට්හෝල් දිගේ ඇදී ගියා. සොම්නස හා සැහැල්ලුවෙන් පිරි රැල්ලක් දිගේ අප ද ඇදී ගියා."

යුද්ධයෙන් අනතුරුව, ෆිලිප් කුමරු සමග විවාහ වීමට ඇය තුළ වූ කැමැත්ත බාධක ගණනාවකට මුහුණ දුන්නේය.

තමන් බෙහෙවින්ම ඇල්මක් දක්වන දියණිය අහිමි කරගැනීමට රජු අකමැත්තක් දැක්වූ අතර සිය විදේශීය සම්භවය පිළිනොගන්නා කුටුම්භයක පූර්ව මත අභිබවා යාමට ෆිලිප් කුමරුට සිදුවිය.

පියාගේ අභාවය

එහෙත් දෙදෙනාගේ අභිමතය එසේම පැවති අතර 1947 නොවැම්බර් 20 වෙනිදා වෙස්ට්මින්ස්ටර් ඇබී දේවස්ථානයේදී ඔවුහු විවාපත් වූහ. එය, පශ්චාත් යුද සමයේ ලන්ඩනයේ පැවති අඳුරු බව පරයා වර්ණවත් කළ උත්සවයක් විණි.

එඩින්බරා හි ආදිපාදවරයා බවට පත් ෆිලිප් සේවයේ නිරත නාවික හමුදා නිලධාරියකු විය. කෙටි කලකට වුව මෝල්ටා වෙත ලද සේවා මාරුව සාපේක්ෂව ගත් කළ තරුණ යුවළට සාමාන්‍ය දිවියක් ගතකළ හැකි වූ අවස්ථාවකි.

යුවලගේ පළමු දරුවා ලෙස චාර්ල්ස් 1948 දී මෙලොව එලිය දුටු අතර ඊට පසු ඔහුට සිය සොයුරිය වන ඈන් ලැබුනේ 1950 වසරේදීය.

නමුත් රජු පිළිබඳ සලකන විට, යුද්ධය පැවති කාලය පුරාම ඔහු සැලකිය යුතු ලෙස ආතතියකින් පෙළුණු අතර සිය ජීවිතය පුරා කළ උග්‍ර දුම්පානය හේතුවෙන් පෙනහළු පිළිකාවකට ගොදුරුව සිටියේය.

1952 ජනවාරි මාසයේදී එවක 25 හැවිරිදි වූ එලිසබෙත් සහ ෆිලිප් විදේශ සංචාරයක් සඳහා පිටත්වූහ. වෛද්‍ය උපදෙස්වලට එරෙහිව යමින් රජු ගුවන්තොටුපොළ වෙත ගියේ ඔවුන් පිටව යනු දැකීමටය. එය, එලිසබෙත් සිය පියාණන් ජීවත්ව සිටියදී දුටු අවසන් අවස්ථාව විය.

කෙන්යාවේ වනගත නිකේතනයක සිටියදී සිය පියාණන්ගේ අභාවය ඇසූ එලිසබෙත් වහා ලන්ඩනය වෙත පැමිණියේ අභිනව රැජින ලෙසිනි. පසුව ඇය එම සිදුවීම සිහිපත් කරමින්, "එක් අතකින්, මට ආධුනික කාලයක් ලැබුනේ නැහැ. මගේ පියා අභාවයට පත්වුණේ ඉතා අඩු වයසෙදී. ඉතින් මට සිද්ද වුනේ හදිසියේම පැවරුන වගකීමක් භාරගෙන තමන්ට හැකි උපරිම ආකාරයෙන් ඒක ඉටුකිරීම."

The Queen at her Coronation in 1953

ඡායාරූප මූලාශ්‍රය, PA

ඡායාරූප ශීර්ෂ වැකිය, ඇයගේ මෞලි මංගල්‍යය බ්‍රිතාන්‍ය රූපවාහිනියේ පළමු සජීව විකාශය විය

1953 පැවති ඇගේ මෞලි මංගල්‍යය රූපවාහිනියෙන් විකාශනය කෙරුණේ අගමැති වින්ස්ටන් චර්චිල් ගේ විරෝධය මැද වුවත්, දෙවෙනි එලිසබෙත් රැජින රාජාභිෂේක ලබන අයුරු දැකීමට මිලියන ගණනක පිරිසක් රූපවාහිනි යන්ත්‍ර වටා එක්වූහ. ඉන් බොහොමයක් එසේ රූපවාහිනිය නැරඹුවේ පළමුවරටය.

පශ්චාත් යුද ආර්ථික අසීරුතාවලින් බ්‍රිතාන්‍යය වෙලී සිටිය ද විස්තර කථකයින් එම මෞලි මංගල්ලය දුටුවේ නව එලිසබෙත් යුගයක් ලෙසිණි.

බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ අවසානය කඩිනම් කිරීමට දෙවෙනි ලෝක යුද්ධය දායකවිය. 1953 දී අභිනව රැජින පොදුරාජ්‍ය මණ්ඩලය තුළ දීර්ඝ සංචාරයක් ආරම්භ කරන විට බ්‍රිතාන්‍යය යටතේ පැවති රටවල් ගණනාවක් නිදහස ලබා තිබිණි.

එලිසබෙත්, රාජ්‍යත්වයේ සිටියදී ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තයේ සංචාරය කළ පළමුවැන්නා වූවාය. ඕස්ට්‍රේලියානුවන්ගෙන් හතරෙන් තුනක්ම පුද්ගලිකව ඇය දැකබලා ගැනීමට පැමිණි බව ඇස්තමේන්තු කර තිබේ.

1950 දශකය පුරා ම තවත් බොහෝ රටවල් බ්‍රිතාන්‍ය ධජය පහත හෙලු අතර පෙර යටත් විජිත සහ ඩොමීනියන් රාජ්‍ය ජාතීන්ගේ ස්වේච්ඡා සමූහයක් ලෙස එක්රැස්වන්නට විය.

අලුතින් නැග එන යුරෝපා ආර්ථික ප්‍රජාවට එරෙහිව නැගී සිටීමට සහ තරමක් දුරට, බ්‍රිතාන්‍ය ප්‍රතිපත්ති මහාද්වීපයෙන් ඉවතට හැරවීමට නව පොදු රාජ්‍ය මණ්ඩලයට හැකි වෙතැයි බොහෝ දේශපාලනඥයන්ට හැඟී ගියේය.

පුද්ගලික ප්‍රහාරයක්

The Queen with Prince Phillip and President & Mrs Eisenhower in 1957

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, 1957 දී එක්සත් ජනපද සංචාරය ඇයගේ බොහෝ විදේශ සංචාරවලින් එකක් විය
1px transparent line

නමුත්, 1956 වසරේ සූවස් ගැටුම විසින්, බ්‍රිතාන්‍ය බලපෑම පහත වැටීම වේගවත් කරනු ලැබීය.

ඊජිප්තුවේ සූවස් ඇල ජනසතු කිරීමේ තර්ජනය වැලැක්වීම සඳහා බ්‍රිතාන්‍ය හමුදා යැවීමේ තීරණයේ අවසානය වූයේ, නින්දිත ආකාරයේ පසුබෑමකින් හා අගමැති ඇන්තනි ඊඩන් ඉල්ලා අස්වීමෙනි.

මෙය, රැජින දේශපාලන අර්බුදයක පැටලීය. අලුතින් නායකයෙකු තෝරා පත්කිරීමේ යාන්ත්‍රණයක් කොන්සර්වේටිව් පක්ෂයට නොවූ බැවින්, සාකච්ඡා වට ගණනාවකින් අනතුරුව, අලුතින් රජයක් පිහිටුවීම සඳහා හැරල්ඩ් මැක්මිලන් හට රැජින විසින් ඇරයුම් කරනු ලැබීය.

ඔල්ට්‍රින්චම් සාමිවරයා තමන්ට පුද්ගලිකව ම පහර එල්ල කරන බව රැජින අවබෝධ කරගත්තීය. සඟරාවකට ලිපියක් සපයමින් ඔහු පවසා තිබුණේ ඇගේ සභාව "උසස් පැලැන්තියේ" වූ අතර "ඕනෑවට වඩා බ්‍රිතාන්‍යකරණය" වී ඇති බවය. එසේම ලිඛිත සටහනකින් තොරව ඇයට සරල දේශනයක් හෝ කළ නොහැකි බව ඔහු පැවසීය.

ඔහුගේ ප්‍රකාශය මාධ්‍ය තුළ විවාදයක් ඇති කළ අතර අධිරාජ්‍ය හිතෛෂී ලීගයේ සාමාජිකයකු විසින් වීථියකදී ඔල්ට්‍රින්චම් සාමිවරයාට පහර දෙනු ලැබීය.

කෙසේවෙතත්, රාජ්‍යත්වය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය සමාජය මෙන්ම ආකල්ප ද වේගයෙන් වෙනස්වෙමින් යන අතරම අතීත නියතීන් ප්‍රශ්න කෙරෙමින් පවතින බව මේ සිදුවීමෙන් පෙන්වා දුණි.

'රාජ්‍යත්වයේ' සිට 'රාජකීය පවුල' දක්වා

Scene from Royal Family documentary
ඡායාරූප ශීර්ෂ වැකිය, Royal Family නම් වාර්තාමය චිත්‍රපටය, බාහිර පෙනුමට ඔබ්බෙන් රාජ්‍යත්වයේ අභ්‍යන්තරය ගැන පෙර නොවූ විරූ අන්දමේ වාර්තාවක් ඉදිරිපත් කළේය
1px transparent line

රාජ සභා තදබදය කෙරෙහි නොරිස්සුම් සහගත බවට පතල වූ සිය සැමියාගේ දිරිගැන්වීම මත රැජින අලුත් රටාවට අනුගතවීමට පටන් ගත්තීය.

රාජ සභාවට නවකයින් පිළිගැනීමේ සම්ප්‍රදාය අහෝසි කෙරුණු අතර ක්‍රමයෙන් "කිරීටය" යන යෙදුම වෙනුවට "රජ පවුල" යන්න ආදේශ විය.

1963 දී අගමැති හැරල්ඩ් මැක්මිලන් ධුරයෙන් ඉවත්වීමත් සමග යළිත් වරක් රැජින දේශපාලන අර්බුදයකට මැදි වූවාය. සිය නායකත්වය තෝරාගැනීම සඳහා කොන්සර්වේටිව් පක්ෂය ක්‍රමයක් සකසා නොතිබුණ බැවින් හැරල්ඩ් මැක්මිලන්ගේ උපදෙස් මත ඔහුගේ තනතුර සඳහා රැජින විසින් හෝම් අර්ල්වරයා පත්කරනු ලැබුවාය.

සිය ධුර කාලය පුරා ව්‍යවස්ථානුකූල නිවැරදිභාවය වෙනුවෙන් පෙනී සිටි රැජිනට පැවති ආණ්ඩුවෙන් කිරීටය තවදුරටත් වෙන්කෙරෙමින් පැවති ඒ සමය දුෂ්කර කාල පරිච්ඡේදයක් විණි.

තමන් දැනුවත් වීම, උපදෙස් දීම මෙන්ම අවවාද කිරීමට තමන් සතුව ඇති අයිතිය ඇය බරපතළ ලෙස සැලකුවද ඉන් ඔබ්බට යාමට අපේක්ෂා නොකළාය.

එවැනි තත්ත්වයකට ඇය යොමු කෙරුණු අවසන් අවස්ථාව එය විණි. අවසානයේදී, අලුත් නායකයින් හුදෙක්ම "මතුවීම" යන සම්ප්‍රදායෙන් බැහැරට ගිය කොන්සර්වේටිව් පක්ෂය සුදුසු ක්‍රමයක් ස්ථාපනය කළේය.

සැහැල්ලු බව

රාජකීය පවුල නිල මට්ටමින් වඩා පහළ තැනකට ආ වඩාත් ප්‍රවේශවිය හැකි ස්වභාවයක් පෙන්වීම පිණිස සාධනීය පියවර ගත යුතු බව 1960 අගභාගයේදී බකිංහම් මාලිගය තීරණය කර තිබිණි.

එහි ප්‍රථිඵලය වූයේ රාජකීය පවුල නම්වූ සුවිශේෂී වාර්තාමය චිත්‍රපටයක් සැකසීමය. වින්ඩ්සර් රාජකීය සාමාජිකයින් ඔවුන්ගේ නිවහනේදී රූගත කිරීමට බීබීසී වෙත අවකාශ සැලසිණි. රජ පවුල මිදුලේ මස් පුළුස්සා බුදින ආකාරය (barbecue), නත්තල්ගහ සැරසීම, සිය දරුවන් සැමට රිය සවාරි යාමේ ඡායාරූප වැනි සාමාන්‍ය එහෙත් මින්පෙර නොදුටු රජ පවුලේ දර්ශන එහි විය.

රිචඩ් කෝස්ටන් නිමැවූ එම චිත්‍රපටයෙන් එඩින්බ්‍රා ආදිපාදවරයා බැල්මොරල් මාලිගා භුමියේ සොසේජස් බාබකියු කිරීම වැනි දර්ශන ඇතුළත්වීමෙන් රාජකීයයන් සාමාන්‍ය පුද්ගලයින් ලෙස පෙන්වීමෙන් ඔවුන්ගේ අපුර්වත්වය විනාශ කළ බවට විචාරකයෝ පැවසූහ.

එහෙත් ඒ වකවානුවේ සැහැල්ලුබව ප්‍රකට කිරීමට මෙන්ම කිරීටය වෙත ජනතාවගේ සහයෝගය යළි නගාසිටුවීම සඳහා එම චිත්‍රපටය මනා පිටිවහලක් විය.

1977 දී රිදී ජුබිලිය සැමරුනේ වීථි පුරා පැවති සැබෑ උද්යෝගිමත් සාද මෙන්ම එක්සත් රාජධානිය පුරා පැවති උත්සව සමගිනි. කිරීටය කෙරෙහි ජනතාවගේ බැඳීම තහවුරු ගැනුණු අතර ඉන් වැඩි බර තැබුණේ රැජින කෙරෙහිය.

දෙවසරකින් අනතුරුව බ්‍රිතාන්‍යයට සිය ප්‍රථම අගමැතිවරිය ලෙස මාග්‍රට් තැචර් ලැබිණි.

රාජ්‍ය නායකත්වයේ සිටින කාන්තාව හා ආණ්ඩුවේ ප්‍රධානත්වය දරන කාන්තාව අතර සබඳතාව ඇතැම්විට අවුල්සහගත බව ප්‍රකාශ විය.

Windsor Castle, the morning after the fire

ඡායාරූප මූලාශ්‍රය, PA

ඡායාරූප ශීර්ෂ වැකිය, වින්ඩ්සර් මාලිගයේ ගින්න ද රැජිනගේ උපද්‍රව මාලාවට එක්විය
1px transparent line

එක් අසීරු කාර්යයක් වුයේ තමන් ප්‍රධානත්වය දරන පොදු රාජ්‍ය මණ්ඩලය කෙරෙහි රැජිනගේ ඇති කැපවීමය. අප්‍රිකාවේ නායකයින් එලිසබෙත් දැනසිටි අතර ඔවුන්ගේ තත්ත්වය කෙරෙහි ඇය සානුකම්පිත වුවාය.

වර්ණභේදවාදී දකුණු අප්‍රිකාවට සම්බාධක පැනවීම සම්බන්ධයෙන් අගමැතිනියගේ විරෝධය ඇතුලු අගමැතිනි තැචර් ගේ ආකල්ප මෙන්ම ඇයගේ ආවේගශීලී රටාව "ගැටලු සහිත" බව රැජින විසින් හඳුනාගනු ලැබ තිබිණැයි පැවසේ.

රැජිනගේ මහජන කාර්යයන් වසරින් වසර ඉදිරියට ඇදිණි. 1991 ගල්ෆ් යුද්ධය නිමවීමෙන් පසු ඇය ඇමෙරිකාවට ගියේ පළමු වරට ඒකාබද්ධ කොංග්‍රස් රැස්වීමක් ඇමතූ බ්‍රිතාන්‍ය කිරීටය දරන්නා වෙමිනි. ඇය "අපට මතකයේ රැඳෙන තාක් නිදහසේ මිතුරියයි" යනුවෙන් ඇමෙරිකානු ජනාධිපති ජෝර්ජ් එච් බුෂ් සඳහන් කළේය.

කෙසේවෙතත්, වසරකට පසුව මතුවූ අර්බුද හා උපද්‍රව මාලාවක් රාජකීය පවුලට බලපෑම් කරන්නට විය.

රැජිනගේ දෙවෙනි පුතුවන යෝක් හි ආදිපාදවරයා සහ ඔහුගේ බිරිඳ සාරා වෙන්වූයේ ඈන් කුමරිය හා මාර්ක් ෆිලිප් අතර විවාහය දික්කසාදයෙන් කෙළවර වෙද්දීය. අනතුරුව හෙළිවුණේ වේල්ස් කුමරු සහ කුමරිය අතිශයින්ම අසතුටුදායක තත්ත්වයක සිටින බවය. පසුව ඔවුහු වෙන්වූහ.

එම වසර සමාප්තියට පත්වුණේ රැජිනගේ ප්‍රියතම වාසස්ථානය වූ වින්ඩ්සර් මාලිගයේ ඇතිවූ විශාල ගින්නකිනි. රාජකීය මැදුර අවුල් සහගත බවක වෙලී ඇතැයි යන්නට එය සලකුණක් බඳු විය. එහි අලුත්වැඩියාවට වියදම දැරිය යුත්තේ බදු ගෙන්වන්නන් ද රැජින ද යන්න පිළිබඳ ප්‍රසිද්ධ විවාදය තත්වය සමනය වීමට උපකාරයක් නොවීය.

මහජන විවාදය මැද අභිමානය

රැජින විසින් 1992 වසර හඳුන්වාදෙනු ලැබුවේ "අභාග්‍යයේ වසර" ලෙසය. එදිරිවාදී බවින් අඩු මාධ්‍යවලට ප්‍රතිලාභ වශයෙන් වඩා විවෘත රාජ්‍යත්වයක අවශ්‍යතාව ඇය ලන්ඩන් නගරයේ කළ කතාවකදී ඒත්තු ගන්වන්නට වූ බව පෙනෙන්නට විය.

"තමන්ට ලැදි එමෙන්ම සහය දෙන අයගේ සියුම් පරීක්ෂාවට ලක් නොවියයුතු යැයි කිසිම ආයතනයක්, නගරයක්, රාජ්‍යත්වයක් හෝ කවරකුවත් අපේක්ෂා නොකළ යුතුයි. එසේ නොවන අය ගැන කතා කිරීමෙන් ඵලක් නැහැ නමුත් අප සැමදෙනාම අපගේ ජාතික සමාජය නම්වූ සළුවේම කොටස් ඒ වගේම මෘදුබව, යහපත් හාස්‍යය මෙන්ම අවබෝධයේ මිණුමකින් යුතු වේ නම් එම සියුම් පරීක්ෂාව ප්‍රතිඵලදායකයි."

රාජ්‍යත්ව ආයතනය සිය ආරක්ෂාව ගැන වැඩි බර තබා ඇත. වින්ඩ්සර් කාසල් හි අලුත්වැඩියාව වෙනුවෙන් අරමුදල් රැස් කිරීම පිණිස බකිංහැම් මාලිගය මහජනයාට විවෘත කෙරුණු අතර සිය ආයෝජන ආදායම් මත රැජින සහ වේල්ස් කුමරු බදු ගෙවන බව නිවේදනය කෙරිණි.

Queen Elizabeth II poses with British Prime Minister David Cameron and heads of government and representatives of Commonwealth nations in London on June 6, 2012

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, සිය ධුර කාලය පුරාම රැජින පොදු රාජ්‍ය මණ්ඩලය වෙනුවෙන් කැප වී සිටියාය
1px transparent line

විදේශ වශයෙන් ගත්විට, රැජිනගේ පාලන සමයේ මුල් අවදියේදී ඉතා ඉහළ මට්ටමක වූ පොදු රාජ්‍ය මණ්ඩලයේ අපේක්ෂා සපුරා නොතිබිණි. යුරෝපය තුළ ඇතිකරගත් නව වැඩපිළිවෙල සමග බ්‍රිතාන්‍යය සිය පැරණි හවුල්කරුවන් හට පසුපස හැරවීය.

පොදුරාජ්‍ය මණ්ඩලය තුළ වටිනාකමක් ඇති බව තවදුරටත් දුටු රැජින, අවසානයේදී දකුණු අප්‍රිකාව වර්ණභේදවාදය පසෙකට විසි කළ විට අතිශයින් ම සතුටු වුවාය. 1995 දී එහි චාරිකා කරමින් ඇය එය සැමරුවාය.

සිය රටේදී, කිරීටයට අනාගතයක් වේදැයි යන්න සම්බන්ධයෙන් මහජන විවාදය ඉදිරියට ඇදෙද්දී රාජ්‍යත්වයේ ගෞරවය රැකගැනීම කෙරෙහි ඇය අවධානය යොමු කළාය.

වේල්ස් කුමරිය, ඩයනාගේ මරණය

The Queen & Prince Philip view flowers laid to commemorate the death of the Princess of Wales

ඡායාරූප මූලාශ්‍රය, PA

ඡායාරූප ශීර්ෂ වැකිය, වේල්සයේ කුමරිය, ඩයනාගේ මරණයෙන් අනතුරුව රැජිනට විවේචන එල්ල විය
1px transparent line

බ්‍රිතාන්‍යය අලුත් දිශානතියකට යොමුවන්නට අරගලයක යෙදෙද්දී, ඇය බලාපොරොත්තු දල්වන චරිතයක් ලෙස පැවතීමට උනන්දු වූවාය. සංවේගී අවස්ථාවකට වුව හදිසියේ පහළ කරන මන්දස්මිතයකින් ආලෝකය ගෙනෙන්නට හැකියාව තිබිණි. සැමදේට වඩා ඉහළින් ඇය අගය කළේ ජාතියේ සංකේතය යන භූමිකාවය. කෙසේ වෙතත්, 1997 අගෝස්තු මාසයේදී ප්‍රංශයේදී මෝටර් රිය අනතුරකින් වේල්සයේ කුමරිය ඩයනා මිය යාමෙන් පසු කිරීටය සෙලවිණි. රැජින ද පෙර නොවූ ලෙස විවේචනයට ලක්වුවාය.

ලන්ඩනයේ ඇති රාජකීය මාලිගා වටා පුෂ්පෝපහාර සමගින් ජනතාව එක්රැස් වුව ද, පුළුල් ජාතික වශයෙන් වැදගත් අවස්ථාවලදී කළාක් මෙන් එවර ඊට අවධානය යොමු කිරීමට රැජින උනන්දුවක් නොදැක්වූ බව පෙනෙන්නට විය.

වේල්සයේ කුමරියගේ මරණයෙන් පසු දක්නට ලැබුන ප්‍රසිද්ධියේ හඬා වැළපීමෙන් වැළකීමේ සම්ප්‍රදායක් අනුගමනය කරන පරපුරකට ඇය අයත් වූ බව එදා ඇගේ බොහෝ විවේචකයෝ වටහා ගැනීමට අපොහොසත් වූහ.

රාජකීය පවුලේ පුද්ගලිකත්වය මැද ඩයනාගේ පුතුන් දෙදෙනාගේ සුව පහසුව සැලසීම අරමුණු කරගත් මිත්තණිය ලෙස ඇය හැඟෙන්නට වූවාය.

කෙසේ හෝ අනතුරුව සිය ලේලියට ගෞරවය පුදකරමින් සජීව විකාශනයකට එක්වූ ඇය කිරීටය අනුගතවන කැපවීමක් ද පළ කළාය.

Catherine, Duchess of Cambridge, Prince William, Duke of Cambridge, HRH Queen Elizabeth II and Prince Philip, Duke of Edinburgh on the balcony of Buckingham Palace on April 29, 2011

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, විලියම් කුමරු කැතරින් මිඩ්ල්ටන් හා අතිනත ගැනීමේ මංගල්‍යය ප්‍රීතිමත් අවස්ථාවක් විණි
1px transparent line

රැජින කිරීටයට පත්වීමේ ස්වර්ණ ජයන්තිය 2002 වසරේ සැමරෙද්දී මව් රැජින සහ සොයුරිය මාග්‍රට් මිය යාම, ඇයගේ පාලනය පිළිබඳ ජාතික වශයෙන් පැවති සැමරුම් ඡායාවකින් වැසීගියේය.

තත්ත්වය එසේ වුව ද, කිරීටයේ අනාගතය පිළිබඳ වාදය යළි මතුවෙමින් තිබියදී ජුබිලි සමරුව පැවති සන්ධ්‍යාවේ මිලියනයක ජනයා බකිංහැම් මාලිගය ඉදිරිපසට රැස්වූහ.

2006 අප්‍රේල් මාසයේ සිය 80වෙනි උපන් දිනය දා නොනිල වශයෙන් ඇවිද ගිය රැජිනට සුබ පැතීම සඳහා දහස් ගණනක පිරිසක් වින්ඩ්සර්හි වීථිවල රැස්ව සිටියහ.

ෆිලිප් කුමරු සමග රැජිනගේ විවාහ දිවියේ 60 වෙනි වසර 2007 නොවැම්බර් මාසයේදී සැමරුනේ වෙස්ට්මින්ස්ටර් ඇබී දේවස්ථානයේ දෙදහසක පමණ පිරිසකගේ සහභාගීත්වයෙන් පැවති දේව මෙහෙයක් සමගිනි.

2011 වසරේ අප්‍රේල් මාසයේදී තවත් ප්‍රීතිමත් අවස්ථාවක් රැජිනට උදාවූයේ සිය මුණුපුරාවන කේම්බ්‍රිජ් හි ආදිපාද විලියම් සහ කැතරින් මිඩ්ල්ටන්ගේ විවාහයට එක්වීමෙනි.

එම වසරේදී මැයි මාසයේ රැජින ඓතිහාසික වශයෙන් වැදගත් වන්නාවූ අවස්ථාවක් සනිටුහන් කරමින් උතුරු අයර්ලන්තයට ගියේ නිල වශයෙන් එවැනි ගමනක යෙදුණු ප්‍රථම බ්‍රිතාන්‍ය රාජ්‍යත්වය දරන්නා වෙමින් ය.

අයිරිෂ් බසින් ඇරඹු සිය කතාවේදී ඉවසීම මෙන්ම සමගි සන්ධානය ඉල්ලා සිටි ඇය කියා සිටියේ "වෙනස් විදිහට දේවල් කරන්නට තිබුණා යැයි අපට හැඟෙනවා, නැතිනම් කොහෙත්ම නොකර ඉන්නට තිබුණා" යැයි පෙන්වා දෙමිනි.

ජනමත විචාරණය

Martin McGuinness shakes hands with the Queen

ඡායාරූප මූලාශ්‍රය, PA

ඡායාරූප ශීර්ෂ වැකිය, මාටින් මැගිනස් සමග ඇය අතට අත දීම පැරණි තුවාල සුව කිරීමට උපකාර වීම ප්‍රයත්නයක් විය
1px transparent line

ඊට පසු වසරේදී වජ්‍ර ජයන්ති සැමරුමේ එක් අදියරක් ලෙස උතුරු අයර්ලන්තයට ගිය ඇය, අයිආර්ඒ සංවිධානයේ හිටපු අණදෙන නිලධාරියකු වූ මාටින් මැක්ගිනස් ට අතට අත දුන්නාය.

1979 දී අයිආර්ඒ බෝම්බ ප්‍රහාරයකින් තමන් වඩාත්ම ආදරය කළ ඥාති සහෝදරයා වූ ලුයී මවුන්ට්බැටන් සාමිවරයා අහිමිව ගිය රැජිනට එය ඉතාම සංවේදී අවස්ථාවක් විය.

වජ්‍ර ජයන්තිය වෙනුවෙන් වීථිවලට බට ලක්ෂ සංඛ්‍යාත ජනයා සති අන්තයේ ලන්ඩනයේ පැවති සමරුවෙන් එය හමාර කළහ.

ස්කොට්ලන්තයේ නිදහස සම්බන්ධයෙන් 2014 සැප්තැම්බර් මාසයේ පැවති ජනමත විචාරණය රැජිණ ට පරීක්ෂණ කාලයක් විය.

එක්සත් රාජධානියක් වෙනුවෙන් තමන්ගේ කැපවීම පැහැදිලි කරමින් 1977 දී ඇය පාර්ලිමේන්තුව හමුවේ කළ කතාව කිසිවෙකුටත් අමතකව නොතිබිණ.

"මගේ මුතුන් මිත්තන් අතර වන එංගලන්තයේ හා ස්කොට්ලන්තයේ රජුන් රැජිණන් වගේම වේල්සයේ කුමාරවරුන් ගත්තොතින් මේ අපේක්ෂාවන් ගැන ඉතා පැහැදිලිව මට තේරුම් ගන්නට පුළුවන්. නමුත් මට අමතක කරන්නට බැහැ, මම මහා බ්‍රිතාන්‍ය එක්සත් රාජධානියේ වගේම උතුරු අයර්ලන්තයේත් කිරුළු පළන් රැජිණ බව".

ස්කොට්ලන්ත ජනමත විචාරණය අබිමුව බැල්මොරල් මාලිගයේදී සුබ පතන්නන් ඇමතූ ඇය අනාගතය පිළිබඳ ජනතාව ඉතා සුපරික්ෂාවෙන් සිතා බලනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව පැවසුවාය.

ඡන්දයේ ප්‍රථිඵලය දැනගත්විට ඇය නිකුත් කළ නිවේදනය තුළින් දේශපාලනික පසුබිම වෙනස්වී ඇතැයි පිළිගෙන තිබුණද ඒකාබද්ධතාව තවදුරටත් රැඳී තිබීමෙන් තමන්ට දැනුණු අස්වැසිල්ල පැහැදිලි විය.

Camilla, Duchess of Cornwall, Prince Charles, Prince of Wales, Queen Elizabeth II, Prince George, Prince William, Duke of Cambridge, Princess Charlotte, Prince Louis, and Catherine, Duchess of Cambridge on the balcony of Buckingham Palace following the Platinum Pageant on June 5, 2022

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, මෑත වසරවල දී රැජිණ ප්‍රසිද්ධ ජීවිතයෙන් බෝහොකොටම ඉවත්ව සිටි නමුත්, 2022 වසරට යෙදුනු ඇගේ ප්ලැටිනම් ජුබිලිය සඳහා බකිංහැම් මාළිගයේ සඳලුතලයේ දී පෙනී සිටියා ය
1px transparent line

"දැන්, අප ඉදිරියට යද්දී, ප්‍රකාශයට පත්වන අදහස් සමුදාය කුමක් වුවත්, ස්කොට්ලන්තය පිළිබඳ දිගුකල් පවත්නා ආදරයක් පොදුවේ අප තුළ තිබෙනවා, එය අප සැම එක්සත්ව තබාගැනීමට උදව් දෙන කාරණයක්." යැයි ඇය පැවසුවාය.

2015 සැප්තැම්බර් 9 වෙනිදා ඇය බ්‍රිතාන්‍ය ඉතිහාසයේ දීර්ඝ කාලයක් කිරීටයේ රැඳුණු පුද්ගලයා බවට පත්වූයේ සිය මී මිත්තණිය වූ වික්ටෝරියා රැජිණ අභිබවා යමිනි.

2016 අප්‍රේල් මාසයේදී ඇය සිය 90 වෙනි උපන්දිනය සැමරුවාය.

රැජිණ කිරීටය දැරූ අවසන් සමයේ, එය ආරම්භයේ පැවතියාට වඩා සවිමත් නොවුවද, ඇයගේ අරමුණ වූයේ බ්‍රිතාන්‍ය ජනතාවගේ හදවතේ රැඳී ඇති තැන හා සෙනෙහස ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යාමය.

සිය රිදී ජුබිලිය අවස්ථාවේදී, වසර 30 ට පෙර දකුණු අප්‍රිකාවේ තමන් කළ සංචාරය අතරතුර දුන් පොරොන්දුව යළි සිහිපත් කළාය.

"මට වයස 21 දී, ජනතා සේවය වෙනුවෙන් මගේ ජීවිතය කැප කළා. මා දෙවියන්ගෙන් ඉල්ලුවේ ඒ පොරොන්දුව හොඳින් ඉටුකරන්න උදව්වෙන්න කියයි. ඒක තීන්දු ගැනීම ගැන එතරම් පළපුරුද්දක් නැති, මගේ තරුණ වියේදී දුන් පොරොන්දුවක් වුවත්, ඒ පොරොන්දුවේ එක වචනයක් ගැන හෝ මට කනගාටුවක් නෑ වගේම වචනයක්වත් මා වෙනස් කරන්නෙත් නෑ."