රටක් අහිමි කුවේට් තරුණයා; හමාඩ් සිරුරට ගිනිතබා ගත්තේ ඇයි?

kuwait

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, 1961 දී කුවේටය බ්‍රිතාන්‍යයෙන් නිදහස දිනාගැනීමත් සමඟ රටක් අහිමි කුවේට් 'බිඩූන්' ජනයාට ඉතිරිව ඇත්තේ සිහිනයක් පමණි

අපි ඔහු 'හමාඩ්'යනුවෙන් හඳුන්වමු. කුවේට්වාසියකු වන විසිහත් හැවිරිදි හමාඩ් පසුගිය අවුරුද්දේ දෙසැම්බර් මාසයේ දවසක සිය සිරුරට ගිනිතබා ගත්තේය. හමාඩ් ගේ ඛේදනීය ජීවිත ඉරණම මුළු කුවේටය සසල කිරීමට හේතුවිය.

ඛනිජතෙල් සම්පතින් පොහොසත් කුඩා ගල්ෆ් රාජ්‍යය තුළ බලාපොරොත්තු සුන්වීමෙන් කිසිවකු එවැනි ඉරණමකට පත්වීම සිදුවිය නොහැකිතරමේ පුවතකි. එහෙත් හමාඩ් එවැනි ඉරණමකට ගොදුරු වූයේ ඔහු කුවේටයේ රටක් නොමැති 'බිඩූන්' (Bidun) ජනකොටසෙහි සාමාජිකයකු වීමේ ''අවාසනාව'' හේතුවෙනි.

'බිඩූන් '(Bidun)යන අරාබි වචනයෙන් ''ජාතිකත්වයක් නැත'' යන තේරුම දෙයි. එම ''ජාතිකත්වයක්'' නොමැති ''බිඩූන්' ජනතාවට කුවේටයේ මහා සමාජයට පිවිසීමේ වරම් අහිමිය. එහි අඳුරු ප්‍රතිවිපාකය වී තිබෙන්නේ එම ජනතාවට අධ්‍යාපන,සෞඛ්‍ය පහසුකම් සහ රැකියාවක් ලබාගැනීමේ අයිතිය පවා අහිමි කිරීමය. එවැනි ජන කොටසකට අයත්වෙන හමාඩ් සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ට උරුම වී තිබෙන්නේ ''බලාපොරොත්තු රහිත''ජීවිතයකි.

''සියල්ල වැසී ගිහින්''

'කුවේට් සිටි' අගනුවරින් කිලෝමීටර් දාහතක් ඈතින් පිහිටි 'සුලෙයිබියා'( Sulaibiya) යනු අගනුවර අහස සිඹින වීදුරු මාලිගා සහ උත්තුංග සාප්පු සංකීර්ණ ඇස නොගැටෙන කලාපයකි.

ඕමාර් 'සුලෙයිබියා' වාසියෙකි. ඔහු සිය දෙමව්පියන් සහ පවුලේ සහෝදර සහෝදරියන් දහදෙනෙකු සමඟ කාමර පහක නිවසක ජීවත්වෙයි. 'බිඩූන් '(Bidun) ජනයාට අයත් වැඩිදෙනෙක් එහි නිවාස යෝජනාක්‍රමයේ නිවාසවල පැලපදියම්ව සිටිති.

තිස්තුන් හැවිරිදි ඕමාර් වැඩියෙන්ම කිට්ටු තැනැත්තා වූයේ සිය බාලම සහෝදරයා වන 'හමාඩ්' ය.

''මේ මිහිතලයේ සිටි කරුණාවන්තම තැනැත්තා හමාඩ්. ඔහු ස්වභාවයෙන් ම නිහඬ චරිතයක්, නිතරම මුහුණේ සිනාවක් තිබුණා'' ඕමාර් පවසයි.

එහෙත් මෙයින් අවුරුද්දකට පෙර පටන් තරුණ හමාඩ්ගේ හැසිරීමේ වෙනසක් දකින්නට ලැබුණි. ඔහු හුදෙකලා වන්නට පටන් ගත්තේය. සිය කාමරයට වී තනිවිය. හමාඩ් ගේ සහෝදරයන් විසින් ඔහු නිවසින් පිටතට රැගෙන යාමට ගන්නාලද ප්‍රයත්නයන් සාර්ථක නොවුණි.

සිය සහෝදරයා විඳින වේදනාව ඕමාර්ට දැනුණි.''ඔහුට අයත් සියල්ල වැසීගොස් තිබුණා''

kuwait
ඡායාරූප ශීර්ෂ වැකිය, හමාඩ් 'බිඩූන් ' ජනකොටසට අයත්වීම නිසා ඔහුට ළමාවියේදීම අධ්‍යාපන අයිතිය අහිමි විය

'අහිමිවීම' කවදා පටන්ද?

කුවේටයේ 'බිඩූන් ' ජනතාව පිළිබඳ ප්‍රශ්නය 1961 තරම් ඈත අතීතයක් සමඟ බැඳුන වෘත්තාන්තයකි. 1961 දී කුවේටය බ්‍රිතාන්‍යයෙන් නිදහස ලැබීමෙන් පසු එරට දේශසීමාව අභ්‍යන්තරයේ ජීවත්වූ ඇතැම් පවුල් පුරවැසිභාවය සඳහා ඉල්ලුම් කරනු ලැබ නැත.

කුවේටයේ පමණක් නොව සෞදි අරාබිය සහ එක්සත් අරාබි එමීරය වැනි සෙසු ගල්ෆ් රටවලද ''රටක් අහිමි'' ජනකොටස් ජීවත්වෙති. ඔවුන්ගෙන් අතිබහුතරය පැවත එන්නේ ඒ ඒ ප්‍රදේශයන්හි වාසය කළ එඬේර ගෝත්‍රවලිනි. ගල්ෆ් කලාපයේ නවීන රාජ්‍යයන් නිර්මාණය කිරීමේ දී තමන් අයත් රටවල පුරවැසිභාවය ඉල්ලා සිටීමට එම ජනකොටස් අසමත් වූහ.

ගල්ෆ් කලාපයේ වෙනත් රටවල වැසියන්ට 'රටක් අහිමිව' ඇත්තේ එම රටවල් විසින් ඔවුන්ගේ පුරවැසිභාවය අහෝසිකරන ලද හෙයිනි. උදාහරණයක් ගතහොත්, ආරක්‍ෂාවට තර්ජනයක් යයි සලකනු ලබන ප්‍රතිවිරුද්ධ මතවාදීන් රාශියකගේ පුරවැසිභාවය ඉවත් කිරීමට බහරේනය පියවර ගත්තේය.

රටක් අහිමි 'බිඩූන් ' ජනතාව කුවේට් පාලනයට ද සංකීර්ණ ගැටලුවක් වී තිබේ. කුවේට් පාලනය එම ජනතාව වර්ගකරනු ලැබ තිබෙන්නේ තමරටේ වෙසෙන ''අනවසර වැසියන්'' කොටසක් ලෙසය.

කුවේට් බලධාරීන් පවසන ආකාරයට ලක්ෂයකටත් අධික ''රටක් අහිමි'' ජනයාගෙන් 34,000ක් පමණක් එරට පුරවැසිභාවය ඉල්ලා සිටීමට සුදුසු වෙති. ඉතිරි ජනයා වෙනත් රටවලට අයත් හෝ ඔවුන්ගෙන් පැවත එන්නෝ වෙති.

kuwait

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, කුවේට් පොලිසිය 'බිඩූන් ' විරෝධතාවාදීන් පිරිසක් මර්දනය කරන ලද අවස්ථාවක්

දෛනික අරගලයක්

ප්‍රාථමික පාසලෙන් පසු උසස් අධ්‍යාපනය සඳහා ආණ්ඩුවේ උසස් පාසලකට ඇතුල්වීමට හමාඩ් නුසුදුසු වූයේ ඔහුගේ 'බිඩූන් ' ජන්මය හේතුවෙනි. සිය පුතු පෞද්ගලික පාසලකට ඇතුල්කරමින් අධ්‍යාපනයක් ලබාදීමේ වත්කමක් ඔහුගේ දෙමව්පියන් සතු නොවුණි.

හමාඩ් ගේ පියා සහ සහෝදරයන් ජීවිතය ගැටගසා ගැනීමේ අරගලයේ නිරතවෙමින් සිටියේ මෝටර්රථ මිලට ගෙන ඒවා විකුණා ගැනීම මගින් ලද අඩමාන ආර්ථිකයෙනි. මාසයකට මෝටර් රථයක් විකුණා ගතහොත් ඔවුන්ට ඊළඟ මාස හතර කිසිදු ආදායමක් නොමැති ජීවන අරගලයක නිරතවීමට සිදුවෙයි.

එය තමා බලාපොරොත්තු වෙන ජීවිතය නොවන බව හමාඩ් තේරුම් ගත්තේය.එවැනි පරිසරයක් තුළ තම සහෝදරයා යුද හමුදාවට බැඳීමට අදහස් කළ බව හමාඩ් ගේ සහෝදරයෝ පවසති.

එහෙත් හමාඩ් වැනි තරුණයන්ට සමාජයේ ඇති අවස්ථා ඉතා සීමිතය. හමාඩ් අතට හසුවෙන තමාට සිදුකළ හැකි හැමදෙයකටම අත ගසන්නට විය. මුලදී ඔහු මහපාරේ පැණි කොමඩු විකුණන්නට පටන් ගත්තේය. එහෙත් එය දිගුකලක් කරගෙන යාමට නොහැකිවිය. නගර සභාවේ නිලධාරීන් විසින් ඔහු අල්ලාගනු ලැබුණි.

හමාඩ්ගේ ඊළඟ උත්සාහය වූයේ පරෙවියන් බෝකිරීමය. ඔහුට පරෙවියකු මිලට ගැනීම සඳහා කුවේට් ඩිනාර් භාගයක් (ඩොලර් 1.65 ක් හෝ පවුම් 1.21 කට සමාන මුදලකි) වැය කිරීමට සිදුවිය. එහෙත් පාඩුපිට විකුණන්නට සිදුවූ හෙයින් හමාඩ් පරෙවි අලෙවිය ද අත්හැර දැම්මේය.

ඉන් කලකට පසු බැටළුවකු සොරකම් කරනු ලැබීමක් සම්බන්ධයෙන් වරදකරු කෙරුණු හමාඩ් මාස අටක සිර දඬුමකට යටත් කරනු ලැබුණි. එම සිරදඬුවම ගෙවා දැමීමෙන් පසු හමාඩ්ගේ තවත් සහෝදරයකු වන ජාසෙම් (Jasem) සිය මළනුවන් වෙනුවෙන් ගමන් බලපත් සකස්කොට ඔහු මොරොක්කෝවට රැගෙන ගියේය.

එම සංචාරය මගින් සිය මළනුවන් වෙනත් ජීවිතයක් දුටු බව ජාසෙම් පවසයි.

''මොරොක්කෝ ගමන නිසා මල්ලි වෙනත් ලෝකයක් දැක්කා. ජීවිතය දැක්කා. ඔහු සතුටට පත්වුණා. ඔහු මොරොක්කෝවේ සිටියේ සති තුනක කාලයක් පමණයි. ඒත් ඔහුට ඒ සති තුන අවුරුදු තුනක් වගේ වුණා. ඊළඟ අවුරුදු පහම මල්ලි කාලය ගතකළේ මොරොක්කෝ ගමන ගැන කතාකරමින්''

kuwait

ඡායාරූප මූලාශ්‍රය, AL-MAJLIS TV

ඡායාරූප ශීර්ෂ වැකිය, ''අපි ජීවත්වෙන්නේ ආශීර්වාද ලත් රටක.නමුත් අපේ රටේ ජනතාව ඔවුන් විඳින ජීවන ප්‍රශ්න සහ ඔවුන්ගේ දෛනික ජීවිතය කෙරෙහි එල්ලවී පවතින තහංචි හේතුවෙන් දිවි හානිකර ගන්නවා'' මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

සියදිවි නසාගැනීමේ රැල්ලක්

මෑත දවසක සිය මව ඇමතූ හමාඩ් තමාට අලුත් ජීවිතයක් ආරම්භ කිරීමට අවශ්‍ය බවක් පවසා ඇත. ඔහු විවාහයක් සහ ජීවිතයේ පැලපදියම්වීමේ උවමනාවක් ගැන මවත් සමඟ අදහස් හුවමාරුකර ගත්තේය. එහෙත් බාධකය වූයේ පවුලේ පිරිහුණ මුදල් තත්වයයි. ''දෙවියන්ගේ පිහිට ලැබේවි!'' කියා ආශීර්වාද කිරීම හැර සිය පුතු වෙනුවෙන් කළහැකි වෙනත් යමක් එම මව සතු නොවුණි.

තමා දිවි හානිකර ගන්නා බවක් සිය සහෝදරයා ප්‍රකාශ කළ බව ඕමාර් පවසයි. එහෙත් එක්තරා උදෑසනක් වනතෙක් ඔහු එවැන්නක් සිදුකරගනු ඇතැයි පවුලේ සාමාජිකයන් සිතා නැත. හමාඩ් සිරුරට ගිනිතබාගෙන තිබුණි.

හමාඩ් සිය සිරුරට ගිනිතබාගනු ලැබීමෙන් පසු කුවේට් පාර්ලිමේන්තු මන්ත්‍රී මර්ෂූක් අල්-කාලිෆා ( Marzouq al-Khalifah) 'බිඩූන්' ප්‍රජාව අතර සිදුවෙන සියදිවි නසාගැනීමේ රැල්ලට හේතුව පරීක්ෂාකිරීම සඳහා කමිටුවක් පත්කරන මෙන් ආණ්ඩුවෙන් ඉල්ලීමක් කළේය.

''අපි ජීවත්වෙන්නේ ආශීර්වාද ලත් රටක. නමුත් අපේ රටේ ජනතාව ඔවුන් විඳින ජීවන ප්‍රශ්න සහ ඔවුන්ගේ දෛනික ජීවිතය කෙරෙහි එල්ලවී පවතින තහංචි හේතුවෙන් දිවි හානිකර ගන්නවා'' මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

'බිඩූන්' ජනතා ක්‍රියාධරයකු වන අබ්දුල්ලා අල්- රබා (Abdullah al-Rabah) බලධාරීන්ට කියාසිටින්නේ ''සුදුසුකම් ඇතැයි හඳුනාගත් 34,00ක් පමණ වූ 'බිඩූන්' ජනයාට කුවේට් පුරවැසිභාවය දියයුතු අතර, ඉතිරිවෙන කොටසට සිවිල් අයිතිවාසිකම් ලබාදිය යුතු'' බවය. එමගින් ඔවුන්ට ඔවුන්ගේ ජීවිත ගොඩනගා ගැනීමට හැකිවනු ඇති අබ්දුල්ලා අල්-රබා පවසයි.

පරම්පරා තුනක් එකම ඉරණමක

තමා තුළ මෙන්ම තමා වැනි වෙනත් 'බිඩූන්' ජනයා තුළත් උපන් දේශය සඳහා පක්ෂපාතීභාවයක් ඇති බව තම තේරුම්ගැනීම යයි පවසන 35 හැවිරිදි අබ්දුල්ලා, එහෙත් සිය තරුණ ප්‍රජාව අතර යම්කිසි බලාපොරොත්තු සුන් වූ තත්ත්වයක් පවතින බවත් පෙන්වා දෙයි.

''දැන් ජීවත්වෙන්නේ අපේ ප්‍රශ්නවලට විසඳුමක් නොලද තුන්වෙනි පරම්පරාව. ඔවුන් කොච්චර කාලයක් බලාගෙන ඉඳීවිද? ඇත්තෙන් ම පවතින තත්ත්වය ඔවුන්ට බලපානවා''

හමාඩ් ගේ සොහොයුරු ඕමාර් ගත්විට ඔහුට අවශ්‍යකරන්නේ ''සිය සහෝදරයාගේ පාර්ශ්වය ගැනීමය''

'ඕමාර්' තමාට හැකි හැම අවස්ථාවකම කරන්නේ 'සුලෙයිබියා' ප්‍රදේශයෙන් පිටව යාමය. සිය දුක්ඛ දෝමනස්සයන් අමතක කරනුවස් ඔහු හුදෙකලාව මුහුදු වෙරළට වී කාලය ගතකරයි. ඒ අතරම ඔහු දිනපතාම තවත් ගමනක ද නිරතවෙයි. ඒ 'හමාඩ්' ප්‍රතිකාර ලබන රෝහලේ දැඩිසත්කාර ඒකකයේ කුටියේ කවුළුවෙන් එබී සිය සහෝදරයා දෙස බලා සිටීමටය.

බිඩුන්

ඡායාරූප මූලාශ්‍රය, @NAJMAH313

kuwait

ඡායාරූප මූලාශ්‍රය, @NAJMAH313

ඡායාරූප ශීර්ෂ වැකිය, කුවේටයේ 'බිඩූන් ' ජනයාගේ දුක්බර ජීවිතය මෙම පින්තූර මගින් පෙන්නුම් කෙරෙයි

කියවන්න;