සෞදි ප්‍රහාරය: ඉරාන- ඇමෙරිකානු වාග් සංග්‍රාමය උග්‍ර වෙයි

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
පසුගිය සෙනසුරාදා (සැප්තැම්බර් 15) සෞදි අරාබි ඛනිජ තෙල් මධ්‍යස්ථාන දෙකට එල්ල කෙරුණු ප්‍රහාරයේ වගකීම 'හූති' (Houthis) කැරලිකරුවන් විසින් භාරගනු ලැබ ඇතත්, එම ප්‍රහාරය එල්ල කරන ලද්දේ ඉරානය බව ඇමෙරිකා එක්සත් ජනපදය අවධාරණයෙන් කියා සිටී.
එහෙත් එම චෝදනා බැහැර කරන ඉරානය එම ප්‍රහාරයට තමන්ගේ කිසිදු සම්බන්ධයක් නැතැයි පවසයි.
නියමුවන් නොමැති යානා (ඩ්‍රෝන) යොදා ගනිමින් සෙනසුරාදා ප්‍රහාර එල්ල කෙරුණේ සෞදි අරාබියේ 'අරම්කො'(Aramco) රාජ්‍ය ඛනිජ තෙල් ව්‍යාපාරයට අයත් පිරිපහදු මධ්‍යස්ථාන දෙකක් ඉලක්ක කර ගනිමිනි.
'අරම්කො'(Aramco) රාජ්‍ය ඛනිජ තෙල් ව්‍යාපාරයට අයත් විශාලතම පිරිපහදු මධ්‍යස්ථානයට සහ කුරායිස් (Khurais) නම් ඛනිජ තෙල් නිධියට එල්ල කෙරුණ ප්‍රහාරයේ දී ඇති වූ ගිනිගැනීම් හේතුවෙන් සෞදි අරාබි ඛනිජතෙල් නිෂ්පාදනයට විශාල අලාභ හානි සිදු වූ අතර, ගින්න පාලනය කරනු ලැබීමෙන් පසු නිෂ්පාදන යළි ආරම්භ කළ බව අලුත්ම වාර්තා මගින් පැවසේ.
ඇමෙරිකා එක්සත් ජනපදය සෞදි ප්‍රහාරය සම්බන්ධයෙන් ඉරානයට චෝදනා කරන්නේ එම ප්‍රහාරයට අදාළ චන්ද්‍රිකා ඡායාරූප සහ බුද්ධි තොරතුරු උපයෝගී කර ගනිමිනි.

නම සඳහන් නොකළ ඇමෙරිකානු නිලධාරියෙක් එක්සත් ජනපද සහ ජාත්‍යන්තර මාධ්‍යයට අදහස් දක්වමින්,ප්‍රහාර එල්ල කෙරුණු දිශාව සහ එහි පරිමාව සලකන විට 'හූති' කැරලිකරුවන් ඊට සම්බන්ධ වී ඇද්ද යන්න සම්බන්ධයෙන් සැකයක් මතුවෙන බව කියා සිටියේය.
ප්‍රහාරයේ පළමු තොරතුරු;
ප්‍රහාරය එල්ල කෙරුණේ සෞදි ඛනිජ තෙල් මධ්‍යස්ථානවලින් නිරිත දිග පිහිටි 'හූති' කැරලිකරුවන් ක්‍රියාත්මක වෙන යේමනය දෙසින් නොව, බටහිර සහ වයඹ අතර දිශාවකින් බව එම ඇමෙරිකානු නිලධාරියා පවසයි.
එම නිලධාරියාට අනුව ප්‍රහාරය උතුරු ගල්ෆ් කලාපය,ඉරානය හෝ ඉරාකයෙන් එල්ල කොට ඇතැයි නිගමනය කළ හැකිවේ.
කෙසේවුවද,එම ප්‍රහාර නිසා ලෝක මට්ටමින් ඛනිජ තෙල් සැපයුම 5%න් අඩු වූ අතර මිලෙහි වේගවත් වැඩිවීමක් ද දක්නට ලැබිණි. 1991 ගල්ෆ් යුද සමයේ එක් දිනකදී වාර්තා වූ ඉහළම ඛනිජ තෙල් මිල වාර්තා කරමින් 20% දක්වා ඉහළ ගියත් පසුව එය යළි පහළ වැටිණි.

සති අන්තයේ සෞදි ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් කළ ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ (Mike Pompeo), වොෂිංටන් ප්‍රයෝග පිළිබඳව චෝදනා කිරීමට ටෙහෙරාන් පාලනය පොළඹවාලමින් කිසිදු සාක්ෂියක් ඉදිරිපත් කිරීමෙන් තොරව ඉරානයට චෝදනා කළේය.
මේ අතර ඉරිදා 'ට්විටර්' පණිවුඩයක් නිකුත් කළ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානයට කෙළින්ම ඇඟිල්ල දිගු නොකළත්, අදාළ ප්‍රහාරකයා 'ඇතිවිය හැකි යුදමය තත්ත්වයක්' ගැන දැන සිටින්නට ඇතැයි සඳහන් කර තිබිණි.
එහෙත් සිය භූමිය ප්‍රහාරය සඳහා යොදා ගෙන නැතැයි 'ටෙහෙරාන්' බලධාරීහු පවසති.
ප්‍රහාරයට වගකිව යුත්තේ කවුරුන්ද? යන්න පැහැදිලි නැති බව බ්‍රිතාන්‍ය විදේශ ලේකම් ඩොමිනික් රාබ් (Dominic Raab) පවසයි.
"කිසිදු ප්‍රකෝපකාරී ක්‍රියාවකින් තොරව සෞදි තෙල් මධ්‍යස්ථානවලට එල්ල කොට ඇති ප්‍රහාරය ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීමක්" බවද බ්‍රිතාන්‍ය විදේශ ලේකම්වරයා කියා සිටී.

ඡායාරූප මූලාශ්‍රය, Isna via reuters
ඉරාන ප්‍රතිචාරය
ඇමෙරිකානු චෝදනා සම්බන්ධයෙන් ඉරානය තවමත් ප්‍රතිචාරය පළ කර නැත.
එහෙත් ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ (Mike Pompeo) පළ කළ අදහස් සම්බන්ධයෙන් ප්‍රකාශයක් කළ ඉරානයේ විදේශ ඇමති ජාවඩ් ෂරීෆ් ( Javad Zarif) "උපරිම පීඩනයක් ඇති කිරීමට අපොහොසත් වූ විට මයික් පොම්පියෝ උපරිම රැවටීමක් දෙසට යොමුව ඇතැයි" සඳහන් කරයි.
ඉරාන විදේශ ඇමතිවරයා ට්‍රම්ප් පරිපාලනයේ ප්‍රකාශන විග්‍රහ කරන්නේ "ඉරානයේ න්‍යෂ්ටික අවි ව්‍යාපෘතිය සීමා කරනු ලැබීමට අදාළ ජාත්‍යන්තර සම්මුතියෙන් ඇමෙරිකා එක්සත් ජනපදය ඉවත් වීමෙන් අනතුරුව, වොෂිංටන් පාලනය ඉරානයට එරෙහිව පනවන ලද සම්බාධක ක්‍රියාමාර්ගයට ගැට ගැසුන උපරිම පීඩනයක් ඇති කිරීමේ වැඩ පිළිවෙලක්" හැටියටය.
යේමනය ප්‍රශ්නයට මැදිවෙන ආකාරය
ඉරානයේ සහය ලබන 'හූති' කැරලිකරුවෝ, යේමනයේ ආණ්ඩුව සහ සෞදි අරාබියේ නායකත්වයෙන් සැදුම්ලත් යුද සන්ධානයට එරෙහිව සටනක් ගෙන යමින් සිටිති.
'හූති' කැරලිකරුවන් විසින් යේමන ජනාධිපති අබ්ද්රාබ්බුහ් මන්සූර් හාඩි (Abdrabbuh Mansour Hadi) සනා (Sanaa) අගනුවරින් නෙරපා හරිනු ලැබීමත් සමඟ 2015 වසරේ පටන් මෙම යුද්ධය පවතී.
බලයෙන් පහ වූ ජනාධිපති මන්සූර් හාඩි වෙනුවෙන් සහයෝගය දෙන සෞදි අරාබිය කැරලිකරුවන්ට එරෙහි කලාපීය රටවල සන්ධානයට ද නායකත්වය සපයයි.

ඡායාරූප මූලාශ්‍රය, NASA
එම යුද සන්ධානය දිනපතාම මෙන් කැරලිකරුවන් ඉලක්ක කර ගනිමින් ගුවන් ප්‍රහාර එල්ල කරන අතර, හූති කැරලිකරුවෝ සෞදි අරාබිය තුළට මිසයිල් මගින් පහර දෙති.
"සෞදි අරාබිය ඔවුන්ගේ ආක්‍රමණශීලී ක්‍රියාමාර්ග නතර කරන තෙක් එරට ආයතන ඉලක්ක කර ගනිමින් එල්ල කරන ප්‍රහාර ව්‍යාප්ත කරන" බව 'හූති' හමුදා ප්‍රකාශකයා අල්- මසිරා (al-Masirah) මාධ්‍ය ආයතනයට කියා සිටියේය.
පසුගිය අගෝස්තු මාසයේ නියමුවන් නොමැති යානා උපයෝගී කරගනිමින් ස්වභාවික ගෑස් මධ්‍යස්ථානයකට එල්ල කෙරුණු ප්‍රහාරයක් සහ මැයි මාසයේ තවත් ඛනිජ තෙල් මධ්‍යස්ථානයකට එල්ල කෙරුණු ප්‍රහාරයක් සම්බන්ධයෙන් ද 'හූති' කැරලිකරුවන්ට චෝදනා එල්ල විය.
ඉරානය සහ සෞදි අරාබිය අතර ඇති එදිරිවාදීකම් මුල්කර ගනිමින් නිතරම මෙන් පැතිර යන වෙනත් ගැටුම්කාරී සිදුවීම් ද එම කලාපයේ දක්නට ලැබේ.
ගල්ෆ් කලාපයේ ඛනිජ තෙල් නැව් දෙකකට පසුගිය ජූලි මාසයේ ප්‍රහාර එල්ල විය.
කියවන්න;








