මැදපෙරදිග අර්බුදය: ඉරානය සහ ඇමෙරිකාව අතර මත ගැටුම වර්ධනය වෙයි

A composite image of Trump and Rouhani

ඡායාරූප මූලාශ්‍රය, AFP/EPA

මැද පෙරදිග කලාපයේ උණුසුම් තත්ත්වයක් වර්ධනය වෙද්දී ඉරානය සහ ඇමෙරිකාව අතර පැවති මතභේදාත්මක තත්ත්වය ද උග්‍ර වෙමින් පවතී.

ඉරානයට එරෙහිව අලුතින් සම්බාධක පැනවීමෙන් අනතුරුව එරට විසින් නිකුත් කරන ලද නිවේදනයකට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අප්‍රසාදයට හේතු වී ඇත.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අදාළ නිවේදනය "අඥාන සහ අපහාසාත්මක ප්‍රකාශයක්" ලෙස හඳුන්වා තිබිණි.

එවැනි ප්‍රතිචාරයක් පළ වූයේ ඇමෙරිකාව ගත් පියවර මගින් ධවල මන්දිරය "මානසික ආබාධයකින් පෙළෙන" බව තහවුරු වී ඇතැයි සඳහන් කරමින් ඉරාන ජනාධිපති හසන් රූහානි කළ ප්‍රකාශයකින් අනතුරුවය.

ඒ සමග ඩොනල්ඩ් ට්‍රම්ප් පළ කළ ට්විටර් පණිවුඩයක දැක්වුණේ, ඉරානයේ නායකයින් "යථාර්ථය අවබෝධ කරගෙන නොමැති," බව එමගින් පෙන්නුම් කරන බවකි.

ඇමෙරිකානු ජනාධිපතිවරයා පසුගිය සඳුදා ඉරානයට එරෙහි නව සම්බාධක ඉදිරිපත් කළේ, ඉරානය මෑත කාලීනව ප්‍රදර්ශනය කළ "ආක්‍රමණශීලී හැසිරීමට" ප්‍රතිචාර වශයෙන් යැයි පවසමිනි.

ඇමෙරිකානු ජනාධිපතිවරයා පසුගිය සඳුදා ඉරානයට එරෙහි නව සම්බාධක ඉදිරිපත් කළේ, ඉරානය මෑත කාලීනව ප්‍රදර්ශනය කළ "ආක්‍රමණශීලී හැසිරීමට" ප්‍රතිචාර වශයෙන් එම සම්බාධක පැනවූ බව පවසමිනි.

ඡායාරූප මූලාශ්‍රය, EPA

ඡායාරූප ශීර්ෂ වැකිය, ඇමෙරිකානු ජනාධිපතිවරයා පසුගිය සඳුදා ඉරානයට එරෙහි නව සම්බාධක ඉදිරිපත් කළේ, ඉරානය මෑත කාලීනව ප්‍රදර්ශනය කළ "ආක්‍රමණශීලී හැසිරීමට" ප්‍රතිචාර වශයෙන් බව පවසමිනි.

ඇමෙරිකාව නව සම්බාධක පැනවූයේ ඉරානයේ පුද්ගලයින් කිහිප දෙනෙකු ඉලක්ක කරමිනි. ඉන් ප්‍රධාන වූයේ, ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කොමෙයිනිය. ට්‍රම්ප් පැවසුවේ, ඔහු ඉරාන "රෙජීමයේ සතුරු ක්‍රියාවන්ට වග කිව යුතු," බවය.

ඉස්ලාම් විප්ලවීය ආරක්ෂණ බළකායට (Islamic Revolution Guards Corps) අරමුදල් සැපයීම සඳහා අයතුල්ලා අලි කොමෙයිනිහට විශාල ධන සම්භාරයකට ප්‍රවේශයක් ඇතැයි ඇමෙරිකාව චෝදනා කර තිබේ. ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පෙයෝ පවසා ඇත්තේ, ඔහු ඇමෙරිකානු ඩොලර් බිලියන 95ක පමණ ධනයකට හිමිකම් කියන අතර එම මුදල්වලින් ඉස්ලාම් විප්ලවීය නියාමක බළකායට අරමුදල් සපයන බවය.

එහෙත්, ඉරාන ජනාධිපති හසන් රූහානි ප්‍රශ්න කළේ, "යාච්ඤා ශාලාවක් සහ සාමාන්‍ය නිවසක් පමණක් හිමි" පුද්ගලයෙකුට ඇමෙරිකාව සම්බාධක පනවන්නේ මන්ද යනුවෙනි. එය "ප්‍රකෝපකාරී සහ අඳාන" ක්‍රියාවක් බව ඔහු හඳුන්වා තිබේ.

මැද පෙරදිග අළු යට ගිනි

ඕමාන් ගල්ෆ් කලාපීය මුහුදේදී ඉන්ධන ප්‍රවාහන නෞකා දෙකකට ජූනි 13 වන දා එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන් සෞදි අරාබිය සිය ප්‍රතිවාදී ඉරානයට චෝදනා කර තිබිණි.

IRANIAN TV

ඡායාරූප මූලාශ්‍රය, IRANIAN TV

සෞදි අරාබියේ ඔටුන්න හිමි කුමරු මොහමඩ් බින් සල්මාන් පැවසුවේ, කලාපය තුළ උණුසුම් තත්ත්වයක් වර්ධනය වෙමින් පවතින හෙයින් ඕනෑ ම තර්ජනයකට මුහුණ දීමට සෞදි අරාබිය පසුබට නොවන බවය.

ඕමාන් ගල්ෆ් කලාපයේදී ඉන්ධන නෞකා දෙකකට ප්‍රහාර එල්ල වූ අතර, ඊට මසකට පමණ පෙර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වෙරළ ආසන්නයේදී තවත් නෞකා 4ක් ඉලක්ක කර ප්‍රහාර එල්ල විය.

ජූනි 13 වන දා එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් ඇමෙරිකා එක්සත් ජනපදය ද ඉරානයට චෝදනා එල්ල කළ අතර ඉරානය එය ප්‍රතික්ෂේප කළේය.

ඇමෙරිකානු ඩ්‍රෝන යානයක් ඉරානය බිම හෙළයි

ඉරාන ගුවන් අවකාශය තුළදී නියමුවන් රහිත ඇමෙරිකානු ඔත්තු සේවා යානයකට පහර දී බිම හෙළූ බව ඉරානයේ රාජ්‍ය ආරක්ෂක හමුදා ශාඛාවක් වන ඉස්ලාම් විමුක්ති ආරක්ෂණ බළකාය ජූනි 20 වන දා නිවේදනය කළේය.

IRNA

ඡායාරූප මූලාශ්‍රය, IRNA

එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කළේ, ඉරානයේ හෝමොස්ගන් පළාතේ කුමෝබාරක් ප්‍රදේශය ආසන්නයේදී අදාළ යානයට ආරක්ෂක හමුදා විසින් ප්‍රහාර එල්ල කරනු ලැබූ බවය.

මෙම සිද්ධිය වාර්තා වූයේ, මැද පෙරදිග කලාපයේ පවතින උණුසුම් තත්ත්වය හමුවේ අතිරේක හමුදා භටයින් 1000ක් එම කලාපයට යවන බවට ඇමෙරිකාව නිවේදනය කිරීමෙන් දින කිහිපයකට පසුවය.

ඉරාන අවි දත්ත පද්ධතියට සයිබර් ප්‍රහාරයක්

EPA

ඡායාරූප මූලාශ්‍රය, EPA

ඩ්‍රෝන යානය බිම හෙළීමෙන් පසු ඉරානය වෙත ගුවන් ප්‍රහාර එල්ල කිරීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනුමැතිය ලබා දී පසුව එම තීන්දුව වෙනස් කෙරුණ ද ඇමෙරිකාව විසින් ඉරාන අවි පද්ධතියට සයිබර් ප්‍රහාරයක් එල්ල කරනු ලැබීය.

එම සයිබර් ප්‍රහාරය මගින් ඉරානයේ රොකට් සහ මිසයිල පාලනය කරන පරිගණක පද්ධති අක්‍රිය කර ඇති බව 'වොෂිංටන් පෝස්ට්' පුවත්පත වාර්තා කළේය.

ඉරානය සහ ඇමෙරිකාව අතර පැවති උණුසුම් තත්ත්වය තවදුරටත් වර්ධනය වූයේ, තමන් සතු අඩු බලැති යුරේනියම් ප්‍රමාණය ලබන සතිය වන විට 2015දී ඇති කර ගත් ජාත්‍යන්තර එකඟතා සීමාව ඉක්මවා යනු ඇති බවට සඳුදා ඉරානය කළ නිවේදනයත් සමගය.

ඇමෙරිකාව තමන්ට එරෙහි ආර්ථික සම්බාධක තවදුරටත් දැඩි කිරීමට ප්‍රතිචාර වශයෙන් ඉරානය යුරේනියම් නිෂ්පාදනය ඉහළ දැමීය.

තවදුරටත් කියවන්න.