එල් එලිකොයිදේ: වෙනිසුවෙලා හි කුප්‍රකට හිර කඳවුරක් වූ ජාතික සංකේතයක්

ඡායාරූප මූලාශ්‍රය, ARCHIVO FOTOGRAFÍA URBANA / PROYECTO HELICOIDE
වෙනිසුවෙලාවේ කරකාස් අගනුවර මැද පැතිරුණු පැල්පත්වලට ඉහළින් නැගුනු ගොඩනැගිල්ල පෙනෙන්නේ අභ්‍යවකාශ යුගයේ අසාමාන්‍ය ඉදිකිරීමක් ලෙසයි.
එල් එලිකොයිදේ, වරෙක ධනවත් හා අපේක්ෂා සහගත ජාතියක සංකේතයක් වුණා.
අද, වෙනිසුවෙලා හි වඩාත් කුප්‍රකට සිර කඳවුරක් බවට පත්ව ඇති එය ලතින් ඇමෙරිකාවේ ජවසම්පන්න රටක් අර්බුදකාරී කලාපයක් දක්වා පල්ලම් බැස ඇති ආකාරය පෙන්නුම් කරනවා.
'ක්ෂණික නවීකරණය'
තෙල් ආදායම හරහා ලැබුණු අති විශාල මුදල් සම්භාරයත් සමග වෙනිසුවේලාව දැවැන්ත සිහින දුටු කාලයක එනම් 1950 ගණන්වලදී එල් එලිකොයිදේ ඉදිකෙරුණා.
දෙවෙනි ලෝක යුද්ධයෙන් පසුව ඇතිවූ වර්ධනය උපරිමයෙන් පවතිද්දී ආඥාදායක මාර්කෝස් පෙරේස් ජිමෙනෙස් ගේ අවශ්‍යතාව වුයේ ඉදිරිය දකින ජාතියක ප්‍රතිරූපයක් ප්‍රක්ෂේපනය කිරීමයි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
"ක්ෂණික නවීකරණය පිළිබඳ මේ අදහසට සැබෑ ආයෝජන තිබුණා" යැයි "Downward Spiral: El Helicoide's Descent from Mall to Prison" කෘතියේ සම කර්තෘ සහ එක්සත් රාජධානියේ එසෙක්ස් විශ්ව විද්‍යාලයේ ලතින් ඇමෙරිකානු අධ්‍යයන පිළිබඳ අධ්‍යක්ෂ ආචාර්ය ලීසා බ්ලැක්මෝර් කියනවා.
"වෙනිසුවෙලා, 1948 ඉඳලා ම හමුදා ආඥාදායකත්වය සහිත කාල වකවානුවකට පිවිසුණු රටක් වගේම ඔවුන්ගේ තේමාව වුණේ 'අප ගොඩ නැගුවොත් අප දිනාවි' යන්නයි.
එල් එලිකොයිදේ, තම රථයේ හිඳගෙන ම සාප්පු සවාරියේ යෙදෙන්නට හැකි ලොව පළමු සාප්පු සංකීර්ණය වෙන්නට තිබුණා. සැලසුම වුණේ දඟරාකාරයට ගොඩනැගිල්ලේ ඉහළට තැනුණු පථය ඔස්සේ සාප්පු සංකීර්ණයේ 300ක් වූ සැලසුම්ගත කුටිවලට ළඟාවීමයි. දැවැන්ත වූ ඒ ගොඩනැගිල්ල කරකාස් අගනුවර ඕනෑම තැනකට දැකගන්න පුළුවන් වුණා.
"මේක ඇත්තෙන්ම සංකේතයක් වැනි වූ ගොඩනැගිල්ලක්. මේ වගේ දෙයක් ලතින් ඇමෙරිකාවේ තිබුණේ නැහැ." ආචාර්ය බ්ලැක්මෝර් කියනවා.
ඒහෙත්, 1958 දී පෙරේස් ජිමෙනෙස් බලයෙන් පහකිරීමත් එක්කම මේ අපේක්ෂා සහගත ව්‍යාපෘතිය සුදු අලියෙක් බවට පත්වුණා.

ඡායාරූප මූලාශ්‍රය, ARCHIVO FOTOGRAFÍA URBANA / PROYECTO HELICOIDE
බය හිතෙන තැනක්
අවුරුදු ගණනාවක් ම හිස්ව තිබුණු එල් එලිකොයිදේ වෙතට සමහර රජයේ ආයතන මාරු කරන්නට 1980 ගණන්වලදීය පටන් ගත්තා. ඒ අතරින් වඩාත්ම වැදගත් වුනේ දැන් SEBIN නමින් හඳුන්වන රජයේ බුද්ධි සේවයයි.
එතැන් පටන් බිය ගෙනෙන තැනක් බවට පත් වූ එතැන රැදවුයේ සාමාන්‍ය අපරාධකාරයින් වගේම දේශපාලන හිරකාරයින්.
එල් එලිකොයිදේ ජීවිතය ගැන නියම චිත්‍රය ගොඩනගන්නට එහි සිරකර සිටි පුද්ගලයින්ට, නීති කටයුතුවල යෙදුනු අයට, රාජ්‍ය නොවන සංවිධානවලට වගේම හිටපු හිරකඳවුරු නියාමකයින් දෙදෙනෙකුටත් බීබීසී කතා කළා.
ඒ හැම කෙනෙකුම අපෙන් ඉල්ලා සිටියේ ආණ්ඩුවේ හිරිහැරවලට ලක්විය හැකි නිසා ඔවුන්ගේ නම් හෙළි නොකරන්න කියායි.
රොස්මිට් මැන්ටිලා එල් එලිකොයිදේ වෙත ආවේ 2014 මැයි මාසයේදී. ඔහු රට පුරා පැවති අති විශාල ආණ්ඩු විරෝධී ව්රෝධතාවලදී අත්අඩංගුවට ගත් 3,000 ට වැඩි පිරිසෙන් කෙනෙක්.
අවුරුදු 32ක් වූ ඔහු ඒ වනවිට නම ගිය දේශපාලන ක්‍රියාකාරිකයෙකු වගේම සමරිසි අයිතීන් ගැන හඬ නගන්නෙක්.
සිරගතව සිටි අවදියේදී රටේ පළමු සමරිසි කොංග්‍රස් සභිකයා වශයෙන්ද ඔහුට වෙනිසුවෙලා හි ජාතික සභාවට තේරී පත්වන්නට ඉඩ ලැබූණා.

ඡායාරූප මූලාශ්‍රය, Reuters
ආර්ථික හා දේශපාලනික අර්බුදය
ඉහළ යන උද්ධමනය, ආහාර හා බෙහෙත් හිඟය වගේම පොදු සේවා කඩාවැටීමට ආසන්නවීම යන කරුණු අතරේ වෙනිසුවෙලාවේ ගතකරන ජීවිතය වඩා දුෂ්කර වෙන්නට පටන්ගත්තා.
එල් එලිකොයිදේ වෙත හැමදාම හිරකරුවන් ගෙනාවේ බස් පුරවලා.
ශිෂ්‍යයන්, දේශපාලන ක්‍රියාකාරීන් පමණක් ම නොවෙයි, සමහරවිට දරුවන්ද ඇතුළුව මිනිසුන් එතැනට ගෙන ආවේ වැරදි වෙලාවක වැරදි තැන සිටිම නිසයි.
විරෝධතාවලට මුල්‍යමය වශයෙන් ආධාර කළා යැයි මැන්ටිලාට එල්ලවුණු චෝදනා ඔහු ප්‍රතෙක්ෂේප කළා.
මැනුවෙල්, මැන්ටිලාව හොඳින් මතකයේ ඇති හිටපු සිර කඳවුරු ආරක්ෂකයෙක්.
"එතැන නොසිටිය යුතු වූ රැදවියන්ගෙන් කෙනෙක් එයා." මැනුවෙල් තමන්ගේ මතකය අවදි කළා.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
'මිනිස්සු තුළ බය ඇති කරන්න'
"ගොඩක් දෙනා අත්අඩංගුවට ගන්න එකෙන් ඉලක්ක කෙරුණේ මිනිස්සුන්ව බිය ගැන්වීමයි" හිටපු නිලධාරියා බීබීසී සමග පැවසුවා.
"මම හිතන්නේ යම් විදිහකින් ඔවුන් එය කළා. මොකද, මේ කාලයේ උද්ඝෝෂණ හෝ පෙළපාලිවලට එක්වෙන්න බොහෝ වෙනිසුවෙලානුවන් බයයි. මොකද අත්අඩංගුවට පත්වෙන්න එයාලට අවශ්‍ය නොවූ නිසා."
නඩු විභාගයකට මුහුණ දෙන්න සිරකරුවන්ට දින, සති, මාස ගණන් එල් හෙලිකොයිඩේ හි රැදී සිටින්නට සිදු වුණා.
"SEBIN කියන ආයතනය බුද්ධි තොරතුරු රැස්කිරීමේ මෙහෙයුමක් පැවරුණු තැනක්. නමුත් කාලෙකදී ඒ භූමිකාවෙන් එය ඈත් වුණා. එහි කාර්යය වෙලා තිබෙන්නේ ආණ්ඩුවක් රැකීමයි, ආඥාදායකත්වයක් රැකීමයි." යනුවෙන් මැනුවෙල් පවසනවා.
භායනක හීනයක් වැනි වූ අවුරුදු දෙකහමාරක කාලය තුළ හැමවිටම තමන් බියෙන් සිටි බව මැන්ටිලා පවසනවා.
නමුත් දිනපතා එල් හෙලිකොයිඩේ හිදී සිදුවූ වධදීම් හා කෘරකම් සටහන් කොට තැබීමට තමන්ව පොළඹවන බවක් දැනුණේ යැයි ද ඔහු පවසනවා.

'ගුවන්තනාමෝ'
2014 දී තමන් එල් එලිකොයිදේ වෙත එනවිට එහි රැදවියන් 50 දෙනෙකු සිටියත් අවුරුදු දෙකකට පසුව එම ප්‍රමාණය 300ක් වූ බව ඔහු මතකයට නැගුවා.
රැඳවියන්ගේ සංඛ්‍යාව ඉහළ නගිනවිට වැඩි ඉඩ කඩ සොයාගැනීමට යම් වෙනස්කම් කිරීමට ආරක්ෂකයින්ට සිදුවුණා.
කාර්යාල, වැසිකිළි, තරප්පු පේළි වගේම සුවිශේෂ වෙළෙඳකුටි සඳහා වෙන් කෙරුණු ඉඩ ආවරණය කර සිර මැදිරි බවට පරිවර්තනය කෙරුණා.
රැඳවියන් ඒවාට විවිධ නම් යෙදුවා. මාළු ටැංකිය, පුංචි කොටියා, පුංචි අපාය වගේ නම්.
ඒ හැමෙකකට ම වඩා නරකම තැන වුණේ ගුවන්තනාමෝ.
"ඒක පරණ සාක්ෂි ගබඩා කාමරයක්" එහෙම කීවේ එල් එලිකොයිදේ හි හිටපු තවත් සිරකඳවුරු ආරක්ෂකයෙක්. "මීටර 12 X 12 ක් වූ එම ස්ථානයේ සිරකරුවන් 50 ක් විතර රඳවලා තිබුණා"
එය ඉතා උණුසුම්, සිරවූ, වාතය අඩු තැනක්.
"එළියක් නැහැ, වතුර නැහැ, වැසිකිළියක් නැහැ, සනීපාරක්ෂක පහසුම් හෝ ඇඳන්වත් නැහැ" යැයි කී මැන්ටිලා "බිත්තිවල ලේ පැල්ලම් තිබුණා ඒ වගේම ඉතාම අපවිත්‍රයි."
ස්නානය කිරීමකින් තොරව සති ගණන් එහි ගතකරන්නට සිරකරුවන්ට සිදුවන බව ඔහු බීබීසී සමග පැවසුවා. මුත්‍රා කරන්නට සිදුවුනේ ප්ලාස්ටික් බෝතලවලට. මළපහ කළේ 'පුංචි නැව්' යන නමින් ඔවුන් හැඳින්වුණු ප්ලාස්ටික් බෑග්වලට.

ක්‍රමවත් වධදීම්
නමුත් එල් එලිකොයිදේවලදී බිය මුසුවූ එකම දේ වැරදි සහගත ලෙස සැළකීම පමණක් ම නොවෙයි.
බීබීසී සමග තමන්ගේ අත්දැකීම් කතා කළ හිටපු සිරකරුවන් හා ආරක්ෂකයින් සියලුම දෙනා, පාපොච්චාරණ ලබාගැනීම සඳහා සේබින් (SEBIN) විසින් ක්‍රමානුකුලව වධදීම් යොදාගැනීම ගැන පැහැදිලි කළා.
බීබීසී සමග කතා කළ හිටපු රැඳවියෙකු වන කාලෝස්, "ඔවුන් බෑග් එකකින් මගේ ඔලුව වැහුවා. ඉතාම නරක විදිහට මට පැහැර දුන්නා. පා පහර දුන්නා. මගේ ඔලුවටත්, වෘෂණවලටත්, බඩටත් විදුලි සැර වැද්දුවා." යනුවෙන් පැවසුවා.
"මට විශාල නින්දා සහගත බවක්, අසරණ බවක්, ලැජ්ජාවක් වගේම කේන්තියක් දැනුණා" ඔහු පැවසුවා.
තවත් රැඳවියෙක් වන ලුයිස් පැවසුවේ, "මගේ ඔලුව වැහුවත් එක සේබින් නිලධාරියෙක් කී දේ ඇහුණා: තුවක්කුවක් අරගන්න. අපි උඹව මරන්න යන්නේ."
"ඔවුන් හිනා වුණා.:"එක උණ්ඩයක් තියෙනවා. බලමු උඹ වාසනාවන්තද කියලා" පිස්තොලේ මගේ ඔලුවට තදවෙනවා දැනුණා. කොකා ගස්සනවත් ඇහුණා. ඒක වාර කිහිපයක්ම වුණා."
තමන් සිරකරුවන්ගේ කතා එක්රැස් කිරීමට පටන්ගත් බව කී මැන්ටිලා එක ම ආකාරයේ කෘර ක්‍රම නැවත නැවතත් යොදා ගැනීම ගැන තොරතුරු ලද බව කීවා.
"මිනිස් අපද්‍රව්‍යවලින් පිරුණු බෑගයකින් ඔලුව වසාගන්නට එක් විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙකුට බල කෙරුණා. එතුළ ඔලුව දමා සිටියදීම ඔහුට හුස්ම ගන්නට සිදුවුණා." යැයි ඔහු බීබීසී සමග පැවසුවා.
"මොට උපකරණවලින් සමහර පුද්ගලයින්ව අපහරණය කළ බවත්, සමහර දෙනාට විදුලි සැර දුන් බවත්, ඒ වගේම සිහි නැතිවෙනකල් දින ගණනක් සමහර දෙනාගේ දෑස් බැඳ තැබූ බවත් මට අහන්නට ලැබුණා."

මානව හිමිකම් කඩකිරීම
කිසිදිනෙකවත් තමන් වධදීම්වල යෙදුණේ නැති බව බීබීසී සමග කතා කළ හිටපු ආරක්ෂකයින් දෙදෙනා කීවත් තමන් එවැනි දේ සිදුවනවා දුටු බව පැවසුවා.
"මිනිස්සුන්ට පහර දෙනවා මම දැක්කා. බැඳ තබන හැටිත්, කකුල් යන්තම් පොළොවේ ගෑවෙන තරමට, තරප්පු පෙළවල අත්වල මැණික් කටුවලින් එල්ලා තැබූ හැටිත් දැක්කා" යැයි වික්ටර් කියා සිටියා.
"රැඳවියන්ගේ සමට යා කෙරුණු වයර දෙකකින් ඔවුන්ව සම්බන්ධ කෙරෙන ආකාරයේ බැටරි චාජරයක් විදුලි සැර වැද්දීමට යොදාගෙන තිබුණා" මැනුවෙල් පැවසුවා.
"(වධදීම) ක්‍රමානුකූල දෙයක් වුණා" කී ඔහු "ඒක සාමාන්‍ය දෙයක් වගෙයි පෙනුණේ" යැයි සඳහන් කළා.
මෙයින් බොහොමයක් සිදුවීම් ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන විසින් වාර්තාගත කර තිබෙනවා. ඒ වගේම විරෝධතාවලදී සිදුවූ අපරාධ හා මානව හිමිකම් කඩවීම් ගැන 2018 පෙබරවාරි මාසයේදී ජාත්‍යන්තර අපරාධ අධිකරණය මූලික විමර්ශනයක් ඇරඹුවා.
වෙනිසුවෙලාව පැවසුවේ විමර්ශනවලට තමන් සහය දෙන බවයි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
මැරෙන්න ඉඩ හැරලා
එල් එලිකොයිදේ හි අවුරුදු දෙකහමාරක කාලයක් ගත කිරීමෙන් පසු බරපතල ලෙස රෝගාතුර වූ මැන්ටිලා ශල්‍යකර්මය සඳහා සායනයකට මාරු කිරීමට 2016 ඔක්තෝබර් මාසයේදී බන්ධනාගාර බලධාරීන් පියවර ගත්තා.
ඒ සඳහා වූ පියවරට විනිසුරුවරයෙකුගේ අනුමැතිය ලැබුනත් අවසාන මොහොතේදී සේබින් (SEBIN) ඊට මැදිහත් වුණා. වේදනාවෙන් සිටි මැන්ටිලාව සායනයෙන් ඇදගෙන ගොස් බලහත්කාරයෙන් එල් එලිකොයිදේ වෙත ගෙනවිත් හුදෙකලා සිරමැදිරියකට ඇද දැමුවා.
"ඒක හරියට මාරාන්තික රෝගයක් තියෙද්දී කාමරයක හිරකරලා උඹව නිදහස් කරන්නේ නැහැ කියනවා වගේ. ඔවුන් මට මරණ දඬුවම දුන්නා වගෙයි".
මැන්ටිලා සායනයෙන් පිටතට ගෙනවිත් සේබින් රියකට තල්ලු කරන අතරේ ඔහු කෑගසන අයුරු දැක්වෙන වීඩියෝ දර්ශන අන්තර්ජාලයට මුදාහැරීමෙන් පසු රට තුළ වගේම ඉන් පිටත් විරෝධයක් මතුවීමට එය හේතුවුණා. ඔහු නිදහස් කරගැනීම සඳහා ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානවල මූලිකත්වයෙන් ඉල්ලීම් නැගුණා.
දින දහයකට පසුව, එල්ලවූ පීඩනයට නැමුණු බලධාරීන් මුලින්ම කළේ මැන්ටිලාව හමුදා රෝහලකට මාරු කිරීමයි. ඉන් පසුව සායනයකට මාරු කර එහිදී ඔහුට අවශ්‍යව තිබූ ශල්‍යකර්මය ඉටු කළා.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
2016 නොවැම්බර් මාසයේදී නිල වශයෙන් නිදහස් කෙරුණු මැන්ටෙලා ඉන් දින කිහිපයකට පසුව කොංග්‍රස් සභිකයෙකු ලෙස දිවුරුම් දුන්නා. ඉන් අනතුරුව ඔහු කළේ, එල් එලිකොයිදේ හිදී තමන් දුටු හා අත්දුටු දේ ගැන සාක්ෂිදීම ඇරඹීමයි.
"මනුෂ්‍යත්වයට එරෙහි අපරාධවලට කල් ඉකුත්වන දවසක් නැහැ (සීමා පිළිබඳ නීතියක්)" ඔහු පවසනවා.
පිටුවහල් බව
නමුත් නිදහස ලැබීමෙන් පසුව මැන්ටිලාට කෙදිනකවත් සුරක්ෂිත බවක් දැනුණේ නැහැ. 2017 ජූලි මාසයේදී වෙනිසුවෙලාවෙන් පිටවී ප්‍රංශයට ආ ඔහුට 2018 මැයි මාසයේදී එහි දේශපාලන රැකවරණ ලැබුණා.
සිය අලුත් නවාතැනේ ඉන්නා අතරේදී වෙනිසුවෙලාහි සිදුවීම් ඉතා සමීපව නිරීක්ෂණය කරන ඔහුගේ බලාපොරොත්තුව යම් දිනෙක නැවත එහි යාමයි. එල් එලිකොයිදේ හි ගෙවුණු කාලය ඔහුගේ ජීවිතයට ඉතා දිගු සෙවනැල්ලක් හෙළා තිබෙනවා.
"මම හිටපු පුද්ගලයා ම වුණේ නැහැ (පසු කාලයේදී)... ඒක ඉතා සංකීර්ණයි. මොකද කීවොත්, අවුරුදු දෙකහමාරක් ම එල් එලිකොයිදේ මගේ නිවහන වෙලා තිබුණා. මට අතහැරගන්නට ඕනෑ වුනත්, මගේ අභ්‍යන්තරයෙන් බොහොමයක් තවමත් රැදී තිබෙන්නේ එතැනයි."
මැනුවෙල් හා වික්ටර් යන දෙදෙනා ද වෙනිසුවෙලාවෙන් පිටව විදේශයේ ජීවත් වෙනවා.

මේ තොරතුරු ද දැනගන්න:
2018 මැයි මාසයේදී එල් එලිකොයිදේ හි සිරකරුවන් එහි තත්ත්වය සම්බන්ධයෙන් උද්ඝෝෂණය කළා. රැඳවියන් ගණනාවක් නිදහස් කෙරුණු අතර එහි තත්ත්වය නගා සිටුවීමට පොරොන්දු දුන්නා.
නමුත් එහි සිටියවුන්ගෙන් කියැවුණු දේ අනුව පෙනෙන්නට වූයේ එල් එලිකොයිදේහි තත්ත්වය වැඩි දියුණු කිරීමට සැලකිය යුතු තරමේ දෙයක් නොවූ බවයි.
නැවත නැවතත් වෙනිසුවෙලා බලධාරීන් සම්බන්ධ කරගත් බීබීසී, එල් එලිකොයිදේ පිළිබඳ චෝදනා ඔවුන් හමුවේ තැබුවා.
කරකාස් අගනුවර පිහිටි සන්නිවේදන අමාත්‍යංශයේ නිලධාරීන් වගේම එක්සත් රාජධානියේ සිටින වෙනිසුවෙලා ආණ්ඩුවේ නියෝජිතයින් සම්බන්ධ කරගැනීමට යළි යළිත් ගත් උත්සාහය හමුවේ එම ඉල්ලීම්වලට බීබීසී වෙත ප්‍රතිචාරයක් ලැබුනේ නැහැ.
(බීබීසී ප්‍රවෘත්ති හි කැරනිනා වෙලන්ඩියා සහ චාලී නිව්ලන්ඩ් සැකසූ වාර්තාවකි)










