ඇමෙරිකාව: ගුවන් යානයක් තුළ ලිංගික අතවර කළ ඉන්දීය තරුණයෙක්ට වසර 9 ක සිර දඬුවමක්

මගී ගුවන් යානයක් තුළදී කාන්තාවකට ලිංගික අතවර කළ ඉන්දීය වැසියෙකුට ඇමෙරිකානු අධිකරණයක් විසින් වසර 9 ක සිර දඬුවම් නියම කරනු ලැබ තිබේ.

34 හැවිරිදි ප්‍රභූ රාමමූර්ති (Prabhu Ramamoorthy) නමැති ඔහු, අදාළ ගුවන් යානයේ සිය බිරිඳ සහ අතවරයට ලක්වූ කාන්තාව අතර අසුන් ගෙන තිබේ.

එම අවස්ථාවේ තමන්ට නින්ද ගොස් සිටි බව පවසන අතවරයට ලක්වූ කාන්තාව, අවදි වී බලන විට තමා ඇඳ සිටි හැට්ටයේ සහ දිග කලිසමෙහි බොත්තම් ගලවා තිබූ අතර ඔහුගේ අත සිය ශරීරය මත තිබූ බව ප්‍රකාශ කළාය.

දඬුවම් විඳීමෙන් අනතුරුව ප්‍රභූ රාමමූර්ති ඉන්දියාවට පිටුවහල් කරන බව ඇමෙරිකාවේ ඩිට්‍රොයිට්හි පිහිටි ෆෙඩරල් අධිකරණය පැවසීය.

පැමිණිල්ලේ නීතිඥයින් ඉල්ලා සිටියේ, වරදකරුට වසර 11 ක සිර දඬුවම් ලබා දෙන ලෙසටය. කෙසේ වෙතත්, දිස්ත්‍රික් විනිසුරුවරයාගේ තීන්දුව වී ඇත්තේ, "මෙම ඉතා දරුණු වරදට" වසර 9 ක සිර දඬුවම් ලබා දීම ප්‍රමාණවත් වන බවය.

සබැඳි පුවත්:

ලිංගික අපයෝජන චෝදනා

රාමමූර්තිට එරෙහි චෝදනා ඉදිරිපත් කළ අවස්ථාවේ ඔහු පැවසුවේ, තමන් ද නිදා සිටි හෙයින් අදාළ චෝදනා පිළිගත නොහැකි බවය.

පසුව ඔහු රඳවාගෙන ප්‍රශ්න කිරීමට මිචිගන් ෆෙඩරල් අධිකරණය අවසර දී තිබිණි.

නීතිඥයින් වොෂිංටන් පෝස්ට් පුවත්පතට පවසා තිබුණේ, සැකකරුට එරෙහිව බරපතළ ලිංගික අපයෝජන චෝදනා ඉදිරිපත් කළ බවය.

ස්පිරිට් ගුවන් සමාගමට (Spirit Airlines) අයත් අදාළ යානය ගොඩ බැස්වීමට මඳ වේලාවකට පෙර තමන්ට වූ අපයෝජනය සම්බන්ධයෙන් අදාළ කාන්තාව පැමිණිලි කර තිබිණි.

මේ ගැනත් කියවන්න:

මේ අතර, රාමමූර්තිගේ බිරිඳ චෝදනා කර ඇත්තේ, අදාළ කාන්තාව සිය සැමියාගේ දණහිස මත හිස තබාගෙන නිදා සිටි බවය.

එම කාන්තාව වෙනත් ස්ථානයක අසුන් ගන්වන ලෙස ඔවුන් කාර්ය මණ්ඩලයෙන් ඉල්ලීමක් කළ බව ද ඇය පැවසීය.

එහෙත්, ගුවන් යානයේ කාර්ය මණ්ඩල සාමාජිකයින් අධිකරණය හමුවේ පවසා ඇත්තේ, තමන්ට වෙනත් අසුනක් දෙන ලෙස ඉල්ලා සිටියේ අතවරයට ලක්වූ කාන්තාව බවය.

අතවරයට ලක්වූ කාන්තාව තමන් වෙත හඬමින් පැමිණ, ඇයගේ ඇඳුම්වල බොත්තම් ගලවා ඇතැයි කාර්ය මණ්ඩල සාමාජිකයෝ පැවසූහ. පසුව ඇයට ගුවන් යානයේ පසුපස වෙනත් ආසනයක් ලබා දීමට පියවර ගත් බව ද ඔවුන් සඳහන් කළහ.