ඉන්දියාවේ සොරු: 'සොරාගත් රාජකීය රන් කෑම පෙට්ටියෙන් ම කති'

A picture of the five-tier gold lunchbox

ඡායාරූප මූලාශ්‍රය, Police: Hyderabad

ඡායාරූප ශීර්ෂ වැකිය, සොරා ගත් කෞතුක භාණ්ඩ

ඉන්දීය රාජකීය පවුලකට අයත්ව තිබූ රනින් නිමවා දියමන්ති එබ්බවූ දිවා කෑම පෙට්ටියක් සොරාගත් සොරුන්, එයින් ම කෑම කා ඇති බව ඉන්දීය පොලිසිය පවසයි. එම කෑම පෙට්ටිය සමග රතු මැණික් හා රත්‍රන් අඩංගු වූ තේ කෝප්පයක්, පීරිසියක් හා තේ හැන්දක් පසුගිය සතියේ සොරාගෙන ගොස් තිබිණි.

මීට සම්බන්ධ වූ පුද්ගලයින් දෙදෙනෙකු ඉන්දියාවේ හයිද්‍රාබාද් නගරයේදී අත්අඩංගුවට ගැනිණි.

ඩොලර් මිලියන 7 ක් ලෙස වටිනාකම දැක්වුණු එම භාණ්ඩ හයිද්‍රාබාද් හි අවසන් නිසාම් (රජු) වූ මීර් ඔස්මාන් අලි ඛාන් ට අයත් ය. ඔහු වරෙක ලොව ධනවත් ම පුද්ගලයා ලෙස සැලකිණි.

මීර් ඔස්මාන් අලි ඛාන්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, මීර් ඔස්මාන් අලි ඛාන්

එම භාණ්ඩ සොරාගත් පුද්ගලයින් ගැනුම්කරුවකු සොයා ගැනීමේ අරමුණින් මුම්බායි නගරයට පළාගොස් තිබූ අතර, දින කිහිපයක් තරු පහේ හෝටලයක "සැප පහසු ජීවිතයක්" ගත කර ඇති බව පොලිසිය පවසයි.

කෙසේවෙතත්, පොලිසිය විසින් ඉතා පුළුල් මෙහෙයුමක් යොදා සොයන ලද එම පුද්ගලයින් දෙදෙනා, ගැනුම්කරුවකු සොයාගත නොහැකිව යළි හයිද්‍රාබාද් වෙත පැමිණි පසු අත්අඩංගුවට පත්විය.

නිසාම් මාලිගයේ වූ සීසීටීවී කැමරා 32 ක ම එම දෙදෙනා විසින් අක්‍රිය කරනු ලැබ තිබීම හේතුවෙන් මුලදී සොරුන් හඳුනාගැනීම පොලිසියට අපහසු විය.

කෙසේවෙතත්, යතුරුපැදියක එම දෙදෙනා සිටින අයුරු මාලිගය අසල ඇති කැමරාවක සටහන් වී තිබිණි. දින කීපයකට පසු යතුරුපැදිය සොයාගත් බැවින් සැකකරුවන් හඳුනාගැනීමට එය සහයක් වූ බව පොලිසිය පවසයි.

යළි සොයාගන්නා ලද භාණ්ඩ නිසාම් කෞතුකාගාරයට භාර කෙරෙනු ඇත. 2000 වසරේදී මහජනයාට විවෘත වූ එම කෞතුකාගාරය තුළ මීර් ඔස්මාන් අලි ඛාන් හට තෑගි ලෙස ලැබුණු වටිනා භාණ්ඩ රැසක් වේ.

The lunchbox

ඛාන් විසින් පාලනය කරන ලද්දේ එවක ඉන්දියාවේ විශාලතම රාජ්‍යය ලෙස සැලකුනු හයිද්‍රාබාද් වන අතර 1967 වසරේදී ඔහු මියගියේය.

ඔහු සතුවූ වටිනා භාණ්ඩ අතර ප්‍රමාණයෙන් බිත්තරයක් තරම් වූ ලෝ ප්‍රකට ජෙකොබ් දියමන්තිය හා තවත් බොහෝ වටිනා ස්වර්ණාභරණ ද වේ.

සබැඳි පුවත්: