සොරකම් කළ ශිව ප්‍රතිමා යළි ඉන්දියාවට

ඡායාරූප මූලාශ්‍රය, govt of india
අනවසරයෙන් ඔස්ට්‍රේලියාවට ගෙන ගොස් තිබුණ ඓතිහාසික වටිනාකමක් සහිත ඉන්දියානු ප්‍රතිමා දෙකක් අද සිකුරාදා යළි ඉන්දියාවට භාර දී ඇත.
දින දෙකක නිල සංචාරයක් ආරම්භ කරමින් ඉන්දියාවට පැමිණ සිටින ඕස්ට්‍රේලියානු අගමැති ටෝනි ඇබට් එම ප්‍රතිමා දෙක සිකුරාදා දිල්ලි නගරයේ දී අගමැති නරේන්ද්‍ර මෝදිට භාර දෙන ලද බවයි නිවේදනය කෙරුණේ.
එම ප්‍රතිමා හින්දු දේව ත්‍රිත්වයෙහි එක අංගයක් වන ශිව දෙවියන් නිරූපණය කරනු ලබන ඒවා වෙති.
බ්‍රහ්ම විෂ්ණු සහ ශිව හින්දු දේව ත්‍රිත්වයයි.
ඔස්ට්‍රේලියාව ඉන්දියාවට භාර දෙන එක ප්‍රතිමාවක් තඹ වලින් නිමවා ඇති අතර දෙවැන්න පාෂාණමය නිමැවුමක් බවයි පැවසෙන්නේ.
නටරාජා
රංගනයේ යෙදෙන ඉරියව්වෙන් නිමවුන ‘නටරාජා’ ලෙස නම් කෙරුණ ශිව දේව ප්‍රතිමා දෙක රටින් පිට කරනු ලැබීම කෞතුක භාණ්ඩ මංකොල්ලයක් හැටියට ඉන්දියාව චෝදනා කිරීමෙන් අනතුරුව ඕස්ට්‍රේලියානු කලාගාරවල ඒවා ප්‍රදර්ශනය මේ වසරේ මුල පටන් නතර කරවනු ලැබයි තිබුණේ.

ඡායාරූප මූලාශ්‍රය, govt of india
ඔස්ට්‍රේලියානු ජාතික කලාගාරය ඉන්දියාවේ ‘චෝල’ යුගයට අයත් එම ප්‍රතිමා දෙකෙන් එකක් ඩොලර් ලක්ෂ තිහකට මිල දී ගනු ලැබ තිබුණේ නිව්යෝර්ක් වෙළෙන්දෙකුගෙනි.
සුභාෂ් කපූර් නම් එම වෙළෙන්දාට එරෙහිව කෞතුක භාණ්ඩ සොරකම් කිරීමේ චෝදනා යටතේ ඉන්දියාව තුළ නඩු පවරනු ලැබ ඇත.
ශිව පාර්වතී
‘ආර්ධානාරීශ්වර’ නම් දෙවැනි ප්‍රතිමාව මිල දී ගෙන තිබුනේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ කලාගාරය විසිනි.
එම දෙවැනි ප්‍රතිමාවට එකී නාමය දී තිබෙන්නේ එය ශිව සහ පාර්වතීගේ අර්ධ සිරුරු පිළිබිඹු කෙරෙන විලාසයෙන් නිම කරනු ලැබ ඇති හෙයිනි.
ඉහත කී ශිව ප්‍රතිමා යළි ඉන්දියාවට භාර දෙනු ලැබීම සම්බන්ධයෙන් බීබීසී ‘තමිලෝෂයි’ වැඩ සටහනට ප්‍රකාශයක් කළ ඉන්දීය පුරා විද්‍යාඥ ආචාර්ය ටී.සත්‍යමූර්ති කියා සිටියේ එය ඉතාම සුවිශේෂී අවස්තාවක් වන බවයි.
යටත් පිරිසෙයින් මෙයින් වසර දහසකට පෙර එම ප්‍රතිමා දෙක තමිල්නාඩුවේ දී නිමවන ලද ඒවා වන බවත් පුරා විද්‍යාඥ ආචාර්ය ටී.සත්‍යමූර්තිගේ මතයයි.








