කටුවක් නොමැති ඉපැරණි කැස්බෑ පොසිලයක් චීනයෙන් හමුවේ

ඡායාරූප මූලාශ්‍රය, NATIONAL MUSEUMS SCOTLAND
අතීතයේදී කැස්බෑවන්ගේ පිටේ කටුවක් නොතිබූ බවට විද්‍යාඥයන්ට සාක්ෂි හමුවී තිබේ.
මෙය මෙතෙක් හමුවූ වඩාත් අංග සම්පූර්ණ කැස්බෑ පොසිලය වන අතර, එය වසර මිලියන 228ක් පැරණිය. එය යුගල ඇඳක ප්‍රමාණයට වඩා විශාලය.
චීනයේ Guizhou පළාතේ තිබී මෙය සොයාගෙන ඇත.
ස්කොට්ලන්ත ජාතික කෞතුකාගාරයේ ස්වභාවික විද්‍යා අංශයේ භාරකරු ආචාර්ය නිකොලස් ෆ්‍රේසර් පැවසුවේ, "එම පොසිලය කැස්බෑවෙක් වගේ පෙනෙනවා. නමුත් කැස්බෑවෙකුගේ කටුවක උඩ සහ යට තිබිය යුතු කිසිම අංගයක් එහි දකින්න තිබුණේ නැහැ" යනුවෙනි.
"කටුව පිහිටන්න අවශ්‍ය කොටස් පෙනෙන්න තිබුණත්, කටුවක් තිබිලා නැහැ"
"ඔවුන්ගේ ශරීරයේ ඉදිරිපස සුවිශේෂී හොටක් පිහිටා තිබෙනවා"
මෙම ඉපැරණි උරගයා 'Eorhynchochelys sinensis' ලෙස නම් කර ඇති අතර, එහි තේරුම වන්නේ "චීනයෙන් එළිදරව් වූ හොටක් සහිත කැස්බෑවා" යන්නය.

ඡායාරූප මූලාශ්‍රය, IVPP
කැස්බෑවන්ට කටුව වැදගත් වන්නේ ඇයි?
කටුවෙන් කැස්බෑවාට ආරක්ෂාව සපයන අතර, ඔවුන්ට දිය යට වැඩි කාලයක් ජීවත් වීමට උපකාරී වේ.
මෙයට හේතුව වන්නේ, කටුව තුළ පොටෑසියම් සහ මැග්නීසියම් ගබඩා වී තිබීම නිසා ලැක්ටික් අම්ලය සෑදීම වැළකීමයි.
අස්ථි 50 කට ආසන්න ප්‍රමාණයකින්, කටු, උරහිස් අස්ථි සහ කොඳු ඇට පෙළක් එකට එකතු වීමෙන් තැනෙන ශක්තිමත් ස්ථරයකින් මෙම කටුව නිර්මාණය වී තිබේ.
"කැස්බෑවන් හරි පුදුම සත්තු ජාතියක්. ඔවුන්ට අත පය සියල්ල ඇතුළට දමා ගත හැකි ජැකට්ටුවක් වැනි කටුවක් තිබෙනවා" යැයි ආචාර්ය නිකොලස් ෆ්‍රේසර් පැවසීය.
"ඔබේ උරහිස් ඇටසැකිල්ල ඇතුලට ඔබා ගන්න පුළුවන් කියා සිතා බැලුවොත්, ඔබ යමෙක සිර වී ඇති ලෙස හැඟෙයි"
"කැස්බෑවන් අසාමාන්‍ය සත්තු ජාතියක්. හැබැයි ඔවුන් වසර මිලියන 200කට එහා කාලයක සිට පැවත එනවා"

ඡායාරූප මූලාශ්‍රය, YU CHEN, IVPP
කැස්බෑවන්ට ඔවුන්ගේ කටුව ලැබුණේ කෙසේද?
කටුව පරිණාමය වූ ආකාරය ගැන වසර ගණනාවක් තිස්සේ විද්‍යාඥයන්ට බොහෝ ප්‍රශ්න පැන නැගී තිබිණි.
මින් පෙර හමුවූ පොසිලවල වාර්තාවලට අනුව මුල් යුගයේ ජීවත් වූ කැස්බෑවන්ගේ කටුව සම්පූර්ණයෙන්ම පිහිටා තිබුණි.
නවතම සොයාගැනීමට පෙර සොයා ගත් කැස්බෑ ශරීරයේ යටි කොටසේ සම්පූර්ණයෙන් වැඩුන කටුවක් (මෙම කොටස 'ප්ලස්ට්‍රොන් (plastron)' නමින් හඳුන්වයි) දකින්නට ලැබුණ අතර, ඔහු නම් කර තිබුණේ Odontochelys ලෙසය. නමුත් එම කැස්බෑවගේ ශරීරයේ උඩ කොටසේ කටුවකින් සෑදුන ආවරණයක් (මෙම කොටස හඳුන්වන්නේ 'කැරපේස් (carapace)' යන නමිනි) දක්නට නොලැබිණි.
කැස්බෑ කටුව පරිණාමය වූ ආකාරය පිළිබඳ සොයා ගැනීමට ඉතා ආසන්න බව පරීක්ෂකයෝ පවසති.
"ළඟදීම හමුවූ කටුවක් නොමැති සතාගේ මේ දේ අපිට පෙනෙනවා. කටුවක් නිර්මාණය වීමට අවශ්‍ය ලෙස ඔහුගේ ශරීරයේ කටු විහිදෙන්න පටන් ගෙන තිබුණා" යැයි ආචාර්ය නිකොලස් ෆ්‍රේසර් පැහැදිලි කළේය.
"මීළඟට සොයාගන්නා පොසිලයෙන් අනාවරණය වන්නේ කුමක්ද කියා අපි බලා සිටිනවා"
මෙම සොයාගැනීම් පිළිබඳ විස්තර 'නේචර් (Nature)' සඟරාවේ පළ කර ඇත.
(බීබීසී විද්‍යා වාර්තාකාරිනී ලෝරා ෆොස්ටර්ගේ ලිපියක් ඇසුරිණි)
මේ තොරතුරුද කියවන්න:








