ඉන්දියාව: "කාන්තාවන් පස් දෙනෙක් බලහත්කාරයෙන් කැලයකට රැගෙන ගිහින් දූෂණය කරලා"

Indian Rape Case

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

මිනිස් ජාවාරමට එරෙහි ව්‍යාපෘතියකට සම්බන්ධව කටයුතු කරමින් සිටි රාජ්‍ය නොවන සංවිධානයක සාමාජිකාවන් පස් දෙනෙකු නැගෙනහිර ඉන්දීය ජාර්කාන්ද් (Jharkhand) ප්‍රාන්තයේදී සමූහ දූෂණයට ලක්කර තිබේ.

මෙම කාන්තාවන් පස් දෙනා බලහත්කාරයෙන් මෝටර් රථයකට නංවාගෙන හුදකලා ප්‍රදේශයකට රැගෙන ගොස් දූෂණය කර ඇති බව පොලිසිය බීබීසී හින්දි සේවය වෙත පැවසීය.

සිද්ධිය පිළිබඳ පරීක්ෂණ පවත්වන නමුත් මේ වෙනතෙක් කිසිවෙක් අත්අඩංගුවට ගෙන නොමැති බව පොලීසිය පවසයි.

රාජ්‍ය නොවන සංවිධානයක රැකියාව කළ මෙම කාන්තාවන් දුෂ්කර පළාතක් ලෙස සැලකෙන කුණ්ටිහි (Khunti) මිනිස් ජාවාරම පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් මෙහෙයවමින් සිටියහ.

"එක් වැඩසටහනක් නිමවීමෙන් පසු ඔවුන් ප්‍රදේශයේ පාසලක තිබූ තවත් වැඩසටහනකට ගිහින් තිබෙනවා. ඒ මොහොතේම ආයුධ සන්නද්ධ පිරිසක් පාසලට කඩා වැදිලා තිබෙනවා. ඔවුන් කාන්තාවන් පස් දෙනෙක් බලහත්කාරයෙන් කැලයකට රැගෙන ගිහින් දූෂණය කරලා," යැයි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු වන ඒවී හොම්කාර් (AV Homkar) බීබීසී හින්දි සේවයට පැවසුවේය.

Indian Rape Case

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

"සිද්ධිය සම්බන්ධයෙන් කිහිප දෙනෙකුගෙන් ප්‍රශ්න කිරීම සඳහා පොලිස් කණ්ඩායම් තුනක් යොදවා තිබෙනවා," ඔහු තවදුරටත් පැවසීය.

තවත් පොලිස් නිලධාරියෙකු බීබීසී හින්දි සේවය වෙත පැවසුවේ, මේ වන විට පොලිස් ආරක්ෂාව යටතේ සිටින කාන්තාවන් පස්දෙනා වෛද්‍ය පරීක්ෂණවල ප්‍රතිඵල බලාපොරොත්තුවෙන් සිටින බවය.

ස්ත්‍රී දූෂණ 40,000 ක්

සිද්ධියට සම්බන්ධ අපරාධකරුවන් "පිටස්තරයින්" මෙම ප්‍රදේශයට ඇතුළු වීම වළක්වන කල්ලියක ආධාරකරුවන් විය හැකි බව බලධාරීන්ගේ මතය වී තිබේ.

දිස්ත්‍රික්කයේ ගෝත්‍රික ජනයා අතර මෙම කල්ලිය ඉතා ජනප්‍රිය අතර, ප්‍රදේශයට පිවිසෙන මාර්ගවල පිටස්තර පුද්ගලයන්ට අනතුරු ඇඟවීමේ සංඥා ප්‍රදර්ශනය කිරීමට ද කටයුතු කර තිබේ.

මෙම ප්‍රදේශය මිනිස් ජාවාරම් සිදුකරන ප්‍රධාන ස්ථානයක් ලෙස හඳුනාගෙන ඇත.

2016 දී ඉන්දියාවේ ස්ත්‍රී දූෂණ 40,000ක් පමණ වාර්තා විය.

කෙසේවෙතත්, බොහෝ අවස්ථාවලදී දූෂණයට සහ ලිංගික අපචාරවලට ලක්වන කාන්තාවෝ ඒ ගැන ඇති බිය හෝ ලැජ්ජාව නිසා පොලිසියට පැමිණිලි කිරීමට මැලි කමක් දක්වති.

පසුගිය මාර්තු මාසයේ ද ජාර්කාන්ද් ප්‍රදේශයේ අවස්ථා තුනකදී තරුණියන් තිදෙනෙකු දූෂණය කර පුළුස්සා ඝාතනය කෙරිණ.

මේ තොරතුරුද කියවන්න: