ස්ත්‍රී දූෂණ: තවත් පූජකයෙක් අත්අඩංගුවට

සිතියම

විසි එක් හැවිරිදි තරුණියක් දූෂණය කළ බව පැවසෙන ඉන්දියාවේ ජනප්‍රිය පූජකයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.

රාජස්ථාන් ප්‍රාන්තයේ අල්වාර් නමැති ගම්මානයේ පිහිටි සිය ආශ්‍රමය තුළ දී නීති ශිෂ්‍යාවක් දූෂණය කර ඇති බවට ගුරු ෆල්හාරි මහරාජ්ට චෝදනා එල්ල වේ.

ඊට වරදකරු වුවහොත් ඔහුට වසර දහයක සිර දඬුවමකට මුහුණ දීමට සිදුවනු ඇත.

සිය කාන්තා අනුගාමිකයන් දෙදෙනෙකු දූෂණය කළ බවට වරදකරු වූ ගුර්මීත් රාම් රහීම් සිං නමැති පූජකයාට වසර විස්සක සිර දඬුවමක් ලබා දීමට ඉන්දීය අධිකරණය පසුගියදා තීන්දු කළේය.

ගුරු මහරාජ් සෙනසුරාදා (සැප් 23) අත්අඩංගුවට ගනු ලැබූ අතර වෛද්‍ය පරීක්ෂණයක් සඳහා ඔහු අල්වාර්හි පිහිටි රෝහලකට ඇතුළත් කළ බව පොලිසිය පවසයි.

පසුගිය අගෝස්තු 07 වෙනිදා තමන් අතවරයට ලක් වූ බවට චෝදනා කරමින් අදාළ තරුණිය මහරාජ්ට එරෙහිව සැප්තැම්බර් 11 වෙනිදා පැමිණිලි කර තිබේ.

ඇය ජායිපූර් නගරයේ නීතිය පිළිබඳ හදාරන සිසුවියකි.

"දෙමාපිය ඉල්ලීම මත"

Gurmeet Ram Rahim Singh has millions of followers in India
ඡායාරූප ශීර්ෂ වැකිය, සිය කාන්තා අනුගාමිකයන් දෙදෙනෙකු දූෂණය කළ බවට වරදකරු වූ ගුර්මීත් රාම් රහීම් සිං නමැති පූජකයාට වසර විස්සක සිර දඬුවමක් ලබා දීමට ඉන්දීය අධිකරණය පසුගියදා තීන්දු කළේය

දෙමව්පිය ඉල්ලීම මත මුදල් පරිත්‍යාගයක් සිදු කිරීම සඳහා තමන් ගුරු මහරාජ්ගේ ආශ්‍රමයට ගිය බව ඇය සිය පැමිණිල්ලේ සඳහන් කර තිබේ.

ඇය එහි රාත්‍රිය ගත කිරීමට එකඟ වූ බවත් ඉන් පසු තමන් දූෂණයට ලක් වී ඇති බවත් එම තරුණිය උපුටා දක්වමින් ද හින්දු පුවත්පත වාර්තා කරයි.

ඒ සම්බන්ධයෙන් පැමිණිලි කිරීමෙන් වැළකී සිටින ලෙස ගුරු මහරාජ් අනතුරු ඇඟවූ බවත් ඇය පවසා තිබේ.

කෙසේ නමුත් ගුර්මීත් රාම් රහීම් සිං නමැති පූජකයාට සිර දඬුවම් ලබා දීමට අධිකරණය ගත් තීන්දුව හමුවේ ඒ පිළිබඳ පැමිණිලි කිරීමට තමන්ට ධෛර්ය ලැබුණු ඇය සඳහන් කළාය.

අනුගාමිකයන්

Crowds smashed television trucks in Panchkula after the verdict

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, මාධ්‍ය ආයතනවල වෑන් රථවලට පහරදෙන ගුර්මීත් රාම් රහීම් සිංගේ අනුගාමිකයෝ

ගුරු මහාරජ්ගේ අනුගාමිකයෝ ඉන්දියාව මෙන්ම විදෙස් රටවල ද විසිර සිටිති.

දූෂණයට ලක් වූ බව කියන තරුණියගේ දෙමව්පියන් අවස්ථා කිහිපයකදීම ඔහුගේ ආශ්‍රමයට මුදල් පරිත්‍යාග කර ඇති බවත් වාර්තා වේ.

1999 සහ 2000 යන වසරවල දී උතුරු ඉන්දියාවේ හර්යානා ප්‍රාන්තයේ දී සිය කාන්තා අනුගාමිකයන් දෙදෙනෙකු දූෂණය කළ බවට චෝදනා ලැබ සිටි ගුර්මීත් රාම් රහීම් සිං ඊට වරදකරු කෙරිණි.

ඔහුට දඬුවම් ලබා දීමට ගත් තීන්දුව හමුවේ ඔහුගේ අනුගාමිකයන් ප්‍රචණ්ඩකාරී උද්ඝෝෂණ දියත් කළ අතර එහිදී 38 දෙනෙකු මරණයට පත් විය.

තවත් 2000 අධික පිරිසක් එහිදී අත්අඩංගුවට ගැනිණි.

සබැඳි යොමු: