ගුරු ගුර්මීත් රාම් රහීම් සිං අවුරුදු විස්සක් දඟ ගෙට

ගුරු ගුර්මීත් රාම් රහීම් සිං (Gurmeet Ram Rahim Singh)

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, ගුරු ගුර්මීත් රාම් රහීම් සිං (Gurmeet Ram Rahim Singh)

ඉන්දියාවේ 'හර්යානා' ප්‍රාන්ත අධිකරණයක් , ස්ත්‍රී දූෂණ චෝදනා වලට වරදකරු කරනු ලැබ සිටි ආගමික නායක ගුර්මීත් රාම් රහීම් සිං (Gurmeet Ram Rahim Singh) සඳහා අවුරුදු විස්සක සිර දඬුවමක් නියම කළේය.

2002 දී 'දෙර සාචා සවුදා' (Dera Sacha Sauda) නම් සිය නිකායේ මූලස්ථානයේදී කාන්තාවන් දෙදෙනෙකු දූෂණය කිරීමේ චෝදනාවට ගුරු ගුර්මීත් රාම් රහීම් වැරදිකරු වන බව එම අධිකරණය විසින් සිකුරාදා (අගෝස්තු 25) තීන්දු කකරන ලද අතර එම අපරාධය සඳහා දඬුවම් නියම කරනු ලැබීම අදට (අගෝස්තු 28) කල් තබනු ලැබ තිබුණි.

ගුරු ගුර්මීත් රාම් රහීම් සිං දූෂණ චෝදනාවලට වරදකරු යයි අධිකරණය විසින් සිකුරාදා තීන්දු කරනු ලැබීමත් සමඟ 'පන්ච්කුලා' (Panchkula) නගරයේ පැතිර ගිය ප්‍රචණ්ඩ ගැටුම් වලින් තිස් අට දෙනකුවත් මරා දැමුණ අතර දෙසීයකට අධික පිරිසකට තුවාල සිදු විය.

එම තත්වය යටතේ ගුරුට එරෙහි දඬුවම නියම කරනු ලැබීමත් සමඟ යළිත් ප්‍රචණ්ඩ ක්‍රියා ඇතිවිය හැකි හෙයින් ප්‍රදේශයේ ආරක්ෂාව තර කිරීමට ඉන්දීය බලධාරීහු බලධාරීහු පියවර ගත්හ.

'ගුරු' අධිකරණය ඉදිරියේ වැරදිකරු වීමත් සමඟ අනුගාමිකයන්ගේ ප්‍රචණ්ඩ ක්‍රියා

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, 'ගුරු' අධිකරණය ඉදිරියේ වැරදිකරු වීමත් සමඟ අනුගාමිකයන්ගේ ප්‍රචණ්ඩ ක්‍රියා

මේ අතර සිය මාසික ගුවන්විදුලි කතාවේ දී අදහස් දැක්වූ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි භක්තියේ නාමයෙන් සිදු කෙරෙන ප්‍රචණ්ඩ ක්‍රියා අනුමත කළ නොහැකි බවට අනතුරු ඇඟවීමක් කළේය.

"නීතිය අතට ගැනීමට කිසිවකුට අයිතියක් නැති" බව අගමැතිවරයා සිය කතාවේදී කියා සිටියේය.

ආගමික නායකයා නීතිය ඉදිරියේ අසරණ වීමත් සමඟ ඔහුගේ ආධාරකරුවෝ හර්යානා ප්‍රාන්තයේ 'සිර්සා' නගරයේ පිහිටි අක්කර දාහක් පමණ වූ පුදබිම් සංකීර්ණය තුළ රැඳී සිටියහ.

දස දහස් ගණනක් අනුගාමිකයන් එම භූමිය තුළ රැඳී හුන් බව පළමු වාර්තා මගින් ප්‍රකාශ විය.

'සිර්සා' නගරයේ ප්‍රකාශයට පත් කරනු ලැබ තිබුණ ඇඳිරි නීතිය ඔවුන්ට ඉන් පිටව යාම සඳහා බලධාරීන් විසින් පසුව තාවකාලිකව ඉවත් කරන ලද අතර ඊයේ ඉරිදා පටන් ගුරු ගුර්මීත් රාම්ගේ අනුගාමිකයෝ ආශ්‍රම භූමියෙන් ඉවත්ව යමින් සිටියහ.

ආරක්ෂක හමුදා ප්‍රචණ්ඩ අනුගාමිකයන් මැඩ ලමින්
ඡායාරූප ශීර්ෂ වැකිය, ආරක්ෂක හමුදා ප්‍රචණ්ඩ අනුගාමිකයන් මැඩ ලමින්

පනස් හැවිරිදි ගුරු ගුර්මීත් රාම් රහීම් සිං රාම්ගේ අනුගාමිකයන් ලොරි සහ කුලී රථවලට ඇතුල් වෙමින් සිටි බව සිර්සා නගරයේ පුදබිම අසල සිටින බීබීසී වාර්තාකරු ජස්ටින් රව්ලට් (Justin Rowlatt) පවසයි.

සිය ආගමික නායකයා රඳවා සිටින 'රෝතක්' නගරය බලා යන බව ඔවුන්ගෙන් ඇතැමෙක් ප්‍රකාශ කර ඇති අතර සිය නිවෙස් බලා යන බව සෙසු පුද්ගලයෝ බීබීසී වාර්තාකරුට ප්‍රකාශ කළහ.

එම අනුගාමිකයන්ගේ ගමනාන්තය කුමක් වුනත් ඔවුන් එකිනෙකා පුදබිම හැර යද්දී ශබ්ද විකාශන යන්ත්‍ර ඔස්සේ ආගමික ගීතිකා ප්‍රචාරය කෙරෙමින් තිබුණි.

ඔහු රඳවා සිටින 'රෝතක්' බන්ධනාගාරය අවට දැඩි ආරක්ෂක රැකවල් යොදා ඇතිහෙයින් එය බළකොටුවක මුහුණුවර ගෙන ඇත.

ආරක්ෂක අංශ ආශ්‍රම භූමියට

ඡායාරූප මූලාශ්‍රය, AFP/GETTY

ඡායාරූප ශීර්ෂ වැකිය, ආරක්ෂක අංශ ආශ්‍රම භූමියට

බන්ධනාගාරය පිහිටි භූමිය අවට කිලෝමීටර් එක හමාරක පරිධියක් මාධ්‍යවේදීන්ට තහනම් කරන ලද අතර 'රෝතක්' කරා පිවිසෙන මාර්ග කටු කම්බි ගසා වසා දමා ඇති අතර යුද හමුදාව සහ පොලිසිය යොදවමින් නගරය සහමුළින්ම ආරක්ෂක අංශ අතට ගනු ලැබ ඇති බව බීබීසී වාර්තාකරු ප්‍රකාශ කළේය.

ගුරු ගුර්මීත් රාම් රහීම් සිංට දඬුවම් නියම කරන ලද අද (අගෝස්තු 28) සඳුදා දිනයේ උදෑසන සියලු පාසල් සහ උසස් විදුහල් වසා තිබුණ අතර පසුගිය බ්‍රහස්පතින්දා පටන් 'හර්යානා' ප්‍රාන්තයේ අත්හිටුවන ලද ජංගම අන්තර්ජාල පහසුකම් තවත් පැය 48 ක කාලයක් සඳහා දීර්ඝ කරනු ලැබුණි.

කලහකාරීන්ට දුටු තැන වෙඩි තැබීමට ආරක්ෂක අංශ වලට බලය දී ඇත.

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, කලහකාරීන්ට දුටු තැන වෙඩි තැබීමට ආරක්ෂක අංශ වලට බලය දී ඇත.