ඉන්දියාව: ළමා දූෂකයන්ට මරණ දඬුවම

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ඉන්දියාවේ මෑතක දී වාර්තා වූ දරුණු ළමා දූෂණ මාලාව මුල් කොට ගෙන රට පුරා විරෝධතා පැන නැගීම හමුවේ, වයස අවුරුදු දොළහට අඩු දරුවන් දූෂණය කරන අපරාධකරුවන්ට මරණ දඬුවම ලබා දීමට ඉන්දීය කැබිනට් මණ්ඩලය අනුමැතිය පළ කළේය.
ඒ අනුව එය ඇතුළත් කරමින් ඉන්දියාවේ දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කිරීමට නියමිතය.
ඉන්දීය පාලිත කාශ්මීරයේ දී අට හැවිරිදි දැරියක් කෘර ලෙස සමූහ දූෂණයට ලක් කර මරා දැමීමත් සමග පසුගිය සති කිහිපය තුළ රට පුරා විරෝධතා පැන නැඟුනි.
විශේෂයෙන්ම දරුවන්ට එරෙහි ලිංගික අපචාර ඇතුලු අපරාධ රැල්ලට එරෙහිව මේ දක්වා රජය ප්‍රමාණවත් පියවර නොගැනීම මෙම විරෝධතාවලට ප්‍රධානතම හේතුව විය.
වර්තමානයේ ඉන්දීය නීතියට අනුව දරුණු ගණයේ අපරාධ කිහිපයකට මරණ දණ්ඩනය පැනවිය හැකි වුවත්, දරුවන් දූෂණය කිරීම සම්බන්ධයෙන් මෙතෙක් එය බලනොපැවැත්විණ.
2016 වර්ෂයේ දී ළමා දූෂණ නඩු 19,000 කට ආසන්න ප්‍රමාණයක් ලේඛනගත වී ඇත. ඒ අනුව දිනකට පනහකට අධික ළමා දූෂණ සිද්ධි වාර්තා වී තිබේ.
මේ තොරතුරුද දැනගන්න:
කුමක්ද මේ නව නීතිය?
අගමැති නරේන්ද්‍ර මෝදිගේ ප්‍රධානත්වයෙන් රැස් වුණ කැබිනට් මණ්ඩලය මෙම විධායක නියෝගය පිළිබඳ වැඩිදුර සාකච්ඡා පවත්වා තීරණයකට එළැඹ ඇත.

ඡායාරූප මූලාශ්‍රය, AFP
ඒ අනුව වයස අවුරුදු දොළහට අඩු දරුවෙකු දුෂණය කිරීමේ අපරාධයට වරදකරු වන ඕනෑම පුද්ගලයෙකුට මරණ දණ්ඩනය ලබා දීමට අවස්ථාව සැලසේ.
වයස අවුරුදු දහසයට අඩු ගැහැණු ළමුන් සහ කාන්තාවන් දූෂණය කිරීමේ වරදට එරෙහිව දිය හැකි අවම සිර දඬුවම ඉහළ නැංවීමට ද මෙම කැබිනට් මණ්ඩල රැස්වීමේ දී තීරණය කර ඇත.
නමුත් එම තීන්දුවේ පිරිමි ළමුන් හෝ පුරුෂයන් දූෂණයට ලක් වීමට එරෙහිව අදාළ නීති ගැන සඳහන් වී නොමැති බව එම තීන්දුවේ පිටපතක් දුටු රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබිණි.
නීති සංශෝධනයට හේතුව කුමක්ද?
මෑතක දී වාර්තා වූ ළමා දූෂණ සිද්ධීන් දෙකක් ඉන්දියාව පුරා වැසියන්ගේ දැඩි කෝපයට සහ කම්පනයට හේතු විය.
මුස්ලිම් එඬේර ජනකොටසකට අයත් අට හැවිරිදි අසීෆා බානෝ (Asifa Bano) ගේ මළසිරුර පසුගිය ජනවාරි මස කතුවා නගරය අසල කැලෑවක තිබී හමුවිය.
එහෙත් ඇය දූෂණය කර මරා දැමීම මේ සතියේ ප්‍රධාන පුවතක් බවට පත්වූයේ ඇය ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකපිට හින්දු භක්තික පුරුෂයන් අට දෙනෙකු අත්අඩංගුවට ගැනීම ගැන දක්ෂිණාංශික හින්දු කණ්ඩායම විරෝධය පළකිරීමත් සමගය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
එමෙන්ම භාරතීය ජනතා පක්ෂයට අයත් සාමාජිකයෙකු උත්තර් ප්‍රදේශ්හි දී වයස අවුරුදු දහසයක දැරියක දූෂණය කිරීමේ සිද්ධිය ද මහත් ආන්දෝලනයකට තුඩු දුන්නේය.
2012 වර්ෂයේ දී දිල්ලි නගරයේ බස් රියක් තුළ වෛද්‍ය ශිෂ්‍යාවක් සමූහ දූෂණයට ලක් කර මරා දැමීමේ සිද්ධියත් සමග ඉන්දියාව තුළ බහුලව වාර්තා වන ස්ත්‍රී දූෂණ සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු වීම ආරම්භ වුණි.
නමුත් කාන්තාවන් සහ ළමුන්ට එරෙහිව සිදු වන ලිංගික හිංසන තව දුරටත් රට පුරා වාර්තා වෙමින් පවතී.
තවත් තොරතුරු:
ඉන්දියාවේ මරණ දණ්ඩනය ක්‍රියාත්මක කරන්නේ කෙසේද?
පසුගිය දශකය තුළ ඉන්දියාවේ මරණ දණ්ඩනය ක්‍රියාත්මක කර ඇත්තේ අවස්ථා තුනක දී පමණය. දිල්ලි නගරයේ බස් රිය තුළ වෛද්‍ය ශිෂ්‍යාවක් දූෂණය කර මරා දැමීම සම්බන්ධයෙන් සිව් දෙනෙකුට මරණ දඬුවම නියම වුවත්, එය මෙතෙක් ක්‍රියාත්මක කර නැත.
එම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරයා පැවසුවේ චූදිතයන්ට පැනවූ දඬුවම "අතිශය විරල දෙයක්" බවය.
ඉන්දියාවේ බල පැවැත්වෙන දණ්ඩ නීති සංග්‍රහයට අනුව කාන්තාවක් සමූහ දූෂණය කිරීමේ වරදට මරණ දඬුවම ලබා දිය හැකි බව 'හින්දුස්ථාන් ටයිම්ස්' වාර්තා කරයි.
ඉන්දියාවේ මරණ දණ්ඩනය ක්‍රියාත්මක කරනු ලබන්නේ එල්ලා මරා දැමීමෙනි. එය අවසාන වරට ක්‍රියාත්මක කර තිබෙන්නේ 2015 දීය.








