ස්පාඤ්ඤය කැටලෝනියාවේ නායකයන් ඉවත් කිරීමේ උත්සාහයක

ඡායාරූප මූලාශ්‍රය, AFP
ස්පාඤ්ඤ අගමැති මරියානෝ රහොයි (Mariano Rajoy) විසින් කැටලෝනියාවේ වත්මන් පාලනය බලයෙන් ඉවත් කිරීමේ පියවර නිවේදනය කරනු ලැබීය.
එමෙන්ම හැකි ඉක්මනින් එහි අලුතින් මැතිවරණයක් පැවැත්වීමට අදාළ පියවර ද අගමැතිවරයා විසින් ප්‍රකාශයට පත් කරනු ලැබීය.
ඒ අනුව කැටලෝනියාවේ වත්මන් පාලනය යටතේ පවතින ආයතන මධ්‍යම ආණ්ඩුවේ අමාත්‍යාංශ යටතට පවරා ගනු ලැබීමට නියමිතය.
හදිසි කැබිනට් හමුවකින් අනතුරුව අදහස් දැක්වූ අගමැතිවරයා කියා සිටියේ කැටලෝනියාව සතු ස්වයං පාලනය ඉවත් නොකරන නමුත් ස්වයං පාලිත කලාපය නීතියේ ආධිපත්‍යයට යළි නතු කිරීම සිය අභිලාෂය බවය.
කැටලෝනියාව ස්පාඤ්ඤයෙන් වෙන් කිරීමට බෙදුම්වාදීන්ට හැකි වුවහොත් ආර්ථික ව්‍යසනයක් ඇති විය හැකි බවට ද අගමැතිවරයා අනතුරු ඇඟවීය.

මධ්‍යම පාලනය සමග සංවාදයක නිරත වීම සඳහා කැටලෝනියානු නායකයන් සැබෑ උත්සාහයක් නොගත් බවට ද ඔහු චෝදනා කළේය.
අගමැතිවරයා වැඩිදුරටත් කියා සිටියේ කැටලෝනියාවේ විපක්ෂය නොසලකා හරිමින් එහි නායකයන් සිය සැලසුම් ක්‍රියාත්මක කිරීමට උත්සාහ කළ බවය.
ස්පාඤ්ඤය ඉදිරිපත් කර ඇති විසඳුම් යෝජනාවලිය සඳහා කැටලෝනියාවේ විපක්ෂ දේශපාලන පක්ෂවල සහාය ලැබෙන අතර එම යෝජනා අනුමත කර ගැනීම සඳහා සෙනෙට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
මැඩ්රිඩ් පාලනයේ දැඩි විරෝධය මැද පසුගියදා පවත්වන ලද ජනමත විචාරණයෙන් අනතුරුව කැටලෝනියාව සහ මැඩ්රිඩ් පාලනය අතර උණුසුම් තත්ත්වයක් හටගත්තේය.
ජනමත විචාරණයේ දී බහුතර ජනතාව නිදහස් රාජ්‍යයක් ප්‍රකාශයට පත් කිරීමට පක්ෂව ඡන්දය භාවිත කළ බව කැටලෝනියාවේ නායකයන් පවසන නමුත්, එය නීති විරෝධී ජනමත විචාරණයක්ය යන්න ස්පාඤ්ඤයේ ස්ථාවරය වී තිබේ.
'කැටලන්' හෙවත් කැටලෝනියාව පිහිටා තිබෙන්නේ ස්පාඤ්ඤ සිතියමේ නැගෙනහිර දෙසින් 'ඉබේරියානු' අර්ධද්වීපය තුළය.
වර්ග කිලෝ මීටර් 32,108 ක විහිද යන 'කැටලන්' දේශය ස්පාඤ්ඤ භූමියෙන් හයෙන් එකකි.
'කැටලන්' ස්වයංපාලිත බල ප්‍රදේශය බාසිලෝනා, ශිරෝනා, ල්යේතා සහ ටැරගෝනා නම් පළාත් හතරකින් යුක්ත වෙයි.
බාසෙලෝනා නගරය එහි ප්‍රාදේශීය අගනුවරය.
කැටලෝනියාවේ එක් දේශ සීමාවක් වන්නේ ප්‍රංශයයි. අනිත් අතින් එය මධ්‍යධරණි සාගරයට මුහුණලා ඇත.
සබැඳි යොමු:








