ක්‍රිකට් ක්‍රීඩකයන් 40ක් පරීක්ෂණයක් ඉල්ලති

"ඔහුට ඇත්ත තොරතුරු තියෙනවනම් ඔහු ඒවා නිසි ලෙස හෙළිකළ යුතුයි. නම් සමග අදාළ තැන් වලට පැමිණිලි කළ යුතුයි. මොකද නිකං චෝදනා කිරීම වැරදියි"

ඡායාරූප මූලාශ්‍රය, ICC

ඡායාරූප ශීර්ෂ වැකිය, "ඔහුට ඇත්ත තොරතුරු තියෙනවනම් ඔහු ඒවා නිසි ලෙස හෙළිකළ යුතුයි. නම් සමග අදාළ තැන් වලට පැමිණිලි කළ යුතුයි. මොකද නිකං චෝදනා කිරීම වැරදියි"

ශ්‍රී ලංකා ක්‍රිකට් නායකයන්වන දිනේෂ් චන්දිමාල් හා උපුල් තරංග විසින් ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් 40 දෙනෙකුගේ අත්සනින් යුතු ලිපියක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට භාර දෙනු ලැබ තිබේ.

හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයකු විසින් ක්‍රීඩකයන්ට චෝදනා කරමින් පසුගිය ඉන්දීය සංචාරය පිළිබඳව කළ ප්‍රකාශයක අඩංගු කරුණු සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස මෙම ලිපිය මගින් ශ්‍රී ලංකා කණ්ඩායමේ වත්මන් ක්‍රීඩකයෝ ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලා සිටිති.

මෙම ලිපියේ සඳහන් වන්නේ හිටපු වේගපන්දු ක්‍රීඩකයකු හා තේරීම් කමිටු සාමාජිකයකු වන ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මෑතකදී මාධ්‍යකට කළ ප්‍රකාශයන් සම්බන්ධයෙනි.

ශ්‍රී ලංකා කණ්ඩායම "අස්වාභාවික ලෙස තරග පරාජය" වන බවටත් තරගවල ගත් ඇතැම් තීරණ ක්‍රීඩාගාරයේ පිටත පුද්ගලයකුගේ බලපෑම් මත සිදුවූ බවටත් ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ චෝදනා කර තිබුණි.

කෙසේ නමුත් මෙම චෝදනාවලට සම්බන්ධ පුද්ගලයන් හෝ ක්‍රීඩකයන් කවුරුන්දැයි ඔහු හෙළිකර නැත.

SRI LANKA CRICKET

ඡායාරූප මූලාශ්‍රය, SRI LANKA CRICKET

ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ විසින් එල්ල කරනු ලැබූ චෝදනා ප්‍රතික්ෂේප කරන වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් මෙම ලිපියේ සඳහන් කර ඇත්තේ එවැනි චෝදනා මගින් කණ්ඩායම දැඩි අපහසුතාවකට පත්වන බවය.

මේ චෝදනා ගැන කඩිනම් පරීක්ෂණයක් පවත්වා සත්‍ය හෙළිකරන ලෙසත් එම පරීක්ෂණ සඳහා ක්‍රීඩකයන්ගේ සම්පුර්ණ සහය ලබාදෙන බවත් ක්‍රීඩකයන් මෙම ලිපියේ සඳහන් කර ඇතැයි වාර්තා වේ.

මෙවන් ලිපියක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලැබුණු බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රකාශකයෙක් බීබීසී සිංහල සේවයට තහවුරු කළ අතර ඉදිරියේදී ඒ ගැන ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව තීරණය කරනු ඇතැයි ඔහු පැවසීය.

එම ලිපියේ අරමුණ පැහැදිලි කරමින්, නම සඳහන් කිරීමට අකමැති වූ ක්‍රීඩකයෙකු බීබීසීයට කියා සිටියේ "ඔහුට ඇත්ත තොරතුරු තියෙනවනම් ඔහු ඒවා නිසි ලෙස හෙළිකළ යුතුයි. නම් සමග අදාළ තැන් වලට පැමිණිලි කළ යුතුයි. මොකද නිකං චෝදනා කිරීම වැරදියි." යනුවෙනි.