භුමිකම්පාව : 216 මරුට, මෙක්සිකෝ නගරයේ හදිසි තත්වයක්

ඡායාරූප මූලාශ්‍රය, AFP
මෙක්සිකෝවේ හටගත් භූමිකම්පාවකින් 200 ට වැඩි පිරිසක් මියගොස් මෙක්සිකෝ අගනුවර ගොඩනැගිලි ගණනාවක් කඩා වැටිණි.
පාසලක් කඩාවැටීම හේතුවෙන් දරුවන් 20 දෙනෙකු සහ වැඩිහිටියන් දෙදෙනෙකු මියගොස් තවත් 30 දෙනෙකු අතුරුදන්ව ඇති බව ජනාධිපති එන්රික් පේනා පැවසීය.
භූ චලනයෙන් 250 ස් දෙනෙකුවත් මියගිය බවට මීට ඉහතදී පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරන සාමාන්‍ය වැසියන්ගේ ආරක්ෂාව සම්බන්ධ ජාතික සම්බන්ධීකරණ කාර්යාලය, එම සංඛ්‍යාව 216 ක් දක්වා පහත දමනු ලැබ තිබේ.
මැග්නිටියුඩ් 7.1 ක් වූ භූචලනය අසල්වැසි රාජ්‍යවලට ද දැනී ඇත.
මෙක්සිකෝ සිටි අගනුවර දහස් ගණනකට මරු කැඳවමින් භුමි කම්පාවක් හටගෙන වසර 32 ක් ගෙවුණු තැන භූමිකම්පා සඳහා සුදානම්වීමේ පෙර පුහුණුවක බොහෝ දෙනා යෙදෙමින් සිටින අවස්ථාවක මෙම භූචලනය හටගැනිණි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
නිතර භූමිකම්පා ඇතිවන කලාපයක පිහිටා ඇති දකුණු දිග මෙක්සිකෝහි මේ මස මුළදී හටගත් මැග්නිටියුඩ් 8.1 ක භූචලනය හේතුවෙන් අවම වශයෙන් 90 දෙනෙක් මියගියහ.
මෙවර ඇතිවූ භුමිකම්පාව හේතුවෙන් මෙක්සිකෝ සිටි අගනුවර මිලියන දෙකක පමණ පිරිසකට විදුලි සැපයුම හා දුරකතන පහසුකම් නතරවී ඇත. නගරයේ ගෑස් නල හේතුවෙන් වීථිවල දුම්බීමෙන් වළකින ලෙස නිලධාරීන් අනතුරු අඟවා තිබේ.

ඡායාරූප මූලාශ්‍රය, AFP
ස්වේච්ඡා ආධාරකරුවන් සමග එක්ව හදිසි සහන සේවකයෝ දිවි බේරාගත් පුද්ගලයන් සිටින්නේ දැයි කඩා වැටුණු ගොඩනැගිලිවල සුන් බුන් අතර සොයමින් සිටිති.
උදලු, කැති වැනි අතට හසුවන ආයුධ යොදා ගනිමින් හෝ අත්වලින් ඔවුහු රාත්‍රිය මුළුල්ලේ සුන් බුන් හාරමින් සිටිති.
ස්ථාන 44 ක ගොඩනැගිලි විනාශ වී හෝ ඉරි තලා තිබෙන බව මෙක්සිකෝ නගරයේ නගරාධිපති මිගෙල් අන්ගෙල් මන්චේරා පැවසීය. සය මහල් නිවාස සංකීර්ණයක්, සුපිරි වෙළෙඳසලක් සහ කර්මාන්තශාලාවක් ද ඒ අතර තිබේ.
රූපවාහිනිය ඔස්සේ ජාතිය ඇමතූ ජනාධිපතිවරයා, භූමිකම්පාව හටගත් ප්‍රදේශයේ හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කළ අතර, හදිසි සහන සේවා සඳහා හමුදාව කැඳවනු ලැබ තිබේ.
ඊයේ රාත්‍රිය භූ චලනය හටගැනීමත් සමග දහස් ගණන් මෙක්සිකෝ වැසියෝ වීථිවලට දිව ගියහ.

ඡායාරූප මූලාශ්‍රය, AFP
භූ චලන මෙක්සිකෝ නගරයට ආගන්තුක අත්දැකීමක් නොවූවත් 1985 ඇති වූ භූමිකම්පාවේ සංවත්සරය අවස්ථාවේ හටගත් මෙම කම්පනය හේතුවෙන් ජනතාව තැති ගැනුණු බව නගරයේ සිටින බීබීසී වාර්තාකරු හුවාන් පෝලියෙර් පවසයි.
බියෙන් ගැහෙමින්, හඬමින් ඔවුන් වීථිවලට දිව ගිය ඔවුහු දුරකථනයෙන් සිය ඥාතීන් සහ මිතුරු මිතුරියන් ඇමතීමට උත්සාහ කළ බවත් ඔහු සඳහන් කරයි.
අනතුරෙන් විශාල මියගොස් ඇති බව ටික වේලාවකින් පසුව ඔවුන්ට දැනගැනීමට ලැබිණ.
නගරයේ එක් ස්ථානයක කුණු ගොඩක් අසලට රැස් වූ පිරිසක් එහි කිසිවෙකු සිරවී සිටින්නේ යයි සිතා කෑගසමින් කුණු ගොඩ අවුස්සමින් සිටින අනුවේදනීය අවස්තාවක් දකින්නට ලැබුණු බවත් බීබීසී වාර්තාකරු පවසයි.

ඡායාරූප මූලාශ්‍රය, AFP
ලෝක ප්‍රතිචාරය
දේශසීමා තාප්පයක් බැඳීමේ සැලසුමක් සම්බන්ධයෙන් මෙක්සිකෝව සමග මතභේදයක පැටලී සිටින ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, "මෙක්සිකෝ නගරයේ ජනතාවට දෙවියන්ගේ පිහිටයි," යනුවෙන් සඳහන් ට්විටර් පණිවුඩයකින් එම ඛේදවාචකය පිළිබඳව සිය ප්‍රතිචාරය පළ කර තිබේ.
"අපි ඔබ සමගයි. එමෙන්ම ඔබ වෙනුවෙන් ඉදිරිපත් වෙන්නෙමු," යනුවෙන් ද එහි සඳහන් වේ.
එම "අවාසනාවන්ත පුවතෙන්" අනතුරුව මෙක්සිකෝ ජනතාවට ආධාර කරන බව කැනඩාවේ අගමැති ජස්ටින් ට්‍රුඩෝ ද ට්විටර් පණිවුඩයක සඳහන් කරයි.
මේ අවස්ථාවේ මෙක්සිකෝ ජනතාවට සහයෝගය පළ කරන බව, නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සහභාගි වෙමින් සිටින කොස්ටා රිකා ජනාධිපති ලුවිස් ගිලෙර්මෝ සෝලිස් පවසයි.









