රෝහින්ග්‍යා අනාථයන් සංඛ්‍යාව තුන් ලක්ෂයට ලංවෙයි

ඡායාරූප මූලාශ්‍රය, Reuters
පසුගිය සති දෙක ඇතුළත මියන්මාරයෙන් පළා ගිය තුන් ලක්ෂයකට ආසන්න රෝහින්ග්‍යා මුස්ලිම් ජාතිකයන් මේවනවිට බංග්ලාදේශයට ඇතුල් වී සිටින බව ඇස්තමේන්තු කරනු ලැබ ඇත.
කලින් සැලකිල්ලට නොගත් ප්‍රදේශවලට ඇතුල් වී සිටින රෝහින්ග්‍යා මුස්ලිම් ජනයාත් ඇස්තමේන්තු කිරීමත් සමඟ අනාථයන්ගේ සංඛ්‍යාවේ එවැනි හදිසි වැඩිවීමක් දක්නට ලැබුණ බව අනාථයන් සඳහා වන එක්සත් ජාතීන්ගේ ආයතනය පවසයි.
බොහෝ රෝහින්ග්‍යා මුස්ලිමුන් බංග්ලාදේශයට ඇතුල් වී තිබෙන්නේ වනාන්තරය සහ කඳු මිටියාවත් තරණය කරමින් පා ගමනිනි.
ඒ අතර තවත් කොටසක් බෙංගාල බොක්ක ඔස්සේ බෝට්ටුවලින් ගෙන එනු ලැබ ඇත.

ඡායාරූප මූලාශ්‍රය, varun nayar/BBC
විශාල ජන සංඛ්‍යාවක් ලඟා වීමත් සමඟ බංග්ලාදේශ් භූමියේ ඉදි කෙරුණ තාවකාලික අනාථ කඳවුරු මිනිසුන්ගෙන් පිරී ඉතිරී යමින් ඇති බවත් වාර්තා වෙයි.
මියන්මාරයේ 'රඛයින්' පළාතේ ජීවත් වූ රෝහින්ග්‍යා මුස්ලිම් ප්‍රජාව ඉන් පළා යාම ආරම්භ කරන ලද්දේ සන්නද්ධ කැරලිකරුවන් පොලිස් මුර පොළවලට පහර දෙනු ලැබීමත් සමඟ ඇවිල ගිය ගැටුම් සමඟයි.

ඡායාරූප මූලාශ්‍රය, Reuters
යුද හමුදාව තමන්ට පහර දෙමින් සිය ගේදොර විනාශ කළ බව බංග්ලාදේශයට පැමිණෙන රෝහින්ග්‍යා මුස්ලිම් ජාතිකයෝ පවසති.
එහෙත් එම චෝදනා ප්‍රතික්ෂේප කරන මියන්මාර් ආරක්ෂක අංශ තමන් පහර දෙනු ලබන්නේ ප්‍රහාරක කැරලිකරුවන්ට පමණක් යයි කියා සිටිති.

ඡායාරූප මූලාශ්‍රය, VARUN NAYAR/BBC








