'ඉර්මා' කැරිබියානු දූපත් කළඹයි

ඡායාරූප මූලාශ්‍රය, AFP
කැරිබියානු දූපත් ඔස්සේ හමා යමින් ඇති 'ඉර්මා' චණ්ඩ කුණාටුව ඇන්ගුලා (Anguilla) බාබුඩා (Barbuda) සහ ඇන්ටිගුආ (Antigua) දූපත්වලට දැනටමත් පහර දී ඇත.
චණ්ඩ කුණාටුවත් සමඟ ඉහළ නැගි යෝධ මුහුදු රැලි සහ සැඩ සුළඟ සිය වෙරළ තීරයට පහර දුන් බව 'ඇන්ගුලා' දූපත් වැසියෝ පවසති.
පූර්ව ආරක්ෂණ පියවර ගනිමින් විදුලි බල ශක්ති සැපයුම විසන්ධි කිරීමට දූපත් බලධාරීන් පියවර ගෙන ඇත.
'ඉර්මා' විශාල විනාශයක් සිදු කිරීමට ඉඩකඩ ඇති බවට කාලගුණ විද්‍යාඥයෝ අනතුරු අඟවති.
මෙම මහා කුණාටුව 'ලීවර්ඩ්'(Leeward Islands) දූපත් ඔස්සේ පුවටෝ රිකෝ, ඩොමිනිකා ,හිස්පැනියෝලා හයිටි සහ කියුබාව, ඔස්සේ හමා ගොස් ලබන සෙනසුරාදා ෆ්ලොරිඩාවට ලඟා වනු ඇතැයි විද්‍යාඥයන් විසින් ඇස්තමේන්තු කරනු ලැබ ඇත.
කුණාටුවේ අභියෝගයට මුහුණ දී ඇති 'බාර්බුඩා' වැසියන් දෙදාහක් පමණ වාසය කරන කුඩා දූපතකි
කුණාටුව හමා යන්නේ පැයට කිලෝමීටර් 300 ක වේගයකිනි.
'ඉර්මා' දශකයක කාලයක් ඇතුළත අත්ලාන්තික් කලාපයේ වාර්තා වූ අති ප්‍රබල කුණාටුවයි.

ෆ්ලොරිඩා ප්‍රාන්තයේ බටහිර පලාත්වල වැසියන්ට එම ස්ථානවලින් ඉවත් වෙන ලෙස දැනටමත් ඇමෙරිකානු බලධාරීන් විසින් උපදෙස් දෙනු ලැබ ඇති බවත් වාර්තා වෙයි.
'ඇන්ටිගුආ' දූපතේ වෙරළාසන්න නිවෙස්වල වහල කඩා බිඳ දැමූ 'ඉර්මා' කුණාටුව සැප්තැම්බර් 06 බදාදා දිනය ආරම්භයේ ප්‍රංශ දූපත් වන සින්ට් බර්තලමි (Sint Barthelemy) සහ සින්ට් මාර්ටෙන් (Sint Maarten) දෙසට හමා යමින් තිබුණි.
කුණාටුවට මුහුණ දීම සඳහා පෙර සූදානමින් සිටින 'සෙන්ට් කිට් සහ නෙවිස්' (St Kitts and Nevis) දූපතේ ජනාධිපති තිමති හැරිස් සිය දූපතේ ජාතික ආරක්ෂාව සීරුවෙන් තබා ඇතැයි කියා සිටියේය.
කැරිබියානු කලාපය ඔස්සේ අන්තරායකාරී කළාපයන්හි වෙසෙන දහස් ගණනක් ජනතාව දැනටමත් ඉවත් කර ඇති අතර, දූපත් වැසියන් ජලය, ආහාර සහ අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා ගැනීම පිණිස වෙළෙඳසැල් අවට පොදි ගැසෙමින් සිටි බව වාර්තා වෙයි.
දූපත් කීපයක ගුවන් තොටුපොළ වසා දමනු ලැබ ඇති අතර පොදු නවාතැන් පොළවල් කරා මාරු වෙන ලෙස නිවාඩු නිකේතනවල සිටින ජනතාවගෙන් බලධාරීන් විසින් ඉල්ලීමක් කරනු ලැබ ඇත.

ඡායාරූප මූලාශ්‍රය, verjin.com
ෆ්ලොරිඩා , පුවටෝ රිකෝ සහ එක්සත් ජනපද වර්ජින් දූපත්හි හදිසි තත්වයක් ප්‍රකාශයට පත්කළ ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එම කලාපයන්හි ෆෙඩරල් ආපදා කළමනාකරණ සහන මෙහෙයුම් ක්‍රියාවට නැංවීමට පියවර ගෙන ඇත.
බහමාස් දූපත ඔවුන්ගේ ඉතිහාසයේ ජනතාව ආරක්ෂිත ස්ථාන කරා මාරු කිරීමේ විශාලතම මෙහෙයුම දැන් ආරම්භ කරනු ලැබ ඇති බව අගමැති හියුබට් මිනිස් (Hubert Minnis) පවසයි.
'ඇන්ගුලා' ( Anguilla) දූපත්වාසී ගෙවිලියක් අදහස් දක්වමින්, සිය එළුවන් බේරා ගැනීමට ඇය ගන්නා උත්සාහය විස්තර කළාය.
"මම එළුවන් ඇති කරනවා. මම මගේ එළු සම්පත ගැන අවධානයෙන් ඉන්නේ. මම ඊයේ රාත්‍රී එළුවෝ විස්සක් විතර ටිකක් උස තැනකට ගන්න සමත් වුනා' කැරලයින් කෝල්බි (Carolyne Coleby) නම් එම කාන්තාව පවසන්නීය.

ඡායාරූප මූලාශ්‍රය, Reuters
ඉර්මා කැරිබියානු කලාපයට පැමිණෙන්නේ පසුගියදා 'හාවි' (Hurricane Harvey) කුණාටුව 'ටෙක්සාස්' ජනපදයට විශාල විනාශයක් සිදු කරනු ලැබීමෙන් දවස් කීපයකට පසුවයි.








