ටෙක්සාස් ප්‍රාන්තය කළඹන 'හාවි' කුණාටුව

Hurricane Harvey

ඡායාරූප මූලාශ්‍රය, AFP

පැයට කිලෝමීටර් 215 ක (පැයට සැතපුම් 130 ක) වේගයෙන් ඇමෙරිකා එක්සත් ජනපදයේ ටෙක්සාස් ප්‍රාන්තය වෙත කඩා වැදුණු 'හාවි' නම් කුණාටුව (Hurricane Harvey) මගින් ප්‍රාන්තයේ වෙරළබඩ ප්‍රදේශවලට දැවැන්ත හානියක් සිදු වී තිබේ.

වසර 13 ක් ඇතුළත එක්සත් ජනපදයේ ප්‍රධාන භූමියට එල්ල වූ දරුණුම කුණාටුව එයයි.

පැයට සැතපුම් 130 ක වේගයෙන් ආරම්භ වූ කුණාටුවේ වේගය පසුව අඩු වූ අතර, ඉන් අනතුරුව ඇතැම් ප්‍රදේශවල ධාරානිපාත වැසි හටගත්තේය.

ප්‍රාන්තය පුරා ප්‍රදේශවල බරපතල ගංවතුර තත්වයක් මතු වනු ඇතැයි ද බිය පළ වී තිබේ.

A house that caught fire in Corpus Christi was burnt out by Saturday morning

ඡායාරූප මූලාශ්‍රය, AFP/ GETTY IMAGES

Meteorologists have warned Harvey could continue to dump rain until the middle of next week

ඡායාරූප මූලාශ්‍රය, Reuters

සබැඳි යොමු:

කුණාටුව මගින් විනාශ කෙරුණු නිවාසවල සුන් බුන් අතර තවමත් ඇතැම් නිවැසියන් සිර වී සිටින බව ද පැවසේ.

ප්‍රදේශය පුරා ලක්ෂ දෙකකට ආසන්න පිරිසකට විදුලි බලය ඇනහිට ඇති බව බලශක්ති සමාගම් පවසති.

මේ වනවිට බරපතලම හානිය සිදු වී තිබෙන්නේ ලක්ෂයක පමණ ජනකායක් වාසය කරන රොක්පෝට් (Rockport) ප්‍රදේශයට බව විශ්වාස කෙරේ.

එහි ගොඩනැගිලි ගණනාවකට බරපතල හානි සිදු වී ඇති බව සහන සේවකයෝ පවසති. විනාශ වූ නිවාස සහ උදුරා වැටුණු ගස්වල ඡායාරූප සමාජ මාධ්‍ය ජාල ඔස්සේ පළ කර තිබුණි.

කුණාටුවේ මාර්ගය

සිකුරාදා (අගෝස්තු 25) රාත්‍රියේ මුලින්ම 'හාවි' කුණාටුවේ ප්‍රහාරයට ලක්වූයේ කෝපස් ක්‍රිස්ටි (Corpus Christi) නගරයය.

ගස් කඩා වැටී නගරයේ විදුලි බල සැපයුම ද අඩපණ වූ නමුත් බලධාරීන්ගේ අනතුරු ඇඟවීම්වලින් පසුව නගරවැසියන් සිය නිවාස අත්හැර ආරක්‍ෂිත ස්ථාන බලා ගොස් තිබුණි.

කුණාටුව රොක්පෝට් නගරය කරා පැමිණෙන විට එහි වේගය පැයට සැතපුම් 130 සිට පැයට සැතපුම් 125 දක්වා අඩු වී තිබුණි.

නගරයේ ජනතාව වැඩිහිටි නිවාසයක සිර වී සිටින බව නගරාධිපති පැට්‍රික් රියෝස් (Patrick Rios) පැවසීය. වැඩිහිටි නිවාසයේ වහල කඩා වැටී ඇති නමුත් මේ අවස්ථාවේ එහි ළඟාවිය නොහැකි බව බේරාගැනීමේ සේවකයෝ පවසති.

'හාවි' කුණාටුව

ඡායාරූප මූලාශ්‍රය, EPA/NASA

'හාවි' කුණාටුව

ඡායාරූප මූලාශ්‍රය, Reuters

'හාවි' කුණාටුව

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

තමන්ට කිසිදු ස්ථානයකට ළඟාවිය නොහැකි බව ද ප්‍රදේශයේ ස්වේච්ඡා ගිණි නිවන සේවකයෝ ද පවසති.

කුණාටුව හේතුවෙන් ඉදිරි දින කිහිපය තුළ එක්සත් ජනපදයේ සිව් වෙනි විශාලතම නගරයවන ඛනිජ තෙල්වලින් පොහොසත් යූස්ටන් (Houston) නගරයේ අඟල් 20ක වර්ෂාපතනයක් ඇතිවිය හැකි බවට අනතුරු අඟවනු ලැබ තිබේ.

දරුණුම කාලගුණ තත්වය ඉදිරියේදී ඇතිවනු ඇති බව හදිසි සේවා කළමනාකරණ කාර්යාලයේ ප්‍රකාශකයෙක් බීබීසී යට පැවසීය.

තත්වය පිළිබඳව සොයා බැලීම පිණිස ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ලබන සතියේ ටෙක්සාස් ප්‍රාන්තයේ සංචාරයක යෙදීමට ඉඩ තිබෙන බව ධවල මන්දිරය මේ අතර නිවේදනය කළේය.

2004 අගෝස්තු මාසයේ දී හටගත් චාලි (Charley) කුණාටුවෙන් අනතුරුව එක්සත් ජනපදයට එල්ල වූ දරුණුම කුණාටුව මෙයයි.

යූස්ටන් ක්‍රෝනිකල් (Houston Chronicle) පුවත්පත වාර්තා කරන අන්දමට 1961 දී හටගත් කාර්ලා (Carla) කුණාටුවෙන් අනතුරුව ටෙක්සාස් ප්‍රාන්තයට එල්ල වූ බරපතලම කුණාටුව ද එයයි. කාර්ලා කුණාටුවෙන් 34 දෙනෙකු මරුමුවට පත් විය.