"ප්‍රශ්න අර්බුද බවට පත්කර නොගනිමු"- චීන සහ ඉන්දියානු තේරුම් ගැනීමක්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
මාස තුනක පමණ කාලයක් දේශසීමා අවුලක පැටලී සිටි ඉන්දු -චීන රාජ්‍ය නායකයෝ එම දේශසීමා අවුල නිරාකරණය කර ගනු ලැබීමෙන් දින කීපයකට අනතුරුව පළමු වරට ද්විපාර්ශ්වීය සාකච්ඡාවක නිරත වූහ.
චීන ජනාධිපති ෂි ජින්පින් (Xi Jinping ) සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි අතර එම පැයකට සීමා වූ එම සාකච්ඡාව සිදු වුණේ චීනයේ 'ෂියා මෙන්' (Xiamen) වරාය නගරයේ පැවැත්වුන 'බ්‍රික්ස්' (Brics summit) සමුළුව අතරවාරයේයි.
බටහිර ලෝකයට අයත් නොවන ලෝකයේ ආර්ථික බලවතුන් පස් දෙනෙක් 'බ්‍රික්ස්' (Brics summit) සමුළුව තුළ නියෝජනය වෙති.
එම රටවල් පහ වන්නේ චීනය,ඉන්දියාව,රුසියාව ,බ්‍රසීලය සහ දකුණු අප්‍රිකාවයි.
ජනාධිපති ෂි ජින්පින් එම හමුවේ දී දෙරට අතර 'යහපත් ශක්තිමත් සබඳතා පවත්වා ගැනීමේ උවමනාව' ඉන්දීය අගමැතිවරයාට ප්‍රකාශ කළ බව චීන රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි.
ඉන්දියාව සමඟ ද්විපාර්ශ්වීය සබඳතා යළිත් නිවැරදි මාවතට අවතීර්ණ වූ බව ජනාධිපති ෂි ජින්පින් ප්‍රකාශ කරන ලදැයි ඔහු උපුටා දක්වන 'ෂින්හුආ' චීන රාජ්‍ය පුවත් ආයතනය පවසයි.

ඡායාරූප මූලාශ්‍රය, AFP
හිමාලය අඩවියේ පිහිටි 'ඩොක්ලාම්' (Doklam) දේශසීමාවේ දී දෙරටේ දේශසීමාරක්ෂක භටයන් අතර පසුගියදා ගැටුම් ඇති වීමත් සමඟ චීනය සහ ඉන්දියාව අතර රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා පිරිහුණ මට්ටමකට වැටී තිබුණි.
මේ අතර නායකයන් දෙදෙනා අතර සමගිය ප්‍රදර්ශනය කළ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි, දින තුනක් මුළුල්ලේ පැවති 'බ්‍රික්ස්' (Brics summit) සමුළුව අති සාර්ථක ලෙස මෙහෙයවනු ලැබීම සම්බන්ධයෙන් චීන ජනාධිපතිවරයාට ශුභ පැතීය.
නායකයන් දෙදෙනාගේ හමුවෙන් පසුව පැවැත්වුන මාධ්‍ය හමුවක දී අදහස් දැක්වූ ඉන්දියාවේ විදේශ ලේකම් එස්. ජායිසංකර්, ඉන්දියාව සහ චීනය අන්‍යෝන්‍ය ගරුත්වයෙන් යුක්තව පෙරට ගමන් කරනු ඇතැයි සඳහන් කළේය.

තවදුරටත් අදහස් දැක්වූ ඉන්දීය විදේශ ලේකම්වරයා, පසුගිය ජූනි මාසයේ කසක්ස්ථානයේ 'අස්තානා'(Astana) අගනුවර දී ඉන්දු-චීන නායකයන් අතර සිදු වූ හමුව පිළිබඳව සඳහන් කරමින් 'තමන් අතර මතු වෙන මතභේදාත්මක තත්වයන් අර්බුද බවට පත්කර නොගැනීමේ' එකඟතාවකට එම හමුවේ දී දෙරට අවතීර්ණ වූ බවත් කියා සිටියේය.
"පසුගියදා වාර්තා වූ ආකාරයේ සිද්ධීන් යළිත් ඇතිවීම වළක්වා ගැනීම සඳහා හොඳ සන්නිවේදන සම්බන්ධතා සහ සහයෝගාත්මක පරිසරයක් පවත්වා ගැනීමට දෙපාර්ශ්වය එකඟ වුනා" විදේශ ලේකම් එස්. ජායිසංකර් පවසයි.
සිය චීන සංචාරයෙන් අනතුරුව ඉන්දීය අගමැතිවරයා දින දෙකක මියන්මාර් සංචාරයක් ආරම්භ කළේය.








