ජනාධිපති ට්‍රම්ප් "දේශීය ත්‍රස්තවාදය" හෙළා නොදකින්නේ ඇයි?

ඡායාරූප මූලාශ්‍රය, RYAN M KELLY/ THE DAILY PROGRESS
ඇමෙරිකා එක්සත් ජනපදයේ සුදු අධිපතිවාදීන් විසින් සංවිධානය කරන ලද රැළියකදී හටගත් ප්‍රචණ්ඩ ක්‍රියා සහ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එයට පළ කළ ප්‍රතිචාරය ප්‍රබල විවාදයකට තුඩු දී තිබේ.
යුද විරුවෙකුගේ ස්මාරකයක් ඉවත් කිරීමට එරෙහිව "දක්ෂිණාංෂිකයන් එක්සත් කිරීමේ" රැලිය වෙනුවෙන් සෙනසුරාදා (අගෝස්තු 12) සුදු අධිපතිවාදීන් සිය ගණනක් වර්ජීනියා ප්‍රාන්තයේ චාලට්ස්විල් (Charlottesville) ප්‍රදේශයට රැස් වී සිටියහ.
අන්ත නට්සිවාදීන් සහ සුදු වර්ගවාදී කූ ක්ලක්ස් ක්ලෑන් (Ku Klux Klan) සංවිධානයේ සාමාජිකයන් ද ඒ අතර සිටියහ.
එම රැලියට එරෙහිව ඒ අසලම තවත් උද්ඝෝෂණයක් පැවැත්විණ.
එහිදී දෙපාර්ශවය අතර හටගත් ප්‍රචණ්ඩ ගැටුම්වලදී දෙපාර්ශවයම එකිනෙකාට පහර දුන්හ.
'දේශීය ත්‍රස්තවාදය'
රැලිය අවසානවීමත් සමගම අන්තවාදීන්ට එරෙහි උද්ඝෝෂකයන් දෙසට ඉතා වේගයෙන් මෝටර් රථයක් පදවාගෙන පැමිණි තරුණයෙක් කාන්තාවක මරා දමා තවත් 19 දෙනෙකුට තුවාල සිදු කළේය. කෙතරම් වේගයෙන් මෝටර් රථය පැමිණියේ ද යත් රථයේ හැපීමත් සමග බොහෝ දෙනා අහසට විසි වූහ.

ඡායාරූප මූලාශ්‍රය, facebook
රථය පැදවූ බව සැලකෙන විසි හැවිරිදි ජේම්ස් ෆීල්ඩ්ස් (James Fields) අත්අඩංගුවේ පසුවෙන අතර ප්‍රහාරය පිළිබඳව එෆ්බීඅයි (FBI) ආයතනය පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
ප්‍රහාරය පිළිබඳව අදහස් දක්වමින් "බොහෝ පාර්ශවවලින්" සිදු කෙරෙන ප්‍රචණ්ඩත්වය හෙළා දකින බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කළ නමුත් ඔහු ඍජුවම සුදු අන්තවාදීන්ගේ වර්ගවාදය හෙළා දුටුවේ නැත.
ජනාධිපතිවරයාගේ එම ප්‍රතිචාරය ඔහු නියෝජනය කරන රිපබ්ලිකන් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයන්ගේම දැඩි විවේචනයට ලක් වී තිබේ.
"ජනාධිපතිතුමනි, අපි යක්ෂයා ඒ නමින්ම හැඳින්විය යුතුයි," රිපබ්ලිකන් පාක්ෂික සෙනෙට් සභික කොරි ගාඩ්නර් (Cory Gardner) පැවසීය.
"ඔවුන් සුදු අධිපතිවාදීන් සහ මේක දේශීය ත්‍රස්තවාදය," ඔහු වැඩිදුරටත් පැවසීය.

ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති පදවියට පත්වීමත් සමග ඇමෙරිකා එක්සත් ජනපදයේ සුදු අන්තවාදීන්ට නව ජවයක් ලැබී ඇති හැඩක් දක්නට ලැබෙන බව ඇතැම් විශ්ලේෂකයෝ පවසති.
සුදු අන්තවාදීන්ට 'නව ජවයක්'
"ට්‍රම්ප් ජනාධිපති පදවියට තේරී පත්වීම හේතුවෙන් ඇමෙරිකාව මූලික වශයෙන් සුදු ජාතීන්ගේ රටක් බව විශ්වාස කරන රැඩිකල් දක්ෂිණාංශයට නව පණක් ලැබිණ," යනුවෙන් සිවිල් අයිතිවාසිකම් සංවිධානයක් වන The Southern Poverty Law Center පවසයි.
"වෛරය සහ බෙදීම් මේ මොහොතේම නිමා විය යුතු," බව පවසමින් "බොහෝ පාර්ශවවලින් සිදුවන ප්‍රචණ්ඩ ක්‍රියා දැඩිව හෙළා දකින" බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කළේය.

ඡායාරූප මූලාශ්‍රය, Twitter
එහෙත් ඔහුගේ එම හෙළා දැකීම ප්‍රමාණවත් නොවන බව විපක්ෂ ඩිමොක්‍රටික් පක්ෂයේ මෙන්ම ඔහුගේම පක්ෂයේ ද නායකයන්ගේ මතය වී තිබේ.
චාලට්ස්විල් හි සිදු වූයේ "සුදු අධිපතිවාදීන්ගේ ත්‍රස්ත ප්‍රහාරයක්" බව ජනාධිපතිවරයා පැහැදිලිව සඳහන් කිරීම ඉතා වැදගත් බව රිපබ්ලිකන් පක්ෂයේ සෙනෙට් සභික මාර්කෝ රූබියෝ (Marco Rubio) ට්විටර් පණිවුඩයක සඳහන් කර තිබුණි.
රිපබ්ලිකන් පාක්ෂික ටෙඩ් කෘස් (Ted Cruz) සහ ඔරින් හැච් (Orrin Hatch) සෙනෙට් සභිකයන් ද ඒ හා සමාන අදහස් පළ කර තිබුණි.
ඇමෙරිකානු මන්ත්‍රණ සභාවේ ඩිමොක්‍රටික් පක්ෂ කණ්ඩායමේ නායිකා නැන්සි පෙලෝසි (Nancy Pelosi) සහ ජනපතිවරණයේ ඔහුගේ ප්‍රතිවාදිනිය වූ හිලරි ක්ලින්ටන් ද ජනපතිවරයාගේ හෙළා දැකීම ප්‍රමාණවත් නොවන බව පවසමින් එය විවේචනයට ලක් කළහ.








