‘දේශපාලන තක්කඩියන්ගේ අවසන් තිප්පොළ’

ඡායාරූප මූලාශ්‍රය, President Office
කොටි සංවිධානයට සම්බන්ධ යයි සැක කරමින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවේ තබා සිටින පුද්ගලයන් ඇප මත නිදහස් කිරීම හෝ දෙමළ ‘ඩයස්පෝරා’ සංවිධාන අටක තහනම ඉවත් කිරීම මගින් රටේ ජාතික ආරක්ෂාවට කිසිදු තර්ජනයක් නොමැති බව තමා වගකීමෙන් කියා සිටින බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසයි.
ජනාධිපතිවරයා එම ප්‍රකාශය කළේ ආරක්ෂක අමාත්‍යංශයේ වැය ශීර්ෂය පාර්ලිමේන්තුව තුළ විවාදයට ගත් අවස්ථාවේයි.
භෞතික සම්පත් සංවර්ධනයෙන් පමණක් ජනතාවගේ සිත් දිනා ගැනීමට නොහැකි බව දැන් ඔප්පු වී ඇතැයි සඳහන් කළ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ජනතාවගේ සැබෑ ගැටළු හඳුනා ගනිමින් ඒවාට විසඳුම් ලබා දිය යුතු බවයි පෙන්වා දුන්නේ.
දෙමළ සිරකරුවන්

ඡායාරූප මූලාශ්‍රය, Getty
කොටි සංවිධානයේ නැගෙනහිර නායක කරුණා අම්මාන් හෙවත් විනයාගමූර්ති මුරලිදරන්ට පසුගිය ආණ්ඩුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති පදවියක් සහ ඇමතිකමක් ලබා දීම මෙම සන්දර්භය යටතේ වරදක් ලෙස තමන් නොදකින බවයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන වැඩි දුරටත් සඳහන් කළේ.
‘මගේ පෞද්ගලික මතය අද අපි ගෙන යන මේ සංහිඳියා පිළිවෙත අනුව එය වරදක් නොවන බවයි. ඒ වගේම මහින්ද රාජපක්ෂ මහත්තයා 12,000 ක් එල්.ටී.ටී.ඊ සැකකරුවන් නිදහස් කළා නම් අද හිර ගෙවල්වල ඉන්න පිරිස් සම්බන්ධයෙන් අපි අනුගමනය කරන ප්‍රතිපත්තිය වරදක් වන්නේ කෙසේද ?’ ජනාධිපතිවරයා ප්‍රශ්න කළේය.
ජවහර්ලාල් නේරු
දැනට අනුගමනය කෙරෙමින් පවතින ක්‍රියා මාර්ගය තුළින් ජාතික ආරක්ෂාව බිඳවැටීමක් සිදු නොවන බව ප්‍රකාශ කළ ජනාධිපතිවරයා ‘අන්තවාදී ජාතිවාදී දේශපාලනය සිදු කිරීමෙන් වළකින’ මෙන් ඉල්ලීමක් කළේ ඉන්දියාවේ හිටපු අගමැති ශ්‍රී ජවහර්ලාල් නේරු ලියා ඇති පාඨයක් ද සිහි ගන්වමිනි.
‘දේශපාලන තක්කඩියන් ගේ අවසාන තිප්පොළ දේශප්‍රේමයයි ‘යනුවෙන් ශ්‍රී නේරු කියා ඇති බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.
මේ අතර කුරුණෑගල දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරයකු හැටියට තේරී පත් වීමෙන් අනතුරුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අද (04) පළමු වතාවට පාර්ලිමේන්තුව අමතමින් ප්‍රකාශ කළේ වර්තමාන ආණ්ඩුව රටේ ආරක්‍ෂාව ගැන කිසිදු තැකීමක් නැතිව විවිධ ජාතිවාදී දෙමළ දේශපාලන කණ්ඩායම් වලින් එන බලපෑම් හමුවේ දරුණු ගණයේ ත්‍රස්තවාදීන් මුදා හරිමින් ඇති බවයි.
මහින්දගේ මංගල දේශනය

ඡායාරූප මූලාශ්‍රය, AFP
උතුරු පලාතෙන් ආරක්‍ෂක හමුදා ඉවත් කර ගැනීම ගැන බටහිර රටවලින් ශ්‍රී ලංකාවට පැමිණෙන නිලධාරීන් විවිධ උපදෙස් ආණ්ඩුවට ලබා දී තිබෙන බව ප්‍රකාශ කළ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ ‘ශ්‍රී ලංකාව තුළ ආරක්‍ෂක හමුදා යෙදවෙන ආකාරය තීරණය කල යුත්තේ ශ්‍රී ලංකාව බවයි’ කියා සිටියේ.
නීතිපති දෙපාර්තමේන්තුවට ස්වාධීනව වැඩකටයුතු කර ගෙන යාමට ඉඩ ලබා දිය යුතු බව හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කරනවාත් සමගම සභාගර්භය තුළ ඝෝෂාකාරී තත්වයක් ඇති විය.








