කොරියාවේ උණුසුමට සංගීතයේ සිසිලස

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
උතුරු සහ දකුණු කොරියාව වෙන් කෙරෙන රේඛාව ලොව වැඩිම හමුදා ආරක්ෂාවක් යොදවා ඇති දේශසීමාවලින් එකකි.
දෙරට අතර විරසකය අද ඊයේ ඇතිවූවක් නොවේ. නමුත් පසුගිය දින කිහිපය තුළ මේ විරසකය කෙතරම් උත්සන්න වීදයත් කෝපාවිෂ්ට වාග් සංග්‍රාමය යුද සංග්‍රාමයක සලකුණු ඇතිකරමින් පවතී.
මෙවැනි උණුසුම් වාතාවරණයක් යටතේ වුව, අතිශය සන්නද්ධ හමුදා බල ඇණි සීරුවෙන් තබා ඇති දේශ සීමාවට සංගීතයේ සිසිල ලබා දෙන්නට දරන වෑයමක් ගැන වාර්තා වෙයි.
කොරියානු භුමිය උතුරු - දකුණු ලෙස බෙදා වෙන්කර දැක්වෙන භූ තීරුව මත පිහිටි යුද මුක්ත කලාපයේ මායිමට යාබදව වසරක් පාසා වේදිකාවක් ඉදිවෙයි.
දකුණු කොරියානු ගායක ගායිකාවෝ මේ වේදිකාවට ගොඩවන්නේ උතුරු කොරියාවට සාමයේ දෑත දිගු කරමිනි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
මේ වසරේ 'සාමයේ ප්‍රසංගය' වෙනුවෙන් තිරය විවර වන්නේ එක්සත් ජනපදයට අයත් ගුවාම් දූපතට මිසයිල ප්‍රහාරයක් එල්ල කරන බවට උතුරු කොරියාව තර්ජනාංගුලිය ඔසවමින් සිටියදී ය. ජනාධිපති ට්‍රම්ප් උතුරු කොරියාවට "විනාශකාරී කොපාග්නියක්" සිහිපත් කළ මොහොතක ය.
හෙට (අගෝ 12) ඇරඹෙන දෙදින ප්‍රසංගය දෙයාකාරයකින් විසිතුරු වෙයි. පළමු දිනයේ වේදිකාව හිමි වන්නේ කොරියානු පොප් ගායක ගායිකාවන්ට ය. එය නර්තනයෙන් ද විචිත්‍රවත් වනු ඇත.
ශාස්ත්‍රීය සංගීතයෙන් හැඩ වන දෙවෙනි දිනය 'සාම ප්‍රසංගයේ' අවසානය සනිටුහන් කරයි.
දකුණු කොරියාවේ MBC ගුවන් විදුලි සේවය සහ ඒකාබද්ධතා අමාත්‍යංශය එක්ව සංවිධානය කරන මෙම ප්‍රසංගය සාර්ථක කර ගැනීම සඳහා ප්‍රාදේශීය ආයතනවල අතහිත ලැබෙයි.
දකුණු කොරියාවේ ඒකාබද්ධතා අමාත්‍යංශය පිහිටුවා ඇත්තේ, උතුරු දකුණු ලෙස බෙදී වෙන්වී සිටින කොරියානුවන් කවදා හෝ එකම ජාතියක් බවට පත්වන සිහිනය සාක්ෂාත් කර ගැනීම සඳහා ය.

වසරක් පාසා පැවැත්වෙන මෙම ප්‍රසංගය හැඳින්වෙන්නේ 'DMZ (Demilitarised Zone ) ප්‍රසංගය' නමිනි. 'යළිත් සාමය!' (Again, Peace!) මෙවර DMZ ප්‍රසංගයේ තේමාවයි.
නමින් DMZ වූවත් යුද මුක්ත කලාපය තුළම වේදිකාව තැනීමට මේ ප්‍රසංගයට වරම් නැත. නමුත් ඊට නුදුරින් ඇති උද්‍යානයක 'සාමයේ ප්‍රසංග වේදිකාව' ඉදි වෙයි.
පොප් සංගීත ලෝලීන් අතර නමක් දිනාගත් Girls Generation සහ BTOB පොප් කණ්ඩායම් මෙවර වේදිකාව හැඩ කරන හෙයින් දහස් සංඛ්‍යාත රසිකයන් මෙම උද්‍යානය කරා ඇදී එනු ඇත.
උතුරටත් දකුණටත් පොදු නිවාඩු දිනයක් වූ 'ජාතික විමුක්ති දිනය' සැමරෙද්දී මෙම ප්‍රසංගය ද ආරම්භ වනු ඇත.
උතුරු කොරියානු ජන සමාජය දැඩි පාලනයක් යටතේ පවතින නමුත් දකුණු කොරියානු පොප් සංගීතයට ඔවුහු මහත් කැමැත්තක් දක්වති.









