කටාර් අර්බුදය: සෞදි රටවල් රැස්වෙති

කටාර් ගුවන් සේවයට ගුවන් කලාප තහංචි

ඡායාරූප මූලාශ්‍රය, AFP/GETTY IMAGES

ඡායාරූප ශීර්ෂ වැකිය, කටාර් ගුවන් සේවයට ගුවන් කලාප තහංචි

කටාර් රාජ්‍යය පිළිබඳව මතුවී ඇති අර්බුදය ගැන සාකච්ඡා කිරීම සඳහා බහරේනය, ඊජිප්තුව, සෞදි අරාබිය සහ එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ විදේශ ඇමතිවරුන් අද රැස්වීමට නියමිතය.

ඉහත කී රටවල් කටාරය සමඟ සබඳතා අතහැර දමා මසක් ගතවෙද්දී, මෙම සාකච්ඡාව පැවැත්වෙන්නේ ඊජිප්තුවේ කයිරෝ නුවරදී ය.

ත්‍රස්තවාදයට සහාය ලබා දෙන බවට සෞදි අරාබිය ඇතුළු අරාබි රටවල් එල්ල කරන චෝදනා කටාර් රාජ්‍ය ප්‍රතික්ෂේප කරයි.

සෞදි-කටාර් දේශසීමාව හරහා කෙරෙන හුවමාරු නතර කිරීමට සෞදි අරාබිය පියවර ගත්තේය

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, සෞදි-කටාර් දේශසීමාව හරහා කෙරෙන හුවමාරු නතර කිරීමට සෞදි අරාබිය පියවර ගත්තේය

කටාරය සමඟ සබඳතා අතහැර දැමූ රටවල් එක්වී කොන්දේසි මාලාවක් ඉදිරිපත් කළ අතර ඊට එකඟ වීම සඳහා කටාරයට ලබා දී තිබූ කාලය අදින් නිම වනු ඇත.

ඊට එකඟ නොවුනහොත් කටාරයට එරෙහිව තවදුරටත් සම්බාධක පැනවෙනු ඇති බවට එකී රටවල් විසින් අනතුරු අඟවනු ලැබ තිබේ.

පනවා ඇති කොන්දේසි අතර අල්ජසීරා මාධ්‍ය ආයතනය වසා දැමීම සහ ඉරානය සමඟ පවතින සබඳතා අඩු කිරීම ද වෙයි.

තමන්ට ඉදිරිපත් කර ඇත්තේ "ක්‍රියාවට නැංවිය නොහැකි" කොන්දේසි මාලාවක් බව කටාර් රාජ්‍යය පවසයි.

කටාර් සහ අරාබි රටවල් අතර පවතින අර්බුදය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා එම රටවලින් ඉල්ලා සිටියේ ත්‍රස්තවාදය සහ අන්තවාදය මැඩපැවැත්වීම සඳහා සාකච්ඡා මේසයට පැමිණෙන ලෙසය.

ශ්‍රී ලාංකිකයන් 120,000 ට අධික සංඛ්‍යාවක් කටාර් රාජ්‍යයේ සේවයේ නිරතව සිටිති

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, ශ්‍රී ලාංකිකයන් 120,000 ට අධික සංඛ්‍යාවක් කටාර් රාජ්‍යයේ සේවයේ නිරතව සිටිති

ඉහත කී අරාබි රටවල් කටාර් වෙත කොන්දේසි ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ ධවල මන්දිරයේ ප්‍රකාශක සීන් ස්පයිසර් විසින් අරාබි රටවල් අතර මතුව ඇති අර්බුදය හඳුන්වනු ලැබුවේ "පවුලේ ප්‍රශ්නයක්" ලෙසය.

ඒ හේතුවෙන් එම රටවල් එක්ව ඊට විසඳුම් සෙවිය යුතු බවත් ඔහු කියා සිටියේය.

කටාර් රාජ්‍ය සම්බන්ධයෙන් දැඩි මතයක් පළ කරමින් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඩෝහා පාලනය ත්‍රස්තවාදයට ඉහළ මට්ටමින් අනුග්‍රහය ලබා දෙන බවට චෝදනා කළේය.

කෙසේ නමුත් කටාර් සහ සෙසු අරාබි රටවල් ඇමරිකාවේ සමීප මිතුරු රාජ්‍යන් වන අතර එක්සත් ජනපදයට අයත් මැදපෙරදිග පිහිටි විශාලතම හමුදා කඳවුර පිහිටා ඇත්තේ ද කටාර් රාජ්‍ය තුළය.

ශ්‍රී ලාංකිකයන් 120,000 ට අධික සංඛ්‍යාවක් කටාර් රාජ්‍යයේ සේවයේ නිරතව සිටිති.