උතුරු කොරියාව 'ට්‍රම්ප් සමග සාකච්ඡාවට සූදානම්'

North Korean leader Kim Jong-un, 15 April 2017

ඡායාරූප මූලාශ්‍රය, AFP/Getty IMages

ඡායාරූප ශීර්ෂ වැකිය, උතුරු කොරියාවේ නායක කිම් ජොන්ග් අන් හමු වීමට අවස්ථාවක් ලැබෙන්නේ නම් එය තමන්ට "ගෞරවයක්" වනු ඇති බව මැයි මස ආරම්භයේ දී ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසීය

නිසි කොන්දේසි යටතේ ඇමරිකාව සමග සාකච්ඡා කිරීමට සුදානම් බව උතුරු කොරියාව පවසා ඇතැයි දකුණු කොරියානු මාධ්‍ය වාර්තා කරයි.

උතුරු කොරියාවේ ජ්‍යෙෂ්ඨ රාජ්‍යතාන්ත්‍රික නිලධාරිනියක් සහ ඇමරිකානු ආණ්ඩුවේ හිටපු බලධාරීන් පිරිසක් අතර නෝර්වේහිදී හමුවක් පැවැත්විණි.

එම හමුවෙන් අනතුරුව අදහස් දැක්වූ උතුරු කොරියානු රාජ්‍යතාන්ත්‍රික නිලධාරීනි චොයි සුන් හුයි කියා සිටියේ ට්‍රම්ප් පාලනය සමග සංවාදයකට මුල පිරීමේ හැකියාවක් පවතින බවය.

උතුරු කොරියාවේ නායක කිම් ජොන්ග් අන් හමු වීමට අවස්ථාවක් ලැබෙන්නේ නම් එය තමන්ට "ගෞරවයක්" වනු ඇති බව මැයි මස ආරම්භයේ දී ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසීය.

line
line

උතුරු කොරියාවේ බැලිස්ටික් මිසයිල අත්හදා බැලීම් සහ න්‍යෂ්ටික වැඩපිළිවෙළ මුල් කර ගනිමින් මාස ගණනාවක් පුරා ඉහළ යමින් පවතින කලාපීය උණුසුම හමුවේ එම අදහස් පළ විය.

උතුරු කොරියානු විදේශ අමාත්‍යංශයේ ඇමරිකානු සබඳතා භාරව කටයුතු කරන චොයි සුන් හුයි බීජිං නුවරදී මාධ්‍යවේදීන් හමුවේ කියා සිටියේ ප්යොංයැං පාලනය සහ වොෂින්ටනය අතර ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීම කෙරෙහි අවධානය යොමු කිරීමේ හැකියාවක් පවතින බවය.

උතුරු කොරියාවේ සතු මිසයිල මොනවාද?

උතුරු කොරියානු අර්බුදය සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීමට තමන් කැමති බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මීට පෙර කියා සිටි නමුත් දෙරට අතර ගැටුමක් ඇති විය හැකි බවත් සඳහන් කළේය.

line
line

කෙසේ නමුත් සිය මිසයිල අත්හදා බැලීම් තවදුරටත් සිදු කරන බව උතුරු කොරියාව දිගින් දිගටම කියා සිටී.

ඊට ප්‍රතිචාර වශයෙන් ඇමරිකාව කොරියානු අර්ධද්වීපය වෙත ප්‍රහාරක නෞකා යැවූ අතර දකුණු කොරියාව තුළ සිය මිසයිල ආරක්ෂණ පද්ධතිය ස්ථාපනය කිරීමට ද කටයුතු කළේය.