‘ෂෙන්සෙන්’ කුණු කන්දට වගකිව යුත්තන්ට සිර දඬුවම්

නාය යාමට හසුව දිවි බේරුණ දරුවෙක්

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, නාය යාමට හසුව දිවි බේරුණ දරුවෙක්

දකුණු චීනයේ ෂෙන්සෙන් නගරයේ 2015 වසරේ සිදුවූ නාය යාමක් සම්බන්ධයෙන් වගකිවයුතු පුද්ගලයන් හතළිස් පස් දෙනකු සිර දඬුවමට යටත් කරනු ලැබ ඇත.

කුණු පස් තට්ටු සහ ඉදිකිරීම්වල අපද්‍රව්‍ය ඇතුළත් කුණු කන්දක් හිටිහැටියේ කඩා වැටී අවට ප්‍රදේශය ඉන් යට වූ අවස්ථාවේ පුද්ගලයන් හැත්තෑවක් අතුරුදහන්ව තවත් නවසීයක් බේරාගත් බව එවකට චීන මාධ්‍ය මගින් වාර්තා කරනු ලැබුණි.

නායයාම නිසා සිදු වූ මරණ සංඛ්‍යාව හැත්තෑ තුනක් බව පසුව වාර්තා කෙරුණි.

ජීවිත බේරා ගැනීමේ මෙහෙයුම

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ජීවිත බේරා ගැනීමේ මෙහෙයුම

එම කුණු කන්ද පිහිටි ඉඩම පවත්වා ගෙනගිය සමාගමේ කළමනාකරුට සහ 'ෂෙන්සෙන්' නගර පරිපාලනයේ හිටපු ප්‍රධානියාට අවරුදු විස්ස බැගින් සිර දඬුවම් නියම විය.

සිර දඬුවමට යටත් කරනු ලැබ සිටින්නන්ගෙන් විසි දෙනෙක්ම චීන ආණ්ඩුවේ නිලධාරීහු වෙති.

ඔවුන් වරදකරුවන් කරනු ලැබුණේ නොසැලකිල්ලෙන් කටයුතු කිරීම සහ බලය යුතු ලෙස පාවිච්චි කිරීම සම්බන්ධයෙනි.

අදාළ භූමියේ පවත්වා ගෙන යාමට හැකි කුණු කන්දේ ධාරිතාව කියුබික් මීටර් හතළිස් ලක්ෂයක් සහ උසින් මීටර් අනූපහක් (අඩි 310) පමණක් වියයුතු විය.

විනාශ වූ කලාපය

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, විනාශ වූ කලාපය

එහෙත් කුණු කන්ද නාය යනවිට එහි උස මීටර් 160 ක් වූ අතර එහි කියුබික් මීටර් පනස් අට ලක්ෂයක කුණු ගොඩගසා තිබුණ බව 'ෂින්හුවා' පුවත් සේවය වාර්තා කරයි.

කුණු කන්ද නාය යාමෙන් පාපන්දු පිටි පනහක තරමේ භූමි භාගයක් පස් සහ අපද්‍රව්‍ය වලින් යට වූ අතර එම මඩ තට්ටුව ඉවත් කිරීම සඳහා පුද්ගලයන් දෙසීයකට අධික පිරිසක් යෙදවීමට සිදුවිය.

පාපන්දු පිටි පනහක තරම් කලාපයක් මඩ තට්ටුවකින් වැසුණි

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, පාපන්දු පිටි පනහක තරම් කලාපයක් මඩ තට්ටුවකින් වැසුණි

ඉදිකිරීම් පාලනය භාරව කටයුතු කරන අතරවාරයේ ඉහත කී භූමිය අපද්‍රව්‍යවලින් පිරවීමට අවසර දුන් එක් නිලධාරියෙක් නාය යාම සිදුවීමෙන් සතියකට පසු සියදිවි හානි කරගත් බව වාර්තා වෙයි