මෝදි සංචාරය: ජනපතිගෙන් පැහැදිලි කිරීමක්

2015 වසරේ මාර්තු මාසයේදී ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වූ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සමග

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, 2015 වසරේ මාර්තු මාසයේදී ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වූ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සමග

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර දෙරට අතර කිසිදු ගිවිසුමකට අත්සන් නොතබන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසයි.

ඉන්දීය අගමැතිවරයාගේ සංචාරය තුළ දී එක්සත් ජාතීන්ගේ වෙසක් දින සැමරුම් උත්සවයට සහභාගීවීම හැර වෙනත් කිසිදු රාජකාරි කටයුත්තක් සිදු නොවන බව ජනාධිපතිවරයා කියා සිටියේ අද (අප්‍රේල් 29) මඩකලපුව ඔඩ්ඩමාවඩි මහා විද්‍යාලයේ සියවස් සැමරුම් උත්සවය අමතා අදහස් දක්වමිනි.

ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ 'රටේ කොටස් අයිති කර ගැනීම සඳහා ගිවිසුම් අත්සන් තැබීමට බව සඳහන් කර ඇතැම් වෙබ් අඩවි සහ සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ වැරදි ප්‍රචාර' ගෙන යමින් සිටින බවය.

ඒවා ආණ්ඩු විරෝධි පිරිසක් විසින් ගෙන යනු ලබන අසත්‍ය ප්‍රචාර බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජාත්‍යන්තර සහාය

line
line
මඩකලපුව ඔඩ්ඩමාවඩි මහා විද්‍යාලයේ පැවති සියවස් සැමරුම් උත්සවය
ඡායාරූප ශීර්ෂ වැකිය, මඩකලපුව ඔඩ්ඩමාවඩි මහා විද්‍යාලයේ පැවති සියවස් සැමරුම් උත්සවය

එමෙන්ම ශ්‍රී ලංකාව වෙත සෑම රටකම සහයෝගය හිමිව තිබෙන බව පැවසූ ජනාධිපතිවරයා ඒ තුළින් ශ්‍රී ලංකාවට සංවර්ධිත රටක් ලෙස ගොඩනැගිය හැකි බවත්, එම වැඩපිළිවෙළේදී සියලු ජන කොටස් අතර තිබිය යුතු සාමය, සමගිය සහ විශ්වාසය බිඳ දැමීමට අන්තවාදී පිරිසක් උත්සාහ දරන බවත් කියා සිටියේය.

ඒ පිළිබඳ ජනතාව සැබෑ අවබෝධයකින් කටයුතු කළ යුතු බව ජනාධිපතිවරයා සඳහන් කළේය.

නැගෙනහිර පළාතේ දරුවන්ගේ අධ්‍යාපන මට්ටම ඉහළ නැංවීම වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශය, රජය සහ පළාත් සභාව එක්ව සාකච්ඡා කර විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවන බව ද ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන වැඩිදුරටත් කියා සිටියේය.